අලුත් ඒකාධිපතියෙක් සඳහා අලුත් ව්‍යවස්ථා සංශෝධනයක්!

අලුත් ඒකාධිපතියෙක් සඳහා අලුත් ව්‍යවස්ථා සංශෝධනයක්!

“ඒකාධිපතීන්ට තම ඒකාධිපතිභාවය සම්පූර්ණ කර ගැනීම සඳහා මිනීමැරීමේ කටයුත්තද ඉටුකිරීමට තිබේ. පැරැණි ඒකාධිපතියෝ එය මැනවින් ඉටු කළහ. නූතන ඒකාධිපතීන්ට එය අත්‍යවශ්‍යම නොවේ. ජනතාව ඇවිදින මළමිණී බවට පත්කිරීමෙන් ඒ සුදුසුකම වඩාත් හොඳින් අඩු වියදමකින් සාධනයකර ගත හැකිය.

මේ පනත සම්මත වීමෙන් පසු එන්නේ හදිසි පනත්ය. පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ තුනෙන් දෙකට සිදුවන්නේ උදේ පාන්දරම ඒවාට අනුමැතිය දී දෙන දෙයක් කා වෙන දෙයක් බලාගෙන මළ මිණී සේ නිහඬව සිටීමටය. වාද විවාද විසම්මුතීන් අවශ්‍ය නොවේ. එවැනි පාර්ලිමේන්තුවකින් බලාපොරොත්තු වන්නේ ව්‍යවස්ථාදායකත්වය නොව ව්‍යවස්ථා ඝාතකත්වයයි”

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පනත් කෙටුම්පත ගැන යමක් ලියන්නට සිතමින් ඉන්නා මොහොතක මුහුණු පොතේ මේ ප්‍රකාශය දුටිමි. එය ලියා තිබුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන කරුණාරත්න පරණවිතාන මහතා ය. වෙන්නට නියමිත දේ පිළිබඳ මහා චිත්‍රය මෙය හැර අන් යමක් ද? තුනෙන් දෙකක ජනවරමක් ලබාදුන් ජනතාවද ඡන්දය දිනයේ දී ගෙදරටවී ඡන්දය වර්ජනය කළ ඡන්ද දායකයාද කල්පනා කළ යුතුය. වර්තමාන ජනාධිපතිවරයා බලයට පත් කළ ජනතාවටද වර්තමාන ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ලබාදුන් ජනතාවට ද අලුත් ව්‍යවස්ථාවක් ගේනකම් අවුරුදු එකහමාරකට නේ ඔය කියා මාස 18කට සිත සනසවා ගන්නට පුලුවන් ‍ය. මාස 18 කට පසු අලුත් ව්‍යවස්ථාවක් ගෙන ආවොත් එය මීටත් එහා ගිය ආඥාදායකත්වයක් නිර්මානය කරනු ඇත. අලුත් ව්‍යවස්ථාවක් ගෙන නාවත් මේ ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමම පුර්ණ අධිකාරීවාදී එකාධිපතීත්වයකට මග සළසනු ඇත.

අපි මෙසේ කියන්නේ ඇයි?

මේවනවිට මෙම 20 වන සංශෝධනයේ සිංහල පිටපත කියවන්නට හැකිය. එය කියවාගෙන යනවිට හැඟෙන්නේ අප මෙම සංශෝධනය හරහා බිහිකරන්නට යන්නේ ජේ.ආර් ජයවර්ධනමය ජනාධිපතිවරයෙකුටත් වඩා එහාට ගිය විධායක ජනාධිපතිවරයෙක් බවය. මෙම සංශෝධනය සම්මත වුණොත් ඒ හරහා පාර්ලිමේන්තුව සතු සම්පූර්ණ බලය ජනාධිපතිවරයා සතු වෙනු ඇත. පාර්ලිමේන්තුව රබර් මුද්‍රාවක් පමණක් වෙනු ඇත. 19 වැනි සංශෝධනය හරහා පාර්ලිමේන්තුව සතු බලය වැඩි කළ අතර මෙම සංශෝධනයෙන් එම වැඩි කළ බලයට අමතරව එහිවූ බලතල සියල්ල ජනාධිපතිවරයා තමන්ගේ සාක්කුවට දමාගෙන ඇත. ජනාධිපති පාර්ලිමේන්තුවට වඟකිව යුතු බවට වූ ප්‍රථිපාදනයක් 19 වැනි සංශෝධනය තුළ තිබුණත් මෙම සංශෝධනය තුළ එම වගන්තියට ඉඩක් නැත.

මෙම සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට අමාත්‍යංශ තබාගැනීමට  හැකියාව ඇත. එම තබා ගැනීමටද සීමාවක් නැත. ජනාධිපතිවරයාට සිය අභිමතය පරිදි අමාත්‍යාංශ අවශ්‍ය ප්‍රමානයක් තබා ගත හැකිය. එමෙන්ම ඕනෑම අවස්ථාවක අමාත්‍යවරයෙක් ඉවත් කර එම අමාත්‍යාංශය තමන් සතු කරගන්නට හෝ එය වෙනත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට පැවරීමට හෝ බලය ලබා ගෙන ඇත. අමාත්‍ය මණ්ඩලය කොපමන විය යුතුද යන්නට ද සීමාවක් නැත. එය ජනාධිපතිවරයාගේ සිතැඟියාවේ සීමාව වනු ඇත. කැබිනට් අමාත්‍යවරුන්, කැබිනට් නොවන අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස අමාත්‍ය මණ්ඩලය ප්‍රසාරණය කිරීමේ හැකියාව විධායක ජනාධිපතිවරයාගේ අභිමතයට අනුව සිදුවෙනු ඇත. අමාත්‍යවරුන් පත් කිරීමේ පූර්ණ බලය ද ජනාධිපතිවරයා සතුය. ඔවුන් ඉවත් කිරීම ද එසේ මය. අලුත් පාර්ලිමේන්තුවක් පත්වී අවුරුද්දක් ගෙවුන පසුව ඕනෑනම් ජනාධිපතිවරයාට එය විසුරවා හැරිය හැකිය. විසර්ජන පනත් කෙටුම්පතක් අවස්තා දෙකකදී පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරයිනම් එවැනි අවස්ථාවකදී ද ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරවා හරින්නට පුලුවන් ය. යම් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කරයින් නම්, ජනාධිපතිවරයාට එය ජනමත විචාරණයකින් සම්මත කරගන්නට  පුලුවන් වෙන ආකාරයේ වගන්ති ද මෙම සංශෝධනයේ ඇත. මෙම වගන්තීන් නොකියා කියන්නේ කුමක්ද? පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාගේ සාක්කුවට බැස සිය රාජකාරිය කළ යුතු බවය. මෙම සංශෝධනයට අනුවනම් පාර්ලිමේන්තුවට කරන්නට කජ්ජක් නැත. සියල්ල විධායකය විසින් කරනු ඇත. එවැනි රබර් සීල් පාර්ලිමේන්තුවක් තෝරාගැනීමට ජනතාවගේ මුදල් විශාල වශයෙන් වියදම් කිරීමද ජාතික අපරාධයක් ය.

කොමිෂන් සභාවන්ට වෙන දේ..

මෙම සංශෝධනය, 19 වැනි සංශෝධනය විසින් ඇති කළ කොමිෂන් සභා සෝදා දමා ඇත. මෙම සංශෝධනයට පසු ඉතිරිවෙන කොමිෂන් සභා නමට කොමිෂන් වෙනු ඇත. මෙම පනත් කෙටුම්පත යෝජනා කරන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අහෝසි කර පාර්ලිමේන්තු සභාව නම් ජනාධිපතිවරයාගේ සාක්කු සභාවක් පිහිටුවීමටය. එහි සිවිල් සංවිධාන නියෝජිතයින් නැත. එය, අග්‍රාමාත්‍යවරයා, කතානායකවරයා, විපක්ෂ නායකවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයාගේ නියෝජිතයින් දෙදෙනෙක් ලෙස පස් දෙනෙකුගෙන් සමන්විත වෙනු ඇත. මේ සභාවට තිබෙන්නේ ජනාධිපතිවරයා ඉහළ පත්කිරීම් සිදුකරන විට ඒවා පිළිබඳව සිය නිරීක්ෂණ ඉදිරිපත් කරන්නට ය. එම පත් කිරීම් පිළිබඳව මෙම සභාවට කිසිඳු දෙයක් කරන්නට බලයක් නැත.

ස්වාධීන කොමිෂන් සභා සඳහා, අගවිනිසුරු, නීතිපති, පොලිස්පති, ඉහළ අධිකරණවල විනිසුරුවරුන් ඇතුළු රාජ්‍යයේ ඉහළ තනතුරුවලට අදාළ සියළු පත් කිරීම් මෙම සංශෝධනය මගින් ජනාධිපතිවරයාගේ අභිමතයට යටත් කර ඇත. ඒ අනුව මෙම සංශෝධනය පාර්ලිමේන්තුව තුළ සම්මත උවහොත් ඉන්පසුව ස්වාධීන අධිකරණයක්, ස්වාධීන රාජ්‍යය සේවය වැනි දේවල් පිළිබඳව කතාකර තේරුමක් නැත. එම ආයතන විධායකයේ අභිමතය අනුව කටයුතු කරනු ඇත. මෙම සංශෝධනය ගෙන ඒමේදී, ප්‍රජාතන්ත්‍රවාදයේ පාර්ලිමේන්තුවාදයේ කිමිදී සිටි ඩලස් අලහප්පෙරුම වැනි මන්ත්‍රීවරුන් කුමක් කියනු ඇතිද? කිසිඳු හිරිකිතකින් තොරවම විගණන සේවා කොමිෂන් සභාව සහ ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව අහෝසි කරන්නට මෙම සංශෝධනයෙන් යෝජනා කර ඇත. ඒ පිළිබඳව ආණ්ඩුව තුළ සිටින ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ අදහස කුමක්ද? ජාතික පොලිස් කොමිසම ජනතාවගේ දුක පමණක් අහන ආයතනයක් බවට පෙරලන්නට මෙහි යෝජනා ඇත. අධිකරණ සේවා කොමිසමට ද ස්වාධීන කෑල්ල අලවන්නට මෙම සංශෝධනයෙන් පසුව බැරිවෙනවා ඇත. එම කොමිසමේ සංයුතිය සැකසෙනු ඇත්තේ ජනාධිපතිවරයා පත් කරනු ලබන පුද්ගලයින් දෙදෙනෙකුගෙන් සහ අගවිනිසුරුගෙන් ය. එහි සාමාජිකයින් පත් කිරීම වාගේම ඉවත් කිරීම ද ජනාධිපතිවරයාගේ අභිමතයට යටත් ය. අල්ලස් හෝ දූෂණ විමර්ෂන කොමිසම පිළිබඳව මෙරටේ හැමදාම තිබුණ ජනමතය වූවේ මෙම කොමිසම තවදුරටත් ශක්තිමත් කළ යුතු බවය. එයට අධිකරණ බලතල පවා ලබාදිය යුතු බවය. එහෙත් මෙම සංශෝධනය 19 වැනි සංශෝධනයෙන් ලබාදුන් බලතලද කප්පාදුවට ලක්කර ඇත. මෙම සංශෝධනයෙන් පසුව අල්ලස සහ දූෂණයෙන් තොර ලංකාවක් පිළිබඳ සිහිනය ද දියවී ‍යනු ඇත. එක රටක් එක නීතියක්, විනයගත රටක් වැනි ආදර්ශපාඨ හරහා බලය ලබාගත් ජනාධිපතිවරයෙකුට මෙලෙස කටයුතු කළ හැකිද?

19 නැමති යකා

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මතවූ පසුව එය යකෙක් බවට හැඩකර ජනතාව අතරට ගෙනයෑමට එවක ඒකාබද්ධ විපක්ෂ ක්‍රියාකා‍රිකයින් කටයුතු කළෝ ය. ඔවුන් කීවේ මේ සංශෝධනය ගෙනාවේ රාජපක්ෂවරුන් ලාංකේය දේශපාලනයෙන් ඉවත් කරන්නට බවය. නීදර්ශන ලෙස පෙන්නුවේ ද්විත්ව පුරවැසියන්හට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ අවස්ථාව අහිමිකිරීම ය. මෙම සංශෝධනයෙන් එම සීමාවන් ඉවත් කර ඇත. දැන් ද්විත්ව පුරවැසි බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට පැමිණිය හැකිය. මෙම සංශෝධන උනුසුමේම එන දේශපාලන කටකතා කියා සිටින්නේ, මහින්ද රාජපක්ෂ මහතා බැසිල් රාජපක්ෂ මහතාට අගමැති ධුරය පිරිනමා දේශපාලනයෙන් විශ්‍රාම යන බවය. මේ 20 වැනි සංශෝධනය සමග එන අතුරු කතාවන් ය. මෙම ද්විත්ව පුරවැසි සීමාව මෙන්ම ජනාධිපති අපේක්‍ෂකයකුගේ අවම වයස 35 සීමාව ද 30 දක්වා අඩුකර ඇත. එම සංශෝධනය නම් හොඳ බව කිවයුතුය. මෙම සංශෝධනය සම්මත වුවහොත් විධායක ජනාධිපති වීමට තරුණයෙකුට ද අවස්ථාව උදාවෙනු ඇත.

ජනාධිපතිට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුක් හෝ පැවරීමට ඇති අවස්ථාව අහිමි කිරීම මගින් ඔහුට සිය ධුරයේ පූර්ණ ඒකාධිපතියෙක් ලෙස කටයුතු කිරීමට ඉඩකඩ විවර කර ඇත. ජනාධිපතිවරයා පුරවැසියාට අනර්තයක් කළද එය ප්‍රශ්න කිරීමට හෝ එයට විරුද්ධව අධිකරණයට යන්නට හෝ පුරවැසියාට අයිතියක් ඔහු තනතුරෙන් බැස ගිය පසුව හෝ පුරවැසියාට උදානොවෙනු ඇත. මේ අනුව ප්‍රජාතන්ත්‍රවාදයේ සහ යහපත් ආණ්ඩුකරණයේ සියලූම මූලධර්මයන් විනාශ කළ සංශෝධනයක් ලෙස මෙය ඉතිහාසයට එකතුවෙනු ඇත.

 

  • කේ. සංජීව  
Print Friendly, PDF & Email

Related posts

Leave a Comment