වැටත් නියරත් ගොයම් කා නම් කාට කියන්නද ඒ අමාරුව – පිලිප් දිසානයක

වැටත් නියරත් ගොයම් කා නම් කාට කියන්නද ඒ අමාරුව – පිලිප් දිසානයක

මහජනතාවගේ ජීවිත මෙන්ම දේපල ආරක්ෂා කරමින් ඒම රටේ නීතිය හා සාමය පවත්වාගෙන යාම සදහා මහජනයා විසින්ම වැටුප්, දීමනා ඇතුලු අනෙකුත් පහසුකම් ලබා දී පවත්වාගෙන යනු ලබන රාජ්‍ය ආයතන අතරින්, පොලීසියට හිමිවන්නේ ප්‍රධාන ස්ථානයකි.

පොලීසිය විසින් ඉහත සදහන් කළ තම රාජකාරිය නිවැරදිව, කාර්යක්ෂමව, අපක්ෂපාතීව ඉටු කරන්නේ නම්, ඒ් පොලීසිය පවතින රට ඉක්මනින් දියුණුවට පත්වී, ඒම රටේ නීතියේ ආධිපත්‍යද තහවුරු වී මිනිසුන්ගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ද ආරක්ෂා වෙනු ඇත. රටක් තුළ අපරාධ, අල්ලස, දූෂණ, වංචාවන් බහුලව සිදු වන්නේ නම්, පුද්ගලයින් ගේ තරාතිරම අනුව නීතිය ඒහෙට මෙහෙට නැමේ නම් කිසිදා ඒ රට දියුණුවට පත්විය නොහැක.

නිදහසින් පසුව අප හැත්තෑ දෙවසරක් ගතකර ඇතත්, අපේ රට තවමත් සංවර්ධනය වෙමින් පවතින දිළිඳු රටක් බවට පත්ව තිබෙන්නේ ඉහත ගැටලු අප තවමත් හරිහැටි විසදා නැති නිසාය.

ශ්‍රී ලංකා රාජ්‍ය තුළ පවතින මෙවැනි ගැටලු විසදීමට යැයි පවසමින් මින් පෙර සිටි තරුණ පරපුර අවස්ථා ගනනාවකදී යම් යම් උත්සාහයන් ගනු ලැබුවත් ඒවා ඉතා අසාර්ථක වූවක් පමණක් නොව, ඉන් පැවති තත්තවය තව තවත් නරක්වීමට ද හේතු වූවාය. ඒමෙන්ම, මේ හේතුව මත අපට සමාන්‍ය නීතිය වෙනුවට හදිසි නීති තත්ත්වයන් තුළ වැඩි කාලයක් ජීවත්වීමට සිදු වූවාය.

ඒමෙන්ම, මානව නිදහසට සෘජු ලෙසම බලපාන නීති විරෝධී අත්අඩංගුවට ගැනීම්, කෲර වදහිංසාව, නීති විරෝධී ඝාතණ, අතුරුදහන්කරවීම් අප රටේ සමාන්‍ය දේ බවට පත් විය. එපමණක් නොව මෙම නීති විරෝධී ක්‍රියාවන් අප සමාජයට කොපමණ පත්තියන් වී තිබුනේද කියතොත් හදිසියෙන් හෝ මීට විරුද්ධ කතා කළ වුන් දේශද්‍රෝහීන් බවට ද පත් විය. ඒම මතවාද සමාජ ගත කිරීම ප්‍රධාන වගකීම පසුගිය අසාර්ථක අරගලයන්ට නායක්තවය සපයා මොනයම් ක්‍රමයකින් හෝ දිවි බේරගත් අය විසින්ම සිදු කිරීම ශ්‍රී ලංකීය අනන්‍යතාවය බවටද පත් විය.

මෙසේ අනූනමයෙන් දිවි බේරගත් උදවියත්, අලුත් පරපුරේ ද බහුතරයක්, පවතින මෙම දුෂිත වූ තත්ත්වය වෙනස් කිරීම සදහා පසුගිය අත්දැකීම්ද මත පදනම්ව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයන් හරහා නැවතත් උත්සාහය ගනු වෙනුවට, කොටසක් මෙම ක්‍රමයට අනුගත වෙමින් ඒහි වරප්‍රසාද ලබාගෙන  මෙම කුණු වූ ක්‍රමය පවත්වාගෙන යාම තම ජීවිකාව කර ගත්තාය. ඉතිරි කොටස අපිට වඩා සාර්ථක යැයි පැවසෙන රාජ්‍යයන් වෙත තම දිවි පරදුවට තබා හෝ සංක්‍රමණය වීමට පටන් ගත්තාය.

වර්තමානයේ ජීවත්වන බොහෝ දෙනා කල්පනා කරන්නේ, අපේ රට නැවත ගොඩනැගිය නොහැකි මට්ටමට වැටී ඇති නිසා, ටෝලර්, බොට්ටුවක හෝ වෙනත් කිසියම්ම හෝ නීති විරෝධී ආකාරයකින් හෝ ඒසේ දියුනු යැයි පැවසෙන රටකට පැන ගොස්, ඒහි පවතින අපට වඩා දියුණු ප්‍රජාතන්ත්‍රවාදී භාවිතයන් අවභාවිතා කරමින් කිසියම් ම හෝ රැකවරණයක් ලබා ගෙන ජීවත් විය යුතු බවයි.

මෙවැනි ආකල්පයක අද බොහෝ දෙනෙකු සිටින නිසා ඉන්න රට හදා ගන්න කිසිවෙකුට වුවමනාවක් නැත. ශ්‍රී ලංකික තරුණ තැරණියන් වැඩි දෙනෙකුගේ ආකල්පය නිදහස් වෙලද කාලපයේ බෝඩිං කාමර වල සිටින අයගේ ආකල්ප මෙනි. ඒ අයගේ බොඩිම යනු අත්මයක් ලැබෙන තුරු සැරි සැරීමකි. ගන්දබ්බ ජීවිතයක් ගතකරන ඔවුන්ට  ස්ථිරත්වයක් නැත. ඒ් නිසා බොඩිම ලස්සන තැනක් බවට පත්කිරීමට ඔවුන්ට වුවමනාවක් නැත. ලද සැනින් ඉන් පිටව යාම ඒ සැමගේ පාර්ථනාව වී තිබේ.

මෙම අදහස් අපගේ තරුණ පරම්පරාවේ පැල කර තිබෙන්නේ ද වැඩිහිටි පරපුර විසිනි. ඔවුන් පසුගිය ආසර්ථක තරුණ කැරලිහී පැවති කෲරත්වයත්, ඒය මර්ධනය කිරීම සදහා රාජ්‍යය ක්‍රියාත්මක වූ කෲර ආකාරයත් පිළිබදව ඇති අත්දැකීම් නිසා විශාල බියකින් පසුවේ. මෙම බිය නිසා පසුගිය කැරළිකාරිත්වය තුළ ඉතා සක්‍රීයව සිටි සමහර වැඩිහිටියන් පවා තම තරුණ දරැවන් දකින්නේ ළදරැවන් ලෙසය. බොහෝ වැඩිහිටියන් තම දරුවන් සියලු සමාජ ක්‍රියාකාරකම් වලින් ඈත්කර තබයි. පසුගිය අත්දැකීම් පිළිබදව සත්‍ය කතා නොකරයි. පවතින තත්ත්වයට කිසිදු විසදුමක් නොමැති බවද පවසයි. ඒ් නිසා  මේ රට තුළ තව දුරටත් ජීවත්වීම විශාල මෝඩකමක් බව, තුන්වේලටම පවසයි. ඒ් නිසා අතේ සල්ලි නැත්නම්, කුඹුර හෝ ඉඩම උගස්කොට යුරෝපෙට බැරි නම් දකුණු ආසියාතික රටකට හෝ ගොස් ජීවත් වීමට ඔවුන් පොළොඹවයි.

වැඩි හිටි පරපුරේ මෙම ආකල්ප දශක ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක වූ නිසා, අපට පහලින් සිටි රටවල් වේගයෙන් දියුණුවෙන් දියුණුවට පැමිණෙද්දී අප දශක හතක් තිස්සේ  ඒක තැන පල්වූවාය. සාර්ථක රාජ්‍යයක් ගොඩනැගීම සදහා අවශ්‍ය මූලික ක්‍රියාමාර්ග නොගෙන අහස උසට ගොඩනැගිලි, අධිවේගී මාර්ග, වරාය, පාලම්, බෝක්කු ගොඩනැගුවත් ඉන් කිසිදු දියුණුවක් ලැබී නැත්තේ ඒ් නිසාය. දැන් හෙලිවන තොරතුරු අනුව, ඉහත ව්‍යාපෘති ක්‍රියාත්මක වීම නිසා සිදුව ඇත්තේ අප තව තවත් ප්‍රපාතයට ඇද වැටීමකි. සමහර නොවැදගත් ව්‍යාපෘති නිසාත්, ඒ තුළ සිදු වූ විශාල දූෂණ අක්‍රමිකතාත්, ඊට ලබාගත් අධික ණය කන්දරාව නිසා අද වන විට අප විශාල ණය උගුලක හිරවී හමාරය. ඉන් බේරීමට නම් ඒම ව්‍යාපෘති සදහා ණය ලබාදුන් අය වෙතම, ඒම ව්‍යාපෘති පවරා දීමට සිදුව තිබේ.

අන් රටවල් මෙවැනි ව්‍යාපෘති කිරීමේ දී සිදුවන අපරාධ, දූෂණ, වංචා අක්‍රමිකතා නැවැත්වීමට නව දැනුම හා තාක්ෂණය මත පදනම්ව කටයුතු කරන විට අප රට නව දැනුම හා තාක්ෂණය භාවිතා කරමින් අපරාධ, දූෂණ හා වංචා සිදු කිරීම වර්ධනය කරගෙන තිබේ. මෙහි වැදගත්ම සාධකය වන්නේ මේ සම්බන්ධව සොයා බැලීම සදහා ස්ථාපිත කර ඇති ආයතන හා නිළධාරීනුත් මෙම ක්‍රියාවලියට සෘජුව හෝ වක්‍රව සම්බන්ධ කරගෙන තිබීමයි. අපරාධ, දූෂණ, වංචා හා අක්‍රමිකතා වැලැක්වීමට ස්ථාපිත ආයතනම අපරාධ, දූෂණ, වංචා හා අක්‍රමිකතා පවත්වාගෙන යනු ලබන ආයතන බවට පරිවර්තනය වී තිබේ නම්, ඇති විය හැකි තත්ත්වය කෙබදුද?

ඉතා දීර්ඝ කාලයක් තිස්සේ ලංකාවේ පැවති ඒවැනි මහා පරිමාණයේ අපරාධයක් පසුගියදා ඉතා අහම්බෙන් හෙලිවීමත් සමගම අද රට වැටී ඇති අගාධයේ ගැඹුර මොහොතකට දැක ගැනීමට අපට පසුගිය දා හැකි විය. ඒ් පොලිස් මත්දව්‍ය නාශක අංශයේ නිළධාරීන් පිරිසක් විසින්ම රාජ්‍ය රැකවරණය සහිතව ජයටම මත්ද්‍රව්‍ය ජාවාරම කරගෙන ගොස් ඇති බව හෙලිවීමෙනි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශකය අංශයේ ඒම නිලධාරීන්, ඒක් මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙකුගේ ඔත්තුවක් මත තවත් ඒවැනිම ජාවාරම් කරුවෙකුගේ මත්දව්‍ය ඇල්ලීමත්, ඉන් කොටසක් ඔත්තුකරුට ලබා දීම, ඉතිරියෙන් කොටසක් පැකට් කර බෙදා හැරීම, විකිනීම සහ මත් ද්‍රව්‍ය ඇල්ලීම වෙනුවෙන් රාජ්‍ය සම්මාන හා ත්‍යාග මුදල් ලබා ගැනීමත් ඉන් නොනැවතී ව්‍යාජ මුදල් අච්චුගැසීම හා අවි ජාවාරම ව්‍යාපාරයක් ලෙස කාලයක් තිස්සේ පවත්වාගෙන ගොස් ඇති බව රජයේ නීතිඥයා විසින් පසුගියදා අධිකරණයට කරැණු ඉදිරිපත් කර තිබුනි.

වර්තමානයේ රට පත්ව ඇති තත්ත්වය තුල අප රටේ දූෂණ හා අපරාධයන් වර්ධනය වීමට ඒවා මැඩලීම සදහා කටයුතු කරනු ලබන සමහර ආයතන හා නිලධාරීන් සම්බන්ධ විය හැකි බවට අවබෝධයක් පැවතිමුත්, මුලු සමාජයක් විනාශ කරන මේ ආකාරයේ, ඉතා පහත් මට්ටමට මෙම සංසස්ථාවන් පත්ව ඇති බවට අවබෝධයක් මට නොතිබුනි.

මේ පිළිබදව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ හිටපු මහාචාර්යවරයෙකු වන මහාචාර්ය සිසිර පින්නවල බීබීසී සිංහල සේවය සමඟ අදහස් දක්වමින් පෙන්වා දී ඇත්තේ

“ලංකාවේ රාජ්‍යය කියල දෙයක් නිසි පරිදි තියෙනව කියල මම හිතන්නේ නෑ. ලංකාවේ තියෙන්නේ රෙජීම් (regime) එකක්. පොලිසිය ආරක්ෂා කරන්නේ රාජ්‍යය නෙවෙයි, ඒ රෙජීම් එක, මේක සම්පූර්ණ ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතියේම පිරිහීමක්. අද තියෙන්නේ අපරාධවලට හවුල්වූ (criminalized) වෙච්ච දේශපාලනයක්. අනික එයාල භාවිත කරන්නේ අපරාධමය ආකල්පයක්.”

ඔහු වැඩි දුරටත් පවසා ඇත්තේ පොලිසිය, අධිකරණය සහ හමුදාව යනු රාජ්‍ය මර්දනයේ යාන්ත්‍රණ ලෙසින් ව්ලදිමීර් ලෙනින් විසින් විග්‍රහ කර තිබුනත් ශ්‍රී ලංකාවේ දී පොලිසියට එම විග්‍රහය ගැලපෙන්නේ යයි තමන් විශ්වාස නොකරන බව ද පවසයි.

වර්තමානයේ ශ්‍රී ලංකාවේ දේශපාලකයන් බොහෝ දෙනෙක් අපරාධකරුවන් හෝ අපරාධකරුවන් සමඟ සමීප සම්බන්ධතා පවත්වන්නන් බව පෙන්වාදෙන මහාචාර්ය සිසිර පින්නවල, එබැවින් වර්තමානයේ ශ්‍රී ලංකාවේ පොලිසිය පෙනී සිටින්නේ “ලුම්පන් පැලැන්තියක් නියෝජනය කරන පාලක පන්තිය වෙනුවෙන්” බව ද සඳහන් කර තිබේ.

“ලංකාවේ දැන් ඉන්නවා, එකපාරටම මතුවෙච්ච ලොකු සල්ලි කාරයෝ. ලංකාවේ පොලිසිය ඉන්නේ ඒ ලුම්පන් සල්ලික්කාරයන් වෙනුවෙන්. ඒ කියන්නේ ආචාර් ධර්ම නැති, සල්ලි වෙනුවෙන්ම පෙනී ඉන්න කණ්ඩායමක් වෙනුවෙන්.” ඔහු වැඩි දුරටත් පවසයි.

අද අප වැටී සිටින මෙම අගාධයෙන් ගොඩ ඒමට නම්, දැන්වත් අපි පැලදගෙන සිටින විවිධාකාරයේ කණ්නාඩි මොහොතකට ගලවා දමා පක්ෂ විපක්ෂ සියලු බලවේග ඒක්කරගනිමින් පවතින යථාර්ථය පිළිබදවව ගැඹුරැ අවබෝධයකට පැමිණිය යුතුය. ඒ අනුව වහා වහා ක්‍රියාත්මක විය යුතුය.

Right to Life Human Rights Centre

පිලිප් දිසානායක –  (කාටුනය – අවන්ත ආටිගල)

Print Friendly, PDF & Email

Related posts

Leave a Comment