සෑම ඡන්දයකටම සුවිශේෂී වටිනාකමක්, උද්යෝගයෙන් ඡන්ද බලය භාවිතා කරමු.

සෑම ඡන්දයකටම සුවිශේෂී වටිනාකමක්, උද්යෝගයෙන් ඡන්ද බලය භාවිතා කරමු.

ශ්‍රී ලංකාවට සර්ව ජන ඡන්ද බලය ලැබෙන්නේ 1931 දීය. හිරු නොබසින අධිරාජ්‍යය යැයි හැඳින්වූ මහා බ්‍රිතාන්‍යයේ යටත් විජිතයන්ගෙන් සර්ව ජන ඡන්ද බලය ලැබීමෙන් ලංකාව දෙවන වන්නේ නවසීලන්තයට පමණි. නවසීලන්තයේ කාන්තාවන්ට ඡන්ද බලය ලැබු‍ණේ 1927දීය.

අද එනම් අගෝස්තු 05වන දින ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට නියෝජිතයන් පත් කිරීම උදෙසා මහාමැතිවරණය පැවැත්වේ. කොරෝනා අවදානම නිසා කල් ගිය පාර්ලිමේන්තු මැතිවරණයට කෙසේ හෝ දින නියම වී තිබේ.

මේ කාල සීමාව තුළ පාර්ලිමේන්තුව ක් අවශ්‍ය නොවන බවත්, ජනාධිපති හා නිලධාරීන් පමණක් ප්‍රමාණවත් බවට වන මතවාදයක් සමාජය තුළ පතුරුවා තිබුණි. පාර්ලිමේන්තුව වන්නේ ව්‍යවස්ථාදායකයයි. ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය යන අංශ තුනෙන් ආණ්ඩුව සමන්විත වෙයි. ලංකාවෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ශ්‍රී ලංකා ජනතාවගේ පරමාධිපත්‍යය ක්‍රියාත්මක කරන්නේ ඉහත කී අංග තුන මගිනි. මේ ආකාරයට බලය කොටස් තුනකට බෙදා ඇත්තේ එක් පුද්ගලයකු හා පුද්ගල කණ්ඩායමක් පමණක් රාජ්‍යයන් පාලනය කල පැරණි රාජාණ්ඩු යුගයේ සිදු වුනු මහජන පීඩාව නිසා එයට එරෙහිව ඇති වුනු මහජන බලපෑමක ප්‍රතිඵලයක් ‍ලෙසය. ශිෂ්ට ලෝකය පිළිගන්නේ සංවරණ තුලන න්‍යාය ක්‍රියාත්මක වන ඉහත අංශ තුනට බලය බෙදූ පාලන ක්‍රමයන් මිස එක අක්ෂයකින් මුළු රාජ්‍යයම පාලනය කරන අශිෂ්ට ක්‍රමය ‍නොවේ.

දැන් අද ඔබට අවස්ථාව ලැබෙන්නේ ඔබේ පරමාධිපත්‍යය ක්‍රියාත්මක කරන ව්‍යවස්ථාදායකයට එනම් ඔබ වෙනුවෙන් නීති සම්පාදනය කරන ආයතනයට නියෝජිතයන් පත් කිරීමටය. විධායක ජනාධිපතිවරයා පත් කිරීම තරම්ම මෙය වැදගත් වන්නේ එබැවිනි. විධායක ජනාධිපතිවරයාට නීති සම්පාදනය කල නොහැක. සම්පාදනය කල නීති මත පාලනය කිරීම හෝ එකී නීති ක්‍රියාත්මක කිරීම පමණක් විධායක ජනාධිපතිවරයාට කල හැක. එමෙන්ම රාජ්‍ය මූල්‍ය සම්බන්ධ සම්පූර්ණ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට මිස ජනාධිපතිට නොවේ. එසේ නම් ජනාධිපතිවරණය තරම්ම මෙම මහාමැතිවරණයත් වැදගත්ය.

එවන් වැදගත් කමක් තිබුණද ජනාධිපතිවරණය තරම්ම උනන්දුවක් මහා මැතිවරණය සම්බන්ධයෙන් පුද්ගලයන්ට නොමැති බව බැලූ බැල්මට පෙනේ. ඡන්දය ප්‍රකාශ කිරීමට යාමට උනන්දුවක් නැති තරුණයන්ද බොහෝ පිරිසක් සිටින බව අප කරන ලද කරුණු විමසීමකදී පෙනී ගි‍යේය.

මෙහිදී වඩාත් සැලකිල්ලක් දැක්විය යුතු කරුණක් නම් ජනාධිපතිවරණයකදී ඇත්ත වශයෙන්ම පරාජිත අපේක්ෂකයන්ට ලබා දෙන සියළු ඡන්ද එක්තරා ආකාරයකට අපතේ යෑමක් සිදු වන බවයි. පත් වන්නේ එක පුද්ගලයෙකි. ඒ පුද්ගලයාට ලබා නොදුන් අනෙක් සියළු ඡන්ද වලින් කිසිවක් සිදු නොවේ. නමුත් මහා මැතිවරණයකදී එසේ සිදු නොවේ. මහා මැතිවරණයකදී ලබා දෙන ඡන්ද වලින් 95%කටත් අධික ප්‍රමාණයකට නියෝජිතයන් පත් වේ. ඔබේ ඡන්දයෙන් දිස්ත්‍රික් මට්ටමින් නියෝජිතයන් පත් නොවුනද ඒ හරහා ජාතික ලැයිස්තුවෙන් නියෝජිතයෙක් පත් වීමට ඉඩ ඇත. ඇත්ත වශයෙන්ම අපතේ යන්නේ ඉතාමත් සුළු ඡන්ද ප්‍රතිශතයකි. වර්ෂ 2001 මහා මැතිවරණ‍ේදී සිහළ උරුමය පක්ෂයට ලැබුණු ලංකාවේම ඡන්ද එකතු වී එක් අසුනක් ජාතික ලැයිස්තුවෙන් ලැබුණි. ඒ ලංකාව පුරා එම පක්ෂය ලැබූ ඡන්ද අනුවය. ඔබේ ඡන්දයට වටිනාකමක් එකතු වන්නේ ඒ අයුරිනි.

පසුගිය මහා මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණට ඇතැම් දිස්ත්‍රික්කවලින් කිසිදු අසුනක් හිමි වුනේ නැත. ඔවුන්ට මන්ත්‍රී අසුන් හිමි වුනේ කළුතර, කොළඹ, ගම්පහ, හම්බන්‍තොට දිස්ත්‍රික්ක වලිනි. නමුත් එම පක්ෂය ලැබූ සියළුම ඡන්ද එකතු කොට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී අසුන් ‍දෙකක් හිමි විය. ඔබේ ඡන්දයට වටිනාකමක් මහා මැතිවරණයකදී හිමි වන්නේ ඒ ආකාරයටය.

එම නිසා ඔබේ ඡන්දයට වටිනාකමක් ලැබෙන මහා මැතිවරණයේදී ද ජනාධිපතිවරණයේදී මෙන්ම උනන්දුවකින් ඔබේ ඡන්දය භාවිතා කර ඔබගේ පරමාධිපත්‍යය අභ්‍යාස කර ඔබ පාලනය විය යුතු නීති සම්පාදනය කරන පාර්ලිමේන්තුවට නියෝජිතයන් පත් කිරීම පුරවැසි ඔබේ වගකීමකි.

සෑම ඡන්දයකටම සුවිශේෂී වටිනාකමක්, උද්යෝගයෙන් ඡන්ද බලය භාවිතා කරමු.

-නීතිඥ දුලාන් දසනායක-

 

Print Friendly, PDF & Email

Related posts

Leave a Comment