අපේකම යනු කුමක්ද? – බැසිල් ප‍්‍රනාන්දු

මේ දිනවල අපේකම පිළිබදව වැදගත් සාකච්ඡාවක් නිර්මාණය වෙමින් පවතී. මෙයට එක් ප‍්‍රධාන හේතුවක් වන්නේ දැනට ලංකාෙව් සමස්ථ ජනතාව තුලම ලංකාෙව් ප‍්‍රාග් ඉතිහාසය පිළිබද ගෙව්ශණ වල සොයා ගැනීම් පැතිරීමට පටන්ගෙන තිබෙන නිසාය. මෙය අතිශයින් වැදගත් වන සාකච්ඡාවක මුල් අවධියකි.

මේ නිසා අපේකම යන්න පිළිබද අදහස ලංකාෙව් විකාශනය වී ඇති ආකාරය පිළිබදව කල්පනා කිරීම වටී. ඉතිහාසයේ ප‍්‍රධාන අවධීන් හිදී මෙම අදහස පිළිබදව වෙනත් අර්ථකතනයන් පැවතී ඇති බව පෙනී යයි. අපේකම පිළිබද අදහසේ විකාශනය පහත සදහන් අවධීන් තුලින් සිදු වූ බව පෙනී යයි.

පළමු වන අවධිය ලංකාවට ආදිවාසී කණ්ඩායම් දැනට අවුරුදු එක් ලක්ෂ විසි පන්දහසක පමණ පෙර කාලයකදී අවතීරණය වී ක‍්‍රමයෙන් ඔවුහු ලංකාෙව් ආදිවාසී ස්වදේශිකයන් බවට පත් විය. ඔවුහු දීර්ඝ කාලයක් තිස්සේ මූලික වශයෙන් දඩයක්කාරයන් හා ආහාර ස්වභාව ධර්මය තුලින් එකතු කර ගත් අය වූහ.

දෙවනි අවධිය වන්නේ සංවිධානාත්මක කෘෂිකර්මය ලංකාෙව් ඇති වීමය. ආදිවාසී ස්වදේශිකයන් ස්වභාවධර්මයෙන් ලබාගෙන බුක්ති විදි විවිධ භෝග වර්ගයන් වවන්නට පටන් ගත්හ. මෙය ක‍්‍රි.පූ. 6000 හෝ ඊට ලග කාලයක සිදු වූවයි සලකනු ලබයි. මෙම මුල් අවධියේදී වගාව සිදු වූයේ එකි නෙකාගේ ආහාරය සදහාය.

එහෙත් එක්තරා කාලයකදී මෙම මුල් ගොවියෝ අතිරික්තයක් නිර්මාණය කල හැකි පමණට කෘෂි කර්මය දියුණු කලහ. මෙම අතිරික්තයද මුලින් පාවිච්චි කරගන්නට ඇත්තේ ඔවුන්ගේම පාරිබෝජනය සදහාය. අස්වැන්න ලැබෙන කාලයේදී ලබාගත් ධාන්‍ය එසේ නොලැබෙන කාලයේදී ප‍්‍රයෝජනයට ගැනීම සදහා ඔවුහු තරමක් ඒවා රුස් කර ගන්නට ඇතැයි සිතිය හැකිය. මෙවනි පුරුද්දක් අද වන තුරුත් ලංකාෙවේ සුලූ ගොවියන් අතර පවතී.

එහෙත් පසු කාලයේදී අතිරික්තයක් ලබා ගැනීෙම් අරමුණින්ම ගොවිතැන් කිරීම ඇති වීමත් සමග ඉඩම් පිළිබද අදහස වර්ධනය වීමට පටන් ගත්තේය. වැඩි බිම් ප‍්‍රමාණයක් අයිති කර ගතහොත් ඒ තුල වැඩි ගොවි තැනක් කල හැකි බවත්, එම ගොවි තැනින් ලැබෙන ධාන්‍ය රුස්කර ගැනීම මගින් ඒවා විකිනීමට මෙන්ම ධනය උපයන මාර්ගයක් සේ යොදා ගැනීමට හැකි බවත් ඔවුනට පෙනී යන්නට ඇත.

මේ කාලය තුල කෘෂිකර්මය හා ඊට බද්ධ වුනු වෙනත් වානිජ කටයුතු වර්ධනය වන්නට ඇතැයි සිතිය හැකිය. මෙම වානිජ කටයුතු ඔස්සේ ලංකාවට ස්වදේශික නොවූ පුද්ගයන් ඇතුලූ වන්නට ඇති අතර ඔවුන් අතරින් ආ සංක‍්‍රමණිකයන් ලංකාෙව් පදිංචිවන්නටත් ඇත. අනුරාධපුරය රෙට් මුල් නගරය සේ ඇති වීමත් ඒ තුල වෙනත් දේ අතර වාරි මාර්ග පිළිබද දියුණුවක් ඇති වීමත් මෙම සංවිධානාත්මක කෘෂිකර්මය මුලින් පටන්ගත් අවධියේ සිදු වන්නට ඇතැයි උප කල්පනය කල හැකිය.

ලංකාවට ලගා වූ සංක‍්‍රමණිකයන්ද, ඉන්දියාවට පැමිණ වර්ධනය වූ එම රෙට් ස්වදේශීය ආදිවාසීන්ගෙන් පැවතෙන්නෝ යැයි සිතිය හැකිය. උදාහරණ වශයෙන් ඉන්දියාෙව් සමහර ප‍්‍රදේශ වල ජනයාගේ ශාරීරික ලක්ෂණ ලාංකිකයන්ගේ ශාරීරික ලක්ෂණ වලට බොහෝ දුරට සමානය. මෙය සිදුවන්නට ඇත්තේ ලාංකීය ස්වදේශීය ආදිවාසීන් මෙන්ම ඉන්දියාෙව් සමහර ප‍්‍රදේශ වල ආදිවාසීන්ද ඈත අතීතයේදී එකම මූලයකින් පැන නැගුණු නිසා විය හැකිය. එය එසේ නම් ඒ තුල විශාල වටිනාකමක් ඇති ඓතිහාසික තොරතුරක් සැගවී තිබෙන්නට පුලුවන.

ස්වදේශීයභාවයේ වර්ධනය වීමේ තුන්වන අවධිය එක්තරා සදාචාර ධර්මයන් ලංකාව තුල ඇති වී වර්ධනය වීමයයි කිව හැකිය. මේ අවදිය කෙරෙහි වැඩි වශයෙන් අවධානය යොමු ඇත්තේ බුදු දහම ලංකාෙව් පැතිරීම තුලිනි. අතිරිකතයක් නිර්මාණය කිරීම තුලින් විවිධ සමාජ ගැටලු ඇති වෙමින් පවතින කාලයකදී අවතීරණය වූ බුදු දහම ලංකාෙව් ඉතා දියුණු සදාචාර පද්ධතියක් ඇති කිරීමට හේතු විය.

එම සදාචාරය තුල මූලික වශයෙන්ම පැතිර වූ අදහස වූයේ තණ්හාව හෙවත් දේපළ කෙරෙහි කෑදරකම තුලින් ඇතිවන අනිසි ප‍්‍රතිඵලයන් මුල් කොට ගෙනය. තණ්හාවෙන් අත්මිදීම හා තෘෂ්ණාව මර්ධනය කර ගැනීම තුලින් තමා පුද්ගලයකු වශයෙන් සිදු කරන පැවැත්ම හා සාමූහික පැවැත්ම අතර සමතුලිත හා නිර්මාණාත්මක සම්බන්ධයක් පවත්වාගෙන යාම සම්බන්දයෙන් මෙම සදාචාර පද්ධතිය අතීශයින් වැදගත් කාලයක් විය. එයද ස්වදේශීකත්වයේ කොටසක් බවට පත් විය.

මෙයට බුදු දහම මෙන්ම ඊට පෙර යුගයකදී ලංකාවට අවතීර්ණ වීතිබූ තිබූ ජෛන ධර්මයද දායක වන්නට ඇත. මේ හැර ආදි කාලීන ස්වදේශිකයන්ගේ ජීවත් වූ දීර්ඝ යුගය පුරා පැතිරුණු ගස් ගල් වන්දනාව හා මිය ගිය ඇත්තන්ට ගරු බුහුමන් කරමින් ඔවුන් පිළිබදව පැවති ඒ අදහස්ද මෙම සදාචාර ධර්මතාවන් වර්ධනය වන්නට හේතුවන්නට ඇත.

මින් පසු එනම් අනුරාධපුර යුගයෙන් පසු ඇති වූ ඉන්දීය ආක‍්‍රමණයන් තුලින් වෙනත් සදාචාර ධර්මයන් හා දර්ශනයන් ලංකාව කෙරෙහි සම්ප‍්‍රාප්ත විය. ලංකාෙව් කුල ක‍්‍රමය මුල් බැස ගන්නේ මේ කාලයේදී වන අතර පොළොන්නරු යුගය අවසන් වන විට ලංකාෙව් සංවිධාන රටාව කුල ක‍්‍රමය මත පදනම්ව ඇති එකක් බව ඉතිහාසඥයෝ පෙන්වා දී ඇත.

මේ අවදිය ගැඹුරින් තේරුම් ගැනීම පසු කාලයකදී ලංකාෙව් ඇති වූ වර්ධනයන් හා ගැටලු තේරුම් ගැනීම කෙරෙහි අත්‍යාවශ්‍යයම කටයුත්තකි. කුල ක‍්‍රමය ලංකාවට අවතීරණය වීම, එය මුල් බැස ගැනීම, එය ලාංකිකයාගේ මානසිකත්වය ප‍්‍රතිනිර්මාණය කරන තත්වයක් ඇතිවීම හා ඒ තුලින් ඇති වූ සමාජ බෙදීම පිළිබදව ගැඹුරු අවබෝධයකින් තොරව අපේ කම යන්න තේරුම් ගැනීමට කරන උත්සාහය ඇත්තෙන්ම අපේකම සම්බන්දයෙන් ලංකාවේ පවතින ගැඹුරු විරෝධතාවයන් මග හැරීමක් බවට පත් වේ.

එසේ මග හැරීම තුලින් අපේකම පිළිබදව නිර්මාණය වන්නේ බොරු ප‍්‍රතිරූපයක් වන අතර එවනි බොරු ප‍්‍රතිරූපයක් ආරූඩකර ගැනීම ම රටක සාමූහිකත්වය ඇති කිරීමට හා සහයෝගීතාවය වර්ධනය කිරීමටත්, ඒ මගින් අපේකම යන්න ගැන සැබෑ පදනමක් තහවුරු කර ගැනීමටත් අතීශයින් බාධකයක්ව පවතී.

කුල ක‍්‍රමය ඇතිවීම හා මර්ධනය සමාජ ගත වීම සිදු වූයේ ඓතිහාසිකව බලන කල මෑත කාලයකදී වන හෙයින් ඒ පිළිබදව විශාල තොරතුරු පවතින බවට කිසිම සැකයක් නැත. ලංකාවේ අද ජීවත් වන සියලූ දෙනාත් මෙම ගැටලු පිළිබදව තමන් ලබා ඇති ගැඹුරු අවබෝධයක් ඇත්තෝ වෙති.

අපේකම පිළිබදව ඊලග වර්ධනය වන්නේ යුරෝපීය යටත් විජිතවාදීන් ලංකාවට අවතීර්ණය වීම හා ඔවුන් විසින් ලංකාව තුල ඇති කල විවිධ සංවිධානාත්මක වෙනස්කම් හා වටිනාකම්ය. මෙම කාලය තුල අපේකම පිළිබද විශාලම ගැටලුව ඇති කල සාධකය වූයේ යටත් විජිතවාදීන් අධ්‍යාපනය සම්බන්ධයෙන් අනුගමනය කරන ලද ප‍්‍රතිපත්තියයි.

මැකෝලි නැමති බි‍්‍රතාන්‍යය යටත් විජිතවාදී ප‍්‍රතිපත්ති නිර්මාණය කිරීමෙහිලා විශාල බලපෑමක් ඇති කල නායකයා ඔහුගේ ලේඛණයක ලියා ඇත්තේ ඉන්දියාව තුල අධ්‍යාපනය දියුණු කිරිෙම්දී බි‍්‍රතාන්‍යය විසින් විශාල විවාදයකින් පසු ඇති කර ගත් එකගතාවයයි.

එම එකගතාවයේ හරය නම් ස්වදේශිකයන් සුලු කණ්ඩායමක් සදහා ඉංග‍්‍රීසි අධ්‍යාපනය විවෘත කල යුතු බවත්, එම විවෘත කිරීම තුලින් ඇති වන නව බුද්ධිමත් පරපුරක් තුලින් බටහිර ඥාන සම්බාරය යටත් විජිත තුලට ගෙන ආ යුතු බවත්ය. ඉන්දියාෙව්දී නිර්මාණය කරගත් මෙම දර්ශණය, පසු කාලීනව ලංකාව ඇතුලු යටත් විජිත වලට පැතිර ගියේය. මේ අනුව 20 වන ශත වර්ශය වන විට ලංකාෙව් ජනගහනයෙන් සියයට තුනක් පමණ ඉංග‍්‍රීසියෙන් අධ්‍යාපනය ලබා ගත් අය වූහ. එය හුදෙක් භාෂාවක් ඉගෙන ගැනීමක් පමණක් නොවීය.

ඒ තුලින් ඔවුන් අපේකම යන්න එක්තරා ආකාරයකට පිළිකුලකින් සැලකීමට පටන් ගත්හ. මුල් කාලයේදී ආදිවාසී ස්වදේශිකයන් අශීලාචාර ලෙස සැලකීමට සංක‍්‍රමණිකයන් පුරුදු වූවා සේ, ඉංග‍්‍රීසි බසින් අධ්‍යාපනය ලැබීමට පටන් ගත් මෙම සුලූ කණ්ඩායම එසේ නොවූවන් අඩු සංස්කෘතියක් ඇති හෝ සංස්කෘතියක් නැති කණ්ඩායමක් සේ සැලකීමට පටන් ගත්හ. මේ තුලින් ඉතාමත්ම ගැඹුරු බේදයක් රට තුල හට ගත්තේය.

මෙහිදී අපේකම යන්න පසුගාමී අදහසක් ලෙසත් යුරෝපීය කමට බද්ධවීම දියුණු වීමට පටන් ගැනීමක් ලෙස සැලකීමත් සිදු විය. මෙම ඉංග‍්‍රීසි භාෂාවෙන් කටයුතු කිරීමට පුරුදු වූ යටත් විජිතවාදීන්ගේ සේවයට කැපවුනු කණ්ඩායම රෙට් බලවත්ම කණ්ඩායම බවට පත් විය. ධනය ඒකරාශී කිරීෙම්දී ඔවුන් යටත් විජිතයට කල සේවාවන්ට දෙන ප‍්‍රති උපකාරයක් සේ බොහෝ  දේ ලබා ගත්හ. විශාල ප‍්‍රමාණයේ ඉඩම් ලබා ගත්හ.

එමෙන්ම අලූතින් ඇති වූ කර්මාන්ත වලද ප‍්‍රධානීන් බවට පත් වූයේ මෙම කණ්ඩායමය. මේ මගින් ලංකාෙව් ස්වදේශීය භාවය පිළිබදව ඇති වූ විශාල ගැටලුව අද අපේකම පිළිබදව කෙරෙන සාකච්ඡාවේ දී විසදිය යුතු බලවත් විශමතාවක් වේ.

මින් පසු අවධිය සිදු වන්නේ මේ ඉංග‍්‍රීසි භාෂාවෙන් යටත් විජිතවාදීන් සමග දැඩි සම්බන්ධයක් ඇති කරගත් කණ්ඩායම් නිදහසට කිට්ටුවන කාලයේදී තමන්ගේ ස්වදේශීය භාවය ඔප්පු කිරීම සදහා ගොඩනගා ගන්නා ලද ව්‍යාජ ප‍්‍රයත්නයන්ය. මේ ප‍්‍රයත්නයන්ගේ වර්ධනයේ ඉතා වැදගත් අවධියක් වන්නේ 1931 දී සර්වජන චන්දය ප‍්‍රකාශයට පත් කිරීමය.

ලංකාෙව් අනාගතයේදී බලය දරන්නන් මහජන චන්දයෙන් පත්විය යුත්තන් බව තේරුම් ගත් මේ මුලින් යටත් විජිතයට බද්ධ වූ කණ්ඩායම් ඒ අනුව තමන්ගේ මතවාදයන් වර්ධනය කිරීමට පටන් ගත්හ. ඔවුන් විසින් ව්‍යාජ අපේ කමක් නිර්මාණය කලහ. එය ස්වභාවයෙන් වර්ධනය වූ අපේකම නොව දේශපාලනය තුලින් හා දේශපාලන වාසිය සදහා වර්ධනය වූ අපේකමක් බවට පත් විය.

ඊලග අවධිය නම් නිදහසේ සිට අද දක්වා පැවත එන කාලයයි. මේ කාලයේ මූලික ලක්ෂණය සේ පවතින්නේ කුල ක‍්‍රමය ඇති වූ යුගයේදී හා යටත් විජිත ක‍්‍රමය ඇති වූ කාලයේදී ඇති වූ දැඩි සමාජ බෙදීම් හා විෂමතාවයන් නිසි ලෙස විසදා ගැනීමට නොහැකි වීම නිසා ඇති වන අතිශයින්ම බේද බින්න වූ කාලයකි.

මෙහිදී බේද බින්න කාලය හා අපේ කාලය අතර අපේ කම අතර දැඩි ප‍්‍රති විරෝධී මතවාදයන් ඇති වීමට පටන් ගනී. දේශපාලනය සදහා අපේකම යොදාගත් අංකූර දේශපාලඥයෝ සූක්ෂමව සුලු ජාතිකයන් අපේ නොවන ආකාරයක් දැක්වීමටත්, මේ හා වෙනත් සමාන හේතු මගින් ගැටලු ඇති කිරීමටත් පටන් ගත්හ. එමෙන්ම රෙට් සියලුම ප‍්‍රදේශවල මන්ත‍්‍රීවරුන් පත් කර ගැනීෙම්දී කුලය ප‍්‍රධාන සාධකයක් බවට පත් වීමත් සිදු විය.

මේ ආකාරයෙන් ලංකාෙව් අපේකම පිළිබදව ඇති වූ මතවාද විකාශනය සලකා බැලීෙම්දී පෙනී යන්නේ අද අපේ කම යනුවෙන් ආදිකාලීන ස්වදේශිකයන් සැලකූ ස්වර්ණමය අදහස් හා වර්තමානයේ පවතින අදහස් අතර ඉතා ගැඹුරු වෙනස්කම් පවතින බවය. ආදිකාලීන ස්වදේශිකයන් පරිසර ආරක්ෂාව, සාමූහික පැවැත්ම, සහයෝගීතාවයෙන් කටයුතු කිරීම ඉතා දීර්ඝ කාලයක් ඔස්සේ නිර්මාණය කරමින්, ප‍්‍රතිනිර්මාණය කරමින් අතිශය ගැඹුරු දායාදයක් ලාංකිකයාට හිමිකර දී ඇත.

අවාසනාවකට මෙන් කුල ක‍්‍රමය ඇති වූ කාලයේ සිට යටත් විජිත කාලය පුරා වර්ධනය වන්නේ බේදබින්න භාවයේ දර්ශණයන් හා මානසික තත්වයන්ය. මෙම බේදබින්න භාවයේ මානසිකත්වයන් අභිබවා ආදිකාලීන ස්වදේශකයන් විශාල කාලයක් ඔස්සේ උරුමකර දුන් සංස්කෘතික ගති ගුණ නැවත ප‍්‍රතිනිර්මාණය කරන අතරම, ඒවා වර්තමාන ලෝකය තුල බලවත්ව ප‍්‍රකාශයට පත් කල හැකි නම්, පමණක් ලංකාව තුල විශාල ව්‍යසනයක් වැලැක්වීමට බැරි තත්වයක් නිර්මාණය වනු ඇත.

අද ලාංකික සමාජය බිද වැටෙමින් පවතින සමාජයක් බව කවුරුත් පිළිගන්නා කරුනකි. ආර්ථික ක‍්‍රමය බිදවැටී ඇත. දේශපාලන ක‍්‍රමය බිදවැටී ඇත. සමාජය තුල බේද බින්න භාවය වැඩි වී ඇත. මේ මගින් සදාචාරධර්ම පද්ධතිය විශාල අවුලකට පත් වී ඇත. එම සදාචාර පදනම කඩා වැටීම ලංකාව තුල වර්ධනය වී පවතින දැඩි අපරාධයන්ගේ පැතිරීමත්, ඒවා මර්ධනය කර ගැනීමට නොහැකිවීමත් තුලින් දැඩිවම ප‍්‍රකාශයට පත් වේ.

සමාජය තුල පිළිවෙලක් ඇති කිරීම සදහා ප‍්‍රධාන වන යුක්තිය පසදලීෙම් සංස්ථාවන් සමස්ත අර්බුදයේම කොටසක් බවට පත් වී ඇත. මෙම කඩා වැටීම නතර නොකලහොත් ඉතා කෙටි කාලයක් තුල ලංකාෙව් හිතා ගැනීමට බැරි සමාජ කඩා වැටීමක් ඇතිවිය හැකි බවත් ඒ තුලින් අපේකම පිළිබද අදහස වෙනුවට එකිනෙකා තමුන්ගේ පැවැත්ම සදහා අනිකා අමාරුෙව් දැමීම මත පදනම් වූ, සමාජයක් බිහිවනු ඇති බව බොහෝ දෙනෙකු විසින් අවධානාත්මකව ප‍්‍රකාශ කර ඇති කරුණකි.

බැසිල් ප‍්‍රනාන්දු

Print Friendly, PDF & Email

Related posts

Leave a Comment