එදා රට විරුවන් අද මිනිස් බෝම්බද?

එදා රට විරුවන් අද මිනිස් බෝම්බද?

‘මව්බිම බේරා ගැනීමේ අවසන් අවස්ථාව’ ලෙස උත්කර්ෂයට නැංවූ ඉකුත් ජනාධිපතිවරණ සමයේ අතින් මුදල් වියදම් කර ගුවන් ටිකට් පත් ලබා මෙරටට පැමිණ, වත්මන් ජනාධිපතිවරයා වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කළ විදෙස්ගතව සිටි ශ්‍රී ලාංකිකයන් බොහොමයක් ජනාධිපතිවරණයෙන් පසු යළි රැකියා සඳහා ගුවන්ගත වූහ. රටට විදේශ විනිමය ගෙන්වන විශාලතම නියැදිය වන ඔවුන් රටේ මූල්‍ය සංචිත යම් පමණකට හෝ ස්ථාවරව පවත්වාගැනීමට ලබාදෙන දායකත්වය ඉමහත්ය. ඒ නිසාම ජාතිකවාදී රාජ්‍ය භාෂාව තුළ ඔවුන් යළි වරනැඟුනේ ‘රට විරුවන්’ ලෙසිනි. කුමක් හෝ හේතුවකට මෙරට පළමු රෝගකාරක සතුරා ලෙස ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් හැඳින්වූයේ ඉතාලි සහ කොරියානු ශ්‍රමිකයන්ය. දෙවනුව මුස්ලිම් ප්‍රජාවද, තෙවනුව රණවිරුවන් ද කොරෝනා බෝ කරන සතුරන් බවට පත්විය. මේ මොහොත වනවිට රටේ දැවැන්තම ඛේදවාචකය බවට පත්ව ඇත්තේ සංක්‍රමණික ලාංකිකයින්ය.

ආසාදිතයන් හඹායෑම සිය විනෝදය බවට පත් කරගත් මාධ්‍ය විසින් පසුව එය නොදැනීම අපගේ විනෝදය බවටත් පත් කරන ලදී. ඒ අනුව යුද්ධයේදී මරණ, අත්පත් කරගන්නා බිම් අඟල් ප්‍රමාණය, ක්‍රිකට් තරඟයක ලකුණු හෝ කඩුලු සංඛ්‍යාව කෙරෙහි උනන්දුවන තරමටම වසංගතයේ ආසාදිතයින් දැන ගැනීම විනෝදය බවට නිතැතින්ම පත්විය. දැන් අප එකී විනෝදයේ කර වටක් ගිලී සිටින මොහොතක මෙම ව්‍යසනය විසින් නිර්මාණය කරන ලද සැබෑ ප්‍රශ්න වලට පිළිතුරු සෙවීම අතපසු කර තිබේ. මේ මොහොතේ විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් යනු එවැනි සැබෑ ප්‍රශ්නයකි. විනෝදය, ත්‍රාසයක් බවට පත්කරන අභියෝගයකි.

ගෝලීය වසංගත තත්ත්වයකදී ලොව පුරා රටවල මිනිසුන් වසංගතයට ගොදුරුවී ඇති පසුබිමක විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයින්ට පමණක් කොවිඞ් ආසාදනය නොවීමට හේතුවක් නැත. ජාත්‍යන්තර සම්මුතින්, විදේශ ප්‍රතිපත්තිය, මානුෂීය රීතින් කෙසේවතුදු බොහෝ රටවල් මෙවන් ගෝලීය ව්‍යසනයකදී ස්වකීය ස්වදේශිකයින්ට පළමු තැන දීමද අරුමයක් නොවේ. අනෙක් අතට ඒ ඒ රටවල ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය, සෞඛ්‍ය පහසුකම්, සංක්‍රමණික නීතිය, රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවය ආදී බොහෝ සාධක වල ස්වරූපය අනුව සංක්‍රමණික රෝගීන් කෙරෙහි මැදිහත්වීමද නානාවිධ විය හැකිය. එහෙයින් විදේශයන්හි වසංගත තත්ත්වය නිසා පීඩාවට පත්ව සිටින සංක්‍රමණික ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් වඩාත් වගකීම් සහගතව මැදිහත්වීම රජයේ වගකීමය. අවස්ථා ගණනාවකදීම ඒ සඳහා යම් යම් සාධනීය පියවර ගැනීමට රජය ක්‍රියා කළ බවත්, ලාංකිකයින් ගෙන්වා ගැනීමට ක්‍රියා කළ බවත් සැබෑය. එහෙත් චිත්‍රය අප හමුවේ මවාපාන මාදිලියට වඩා බෙහෙවින් බිහිසුණුය.

කටාර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් 1051 දෙනෙකුට කොවිඞ් 19 ආසාදනය වී ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ වාර්තාවක දැක්විණි. ශ්‍රී ලාංකිකයන් ලක්ෂයකට අධික පිරිසක් කටාර්හි රැකියාවල නිරත ව සිටින අතර ඒ අතුරින් වැඩිම පිරිසක් කම්කරු සහ ගෘහ සේවයේ නිරත වූවන්ය. දෙසතියකට පමණ ඉහතදී කටාර් වෙත යැවීමට සූදානම් කර තිබුණු ගුවන් යානය හදිසියේ අවලංගු කළද, පසුව එකී තීරණය වෙනස් කරමින් පසුදින කටාර්හි සිටි පිරිසක් ගෙන්වා ගැනීමට කටයුතු කරනු ලැබිණි.

ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා රුමේනියානු ගුවන්තොටුපළ වෙත යවන ලද විශාල පිරිසක්ද, ගෙන්වා ගැනීමට තීරණය කොට එකී තීරණය හදිසියේ වෙනස් කළ බැවින් ගුවන්තොටුපළ වෙත පැමිණ බලවත් අසීරුතාවන්ට පත්වූ බව වාර්තා විය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විදෙස් සබඳතා අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියේ සඳහන් වූයේ රුමේනියාවේ කම්කරු අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් මෙම පිරිසට විකල්ප රැකියා ලබාදීමට සහ එතෙක් නවාතැන් පහසුකම් සැලසීමටත් ක්‍රියා කර ඇති බවයි. කුවේට්හි හවාලි නගරයේ සිටි ශ්‍රී ලාංකිකයෙකු සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් කළ වීඩියෝවක දැක්වෙන පරිදි ජූනි 31 තෙක් එරට සම්පූර්ණයෙන් අගුළුලා (Lockdown) තිබේ. එරට 23,000ට වැඩි පිරිසකට කොවිඞ් ආසාදනය වී ඇති අතර ලක්ෂයකට ආසන්න ශ්‍රී ලාංකිකයින්ගෙන් 400ට වැඩි පිරිසකට රෝගය ආසාදනය වී තිබේ.

මෙහිදී වඩාත් අවධාරණය කළ යුතු කාරණය වන්නේ කුවේට්හි සිටින ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය, වැනි ආසියාතිකයින් අතර වේගයෙන් රෝගය පැතිරුණත් ඔවුන්ගේ රටවලින් වෛද්‍ය හා සෞඛ්‍ය කණ්ඩායම් ගොස් ඔවුන්ට හැකි පමණින් ප්‍රතිකාර කටයුතු ආරම්භ කර තිබීමයි. එවැනි දායකත්වයක් සඳහා හෝ ශ්‍රී ලංකා රජය මෙතෙක් පියවරක් ගෙන නැත. කෙසේ වෙතත් දැනට කොරෝනා ආසාදනය වී කුවේටයේ සිටින 600ක පමණ පිරිසට කඩිනමින් යම් පිළිසරණක් අවැසි බව පැහැදිලිය. කුවේටයේ පමණක් සමස්තයක් වශයෙන් ශ්‍රී ලාංකිකයන් 16,500 ක් පමණ සිටින අතර ඔවුන් සියලුදෙනාම නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට කැමැත්ත පළකර තිබුණි. මීට අමතරව කටාරයේ 665ක්ද, සෞදි අරාබියේ 327ක්ද, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 414ක්ද, ඊශ්‍රායලයේ 178ක්ද, බහරේනයේ 374ක්ද, ජෝර්දානයේ 602ක්ද, ලෙබනනයේ 123ක්ද මෙරටට පැමිණීමට කැමැත්තෙන් සිටින බව විදේශ සබඳතා අමාත්‍යාංශය පවසයි. මෙම සංඛ්‍යා දත්ත වැඩිවිය හැකිවා විනා කිසිසේත්ම අඩුවිය හැකි නම් නොවේ.

කොරෝනා වෛරසය පැතිරීමේ අවදානම ඉහළ මට්ටමක පවතින් මාලදිවයිනේ සිට ලංකාවට පැමිණීමේ අපේක්ෂාවෙන් ශ්‍රමිකයින් 7000ක පමණ පිරිසක් සිටින බව විදේශ සබඳතා අමාත්‍යාංශය විසින්ම ප්‍රකාශකර තිබේ. ඒ අය අතුරින් 2000කට ආසන්න පිරිසක් මාලේ අගනුවර රැඳී සිටින බව සඳහන්ය. මේ ලාංකිකයින් පිරිස ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් මාලදිවයිනේ රාජ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡා පවත්වා තිබෙන අතර එම පිරිස මෙරටට ගෙන්වා ගැනීමට පෙර එරටේදී පීසීආර් (PCR) පරීක්ෂණ සිදුකිරීමට මාලදිවයින් බලධාරීන් සම කැමැත්ත ප්‍රකාශකර තිබේ. එහෙත් මේ දක්වා මෙරට ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියා මාර්ගය පැහැදිලි නැත. එසේ වුවද මේ වනවිට ෂීසෙල්ස්, මාලදිවයින සහ කුවේට් යන රටවල සිටින නැවත සිය රට බලා යෑමට නොහැකිවීම පිළිබඳව කෝපයට පත් ශ්‍රී ලාංකිකයන්ගෙන් සිය කාර්ය මණ්ඩලය ආරක්ෂා කර ගැනීම සඳහා එම රටවල ශ්‍රී ලංකා තානාපති සහ මහකොමසාරිස් කාර්යාලවලට පොලිස් ආරක්ෂාව ලබාදී ඇති බව නම් ප්‍රසිද්ධ කරුණකි. විදේශීය දූත මණ්ඩලවලට මෙලෙස පීඩන එල්ලවී ඇති ස්ථානවලට ආරක්ෂාව සැපයීම පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු වගකිව යුතු බලධාරීන්ට දැනුම්දී ඇති බව විදේශ සබඳතා අමාත්‍යාංශය ද නිවේදනය කර තිබුණි.

මේ අතර සීෂෙල්ස් රාජ්‍යයේද, ශ්‍රී ලාංකිකයන් 300 කට අධික පිරිසක් හිරවී සිටින බවට වාර්තා පළව තිබියදීත්, ආණ්ඩුව විසින් ඒ ගැන තැකීමක් නොකොට, මෙඩිකල් ටුවරිසම් යැයි වචන යොදාගනිමින් කොරෝනා රෝගය වැළඳුණු සීෂෙල්ස් රාජ්‍යයේ වැසියන් ලංකාවට ආනයනය කරමින් සිටින බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ද පසුගිය 29 දා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය. අනෙක් අතට විදේශ කටයුතු පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් රියර් අද්මිරාල් ජයනාත් කොළඹගේ විසින් ප්‍රසිද්ධ මාධ්‍යයට කළ කරුණු දැක්වීම මෙහිදී සුළුකොට තැකිය නොහැකිය. ඔහු කියා සිටියේ මාලදිවයින, සීෂෙල්ස්, බංග්ලාදේශය වැනි රටවල සේවය කරමින් සිටි වැඩි දෙනෙකු සිටියත් ඔවුන් ගෙන්වා ගැනීමේදී යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බවයි. “මොකද මේවන විට විදේශයන්ගෙන් ගෙන්වා ගත් ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක්වෙමින් සිටින නිසා යම් විදිහකට ඒවායේ ඉඩකඩ ලැබෙනතුරු කාලයක් ගැනීමට සිද්ධවෙනවා” ඔහු වැඩිදුරටත් කියා සිටියේය. ඒ අනුව අවශ්‍යතාවද, එහි ප්‍රමුඛතාවද දේශපාලනික බැව් අමුතුවෙන් කිව යුතු නොවේ.

පවත්නා තත්ත්වය හමුවේ කළ යුතුව ඇත්තේ විදේශයන්හි වෙසෙන, කොවිඞ් අවදානමට ලක්ව ඇති මෙන්ම වසංගත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව ලංකාවට පැමිණීමට අයදින පිරිස් ගෙන්වා ගැනීමට කටයුතු කිරීමය. එහිදී පවත්නා නිරෝධායන මධ්‍යස්ථානවල ඉඩකඩ පිළිබඳ ගැටළුවක් පවතින්නේ නම් නව නිරෝධායන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට, පොදු ගොඩනැඟිලි, රාජ්‍ය ආයතන වුවද තාවකාලිකව සුදුසු පරිදි සකස් කොට ප්‍රයෝජනයට ගැනීමය. සංක්‍රමණික පිරිස් වෙතින් තවදුරටත් වෛරසය ව්‍යාප්තවීමට ඉඩ නොතැබීමය. ඒ වෙනුවෙන් පැමිණෙන පිරිස් ගුවන්තොටුපළ පරිශ්‍රයේදීම පී.සී.ආර් පරීක්ෂණවලට යොමු කිරීමත්, එකී වාර්තා පැමිණෙන තෙක් ඔවුනොවුන් වෙන් වෙන්ව තැබීමත් කටයුතු කිරීම වඩා සුදුසු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය නවීන්ද ද සොයිසා පෙන්වාදී තිබුණි. මේ අතර ගුවන් තොටුපළ පරිශ්‍රය තුළ නිර්මාණය කරන රසායනාගාරයක් මඟින් සියලු ආගමණිකයන් RT-PCR පරීක්ෂාවට ලක් කිරීම කළ හැකි බවත්, එම RT-PCR පරීක්ෂණ සමෝධානික රසායනාගාර ක්‍රමවේද මඟින් පැයක පමණ කාලයකදී රසායනාගාර පරීක්ෂණ වාර්තාවක් නිකුත් කළ හැකි වන පරිදි මෙම රසායනාගාර සේවාව නිර්මාණය කළ හැකි බවත් රජයේ වෛද්‍ය රසායානාගාර විද්‍යාඥ සංගමය ද ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම්දී තිබුණි.

ඒ අනුව ව්‍යාජ සතුරෙකු මවාපාමින්, එයම උත්කර්ෂයට නංවා නඩත්තු කිරීම වෙනුවට රටේ පුරවැසියන්ගේ සුරක්ෂිතතාව තහවුරු කිරීම රජයේ පරම වගකීමය. අමතක නොකළ යුතු වන්නේ තේ, පොල්, රබර්, ඇඟලුම් නොව අපේ රටට සෟජු දැවැන්ත විදේශ විනිමයක් ලැබෙනුයේ මෙම විදේශගත ශ්‍රමිකයින්ගෙන් බවය. මේ රටේ තෙල්, ඖෂධ වැනි අත්‍යාවශ්‍ය වශයෙන් පවත්නා බිල් ගෙවෙන්නේ මේ විදේශගත වූවන්ගෙන් රටට ලැබෙන ආදායමෙන් බවය. විවිධ ක්ෂේත්‍රවල නියුතු ලක්ෂ 30 ක් හෙවත් රටේ ජනගහණයෙන් 15% ක් පමණ වන විදෙස්ගත මෙම ලාංකිකයන් සම්බන්ධයෙන් නිසි වැඩපිළිවෙළක, ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාව වඩාත් දැනෙන බවය.

ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර

samabima.com

Print Friendly, PDF & Email

Related posts

Leave a Comment