වින්දිතයාට ශ්‍රේෂ්ඨාධිකරණයේ රැකවරණය තියෙනවා – ලක්ෂාන් ඩයස්

වධහිංසාවට එරෙහි මිනිස් පවුර

ජුනි 26 වධහිංසාවට ලක්වූවන්ට සහයෝගය පළකිරීමේ ජාත්‍යන්තර දිනයයි. වධහිංසාවෙන් තුරන්ව සිටීමේ පරම අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන වගන්තියෙන්ද කෲර හා අමානුෂික වධහිංසාවට එරෙහි 1994 අංක 22 දරන පනත මඟින්ද ප්‍රකාශයට පත්කොට තිබුන ද වධහිංසාව රටේ ආයතනික ගත භාවිතාවක් වී ඇත. ආයතනික ගත වධහිංසාවට පාත්‍ර වූ වින්දිතයෙක් හට නීතියේ රැකවරණය ලබාදීමේ සිට සාධරණයක් ඉෂ්ට වෙන තෙක් ගමන් කිරීම පහසු කටයුත්තක් නොවේ. මේ බව හොඳින්ම දන්නේ හිංසකයන්ය. ඒ නිසා ඔවුන් වධහිංසාවට බිය වන්නේ නැත.

පසුගිය ජුනි 16 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය මගින් තීන්දුවක් ලබා දුන්, දොන් සමන්ත පෙරේරා එරෙහිව හෙට්ටිපොළ පොලිස් ස්ථානාධිපති නඩු තීන්දුවේ සඳහන් වනේනේ “මෙම අධිකරණය ඉදිරියේ ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් නඩු ප්‍රමාණය අනුව පොලිස් ප්‍රචණ්ඩත්වය, අත්අඩංගුවේදී වධහිංසා පැමිණ වීම හා මරණ හෙළිදරව් වී ඇත. මෙයින් පෙනී යන්නේ රජය මෙම ප්‍රශ්නය විසඳීම සඳහා හෝ අඩු කිරීම සඳහා පියවර ගත යුතු බවයි” (SC FR APPLICATION 296/2014)

ඒ නිසා මෙවර සමබිම වෙන් වන්නේ වධහිංසාවට ලක්වූ වින්දිතයෙකු ඉහත ආකාරයේ නීතිමය සහනයක් ලබා ගැනීම දක්වා ගෙන යන දුෂ්කරක් ක්‍රියාවේ සැබෑ සාක්ෂිකරුවන්ගේ අදහස් වෙනුවෙනි.

මෙහි පළ වන්නේ වධහිංසාවට එරෙහිව දීර්ඝ කාලයක් ක්‍රියාකාරීව කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නීතිඥ ලක්ෂාන් ප්‍රනාන්දු සහ මානව හිමිකම් සුරක්ෂා නිවහනේ එම්. කුසුම් සිල්වා සමඟින් සමබිම කළ සාකච්ඡාවේ සාරාංශයකි.

 

හෙට්ටිපොළ සමන්ත පෙරේරා කියන හිටපු හමුදා සෙබලා පොලිස් වධහිංසාවට ලක්වුනේ 2013 දී. අද වසර 06කට පසුව ඔහුට මූලික අයිතිවාසිකම් නඩුවකින් සාධාරණය ඉටු වුනා. ඔහුගේ නීතිඥවරයා විදියට මේ නඩුවේ පසුබිම පැහැදිලි කළොත්.

 

මෙය පොලිස් පහර දීමක් සම්බන්ධ නඩුවක්. මෙවැනි සිදුවීමකදී විශේෂයෙන්ම සිදුවන දෙයක් තමයි පොලිසිය විසින් පහර දීමෙන් පසුව අදාළ පුද්ගලයා අපරාධ වරදක් කළ බවට පොලිසිය විසින්ම නඩුවක් පවරනවා. පොලිසිය තමන්ගේ ආරක්ෂාවටයි බොහෝ විට මෙය සිදු කරන්නෙ. මෙතැනදි පොලිසිය අර පුද්ගලයාට කියනවා තමුන් මූලික අයිතිවාසිකම් නඩු පවරන්න ගියොත් මේ නඩුව ඔහුට/ඇයට විරුද්ධව ඉදිරියට ගෙනියන බව. මෙයින් වෙන්නේ වින්දිතයා පෙළඹෙනවා ගුටි කෑවත් මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු නොකර පොලිසියෙන් දාන නඩුවත් ඉවත් කරගෙන විඳ දරාගෙන ඉන්න. දැන් මේ අපි කතා කරන හෙට්ටිපොළ සමන්ත පෙරේරාගේ සිදුවීමෙදිත් සිදුවුණේ එවැන්නක්. නමුත් මේ සිදුවීමට ඒකල පිහිටුවා තිබෙන මානව හිමිකම් සංවිධානයක් මැදිහත් වෙනවා. එම සංවිධානයේ කුසුම් සිල්වා සහ අද අප අතර නැති යු.එල්.ඒ ජෝෂප් එක්ව මේ වින්දතයා සහ ඔහුගේ පවුලේ අයට කතා බහ කරමින් ඔහු පවරලා තිබුණ මූලික අයිතිවාසිකම් නඩුවට ශක්තිමත්ව පෙනී ඉන්න අවශ්‍ය මඟපෙන්වීම කළා. නමුත් මේ අතරවාරයෙත් පොලිසිය මේ නඩුව සමථයකට පත් කරගන්න අවශ්‍ය සියලු‍ම කටයුතු කළා. ඒ අනුව පැමිණිලි පාර්ශ්වයේ නීතිඥවරු අධිකරණයට දැනුම් දුන්නා මෙවැනි සමථයකට අවශ්‍යතාවක් තිබෙන බව. නමුත් ඒ වන විට අගවිනිසුරු වශයෙන් කටයුතු කළ කේ. ශ්‍රී පවන් අග්‍රවිනිශ්චයකාරතුමා කිව්වා එවැනි සමථයකට එකඟ නැති බවත් සමථයකට පත්වීම සඳහා වන අවශ්‍යතාව ස්වේච්ඡාවෙන් සිදුවන්නක් ද යන්න පිළිබඳ තමන් ප්‍රබල ලෙස සලකා බලන බවත්. ඒ අනුව මෙය සමථයකට පත් වීමට ඉඩක් නොදී නඩුව විභාගයට ගනු ලැබුවා. මොකද සමථයකට පත් වීමේ අවශ්‍යතාව මතු වන විටත් මේ නඩුව ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී තිබුණා. වින්දිතයා පවා නඩු කටයුත්තෙදි පසුබා සිටියදි ඔහුට නොතිසී නිකුත් කරල අධිකරණයට කැඳවනු ලැබුවා. මේ නඩුවට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයට වැඩි ගෞරවයක් හිමි විය යුතුයි. ඒ වගේම වින්දිතයගේ මවත් ඒකල මානව හිමිකම් සංවිධානයේ කුසුමා මහත්මියත් විශාල වැඩ කොටසක් කළා. මම එහි නීතිඥවරයා වශයෙන් අවශ්‍ය නීතිමය වටපිටාව ගොඩනගන්න කටයුතු කළා පමණයි.

මේ නඩු තීන්දුව සුවිශේෂියි ?

ඔව්, මේ නඩුවේ තීන්දුව බොහෝම වැදගත්. තුරෛයි රාජා විනිසුරුතුමාගේ ඉතා වැදගත් ප්‍රකාශයක් එහි තිබෙනවා. එතුමා මෙහිදි ප්‍රසන්න ජයවර්ධන විනිසුරුතුමාගේ පෙර නඩු තීන්දුවක් උපුටා දක්වනවා. එම පෙර නඩු තීන්දුවේදි ප්‍රසන්න ජයවර්ධන විනිසුරුතුමා මතු කරනවා මානුෂීය අභිමානය (Human Dignity) කියන විෂය. ඒ අනුව හෙට්ටිපොළ සමන්ත පෙරේරාගේ නඩුවේදී නීතියේ පිළිසරණ සොයා යන මනුෂ්‍යයෙකුට නීතියේ පිළිසරණ ලබා දිය යුතු ආයතනයකින් එම පුද්ගලයාව තලා පෙළනවා නම් එම ක්‍රියාව මනුෂ්‍ය වර්ගයාට එරෙහි වරදක් බව තීන්දුවේ දැක්වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වැනි වගන්තියේ කතා කරන්නේ මනුෂ්‍යයන්ට එරෙහිව සිදුවන කෲර සහ අමානුෂික වධහිංසා සම්බන්ධව. නමුත් මෙය කෲර සහ අමානුෂික වධහිංසා යන විෂයන් යටතට, මනුෂ්‍ය අභිමානයට එරෙහි වැරදිත් මූලික අයිතිවාසිකම් උල්ලංඝනයක් ලෙස සාක්ෂාත් කර තිබෙනවා. ඒ නිසාම ඉදිරි නඩු තීන්දුවලදි යම් පහරදීමක් මනුෂ්‍යය අභිමානයට එරෙහිව කරන ලද ක්‍රියාවක් නිසා එය කෲර සහ අමානුෂික වධහිංසාවක්ය යන අර්ථ නිරූපනයට එළැඹෙන්න හැකියාව මේ නඩු තීන්දුව ඔස්සේ ලැබෙනවා. මෙය ලංකාවේ වධහිංසා සම්බන්ධ නඩුවලදි ප්‍රගමනීය අවස්ථාවක් හැටියටයි මම දකින්නේ.

සමන්තගේ සිදුවීමෙදි එය මනුෂ්‍යය අභිමානයට එරෙහිව කරන ලද වරදක් බවට පත් වෙන්නේ ඔහුට පහර දෙන ආකාරය අනුව. පොලිසියෙදි ඔහුව එල්ලලා, බටවලින් හිසට පහර දීලා තිබුනා. මෙය හුදු ශාරීරික වධහිංසාවක් පමණක් නොවෙයි. නමුත් මනුෂ්‍යයෙකුගේ හිසට පොල්ලකින් ගැහුවොත් ඒ පුද්ගලයා මනුෂ්‍යයෙකු වශයෙන් තමන්ගේ ජීවිත කාලය පුරාම සිය අභිමානයට එල්ල කරන ලද තර්ජනයක් හැටියටයි එය දකින්නේ. ඒ නිසාම නැවත ඔහු/ඇය කිසිම විටෙක විසංවාදයට එන්නේ නැහැ. යුක්තිය සොයා යන්නේ නැහැ. නීතියේ ආධිපත්‍ය පිළිගන්නේ නැහැ. ඒ වගේම ඔහු අභිමානවත් පුද්ගලයෙකු ලෙස තමන් ගැනම සිතන්න අසමත් වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වැනි වගන්තිය යටතේ මෙන්න මේ කාරණය උල්ලංඝනයට ලක්වීම මෙතැනදි ශේෂ්ඨාධිකරණය සලකල තිබෙනවා.

ඒ වගේම මේ නඩු තීන්දුවෙදි මෙවැනි සිදුවීම් රාජ්‍ය කොයිතරම් දුරට බැරෑරුම් ලෙස සැලකිල්ලට ගන්නවද යන්නත් මතු කර තිබෙනව. මෙවැනි සිදුවීම් මේ රටේ නැවත නැවත සිදුවෙනවා නම් රාජ්‍ය ඒ සම්බන්ධයෙන් බැරෑරුම්ව සලකා බැලිය යුතුයි. මෙවැනි දේ සිදුකරන නිලධාරීන්ට දඬුවම් පමුණුවන්නේ කෙසේද යන්න විශේෂයෙන්ම ඔවුන්ගේ වැටුප් වර්ධකයන් සහ වෘත්තීය උසස්වීම් උල්ලංඝනය කිරීම් වැනි දැනෙන දඬුවමක් ලබා දීම අවශ්‍යයි. මේ සම්බන්ධව 1994 අංක 22 දරන වධහිංසා පනත යටතේ ක්‍රියාත්මක වීමේ හැකියාව තිබෙනව. මම යෝජනා කරන දේ තමයි මේ වින්දිතයගේ දෙමාපියන්ට පුළුවන් නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කරන්න මේ පිළිබඳ සලකා බලන්න කියල.

වධහිංසාවට අදාළව වින්දිතයින් අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමු වීම අධෛර්යමත් කරන තත්ත්වයන් යටතේ මෙවැනි තීන්දුවක් සමාජයට කොයිතරම් බලපෑමක් කරන්න සමත්ද?

දැන් මේ තීන්දුව ලැබුනට පස්සේ ඒ වින්දිත පුද්ගලයා මට කිව්වා සර් තවත් හෙට්ටිපොළ ප්‍රදේශයේ මේ වගේ දේවල් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. මෙහෙම දෙයක් වුනොත් ඒ ගැන අදාළ අය දැනුවත් කරනවා කියල. දැන් මේ නඩුව වසර හයක් තිස්සේ අධිකරණයේ විභාග වෙමින් තිබුණා. මෙවැනි නඩු සඳහා කාලයක් ගත විය හැකියි. නමුත් නඩු තීන්දුව හරහාත් යම් කිසි වන්දි මුදලක් ලැබීම හරහාත් වින්දිතයන්ට කිසියම් බලාපොරොත්තුවක් ඇති කරනවා මෙවැනි ක්‍රියාමාර්ගයකට පිවිසීමෙන් යුක්තිය ඉෂ්ට කරගන්න පුළුවන් කියල. වධහිංසාව තුරන් කර ගැනීම වෙනුවෙන් මේ මතය සමාජයට ශක්තිමත් ලෙස ගමන් කළ යුතුයි.

ඒ වගේම මෙහිදි වඩා වැදගත් පොලිස් දෙපාර්තමේන්තුව මෙය දකින්නෙ කොහොමද කියන එකත්. මම හිතනවා පොලිස් දෙපාර්තමේන්තුව පැහැදිලි කැපවීමක් කළ යුතුයි තමන්ගේ දෙපාර්තමේන්තුවේ නම ශුද්ධ කර ගැනීම වෙනුවෙන්. එහි දෙවැනි පියවර තමයි එවැනි නීති විරෝධී ක්‍රියා සිදුකරන නිලධාරීන් ආරක්ෂා නොකර ඔවුන්ට දැනෙන දඬුවම් ලබා දීමට කටයුතු කිරීම. එක්සත් ජාතීන්ගේ විශ්ව කාලාන්තර සමාලෝචනයකට අනුව නීතිපති දෙපාර්තමේන්තුව එකඟතාවකට පැමිණ සිටිනවා ශේෂ්ඨාධිකරණය මෙවැනි නඩුවක් පවත්වාගෙන යාමට අවසර ලබා දුන්නට පසුව එම චූදිතයන් වෙනුවෙන් පෙනි නොසිටින බවට. අද වන විට ශේෂ්ඨාධිකරණයේ අපි දකිනවා නීතිපති දෙපාර්තමේන්තුව චූදිතයන් වෙනුවෙන් මුල් අවස්ථාවේ පෙනි සිටියත් නඩුව පවත්වාගෙන යෑමට අවසර දුන්නට පසුව චූදිතයන් වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ. මම හිතනවා ඒ හැකියාවම පොලිසියටත් තිබිය යුතු බව.

නීතිඥ ලක්ෂාන් ඩයස් සමඟින් සාකච්ඡා කළේ, ජයනි අබේසේකර (සමබිම ඉරිදා අතිරේකය)

Print Friendly, PDF & Email

Related posts

Leave a Comment