අධිකරණයට යන තෙක් රැකවරණයක් තිබිය යුතුයි – පිලිප් දිසානායක

අධිකරණයට යන තෙක් රැකවරණයක් තිබිය යුතුයි – පිලිප් දිසානායක

මෙහි පළ වන්නේ වධහිංසාවට එරෙහිව දීර්ඝ කාලයක් පුරා කටයුතු කළ සිවිල් සමාජ සංවිධානයක් වන රයිට්ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ පිලිප් දිසානායක සමඟින් සමබිම කළ සාකච්ඡාවේ සාරාංශයකි.

මෙවර වධහිංසාව පිළිබඳ ජාත්‍යන්තර දිනය සමරන්න සිදුවෙලා තිබෙන්නේ කොවිඩ් 19 වසංගතය සමඟ වධහිංසාව පිළිබඳ සිදුවීම් සුලබව වාර්තාවන තත්ත්වයක් යටතේ.

ඔව්, වසංගත තත්ත්වය එක්ක ලෝකයේ පුරාම නිදහස සහ අයිතිවාසිකම්වලට බරපතළ සීමා පැනවුනා. ඒ තත්ත්වය ලංකාව තුළත් අත්දකින්න ලැබුනා. විශේෂයෙන්ම වසංගතය පාලනය කිරීම වෙනුවෙන් ඇඳීරි නීති පැනවීමත් සමඟ පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ වලට විශාල බලයක් ලැබුණා. එහිදි යම් ආකාරයකට සීමාව ඉක්මවා ගිහින් ඔවුන් කටයුතු කරන ආකාරයක් දකින්න ලැබුණා. ඇඳිරි නීති සමයේ සංචරණයන් නිසා විශාල වශයෙන් පිරිස් අත්අඩංගුවට පත්වුනා. සාමකාමීව උද්ඝෝෂණ කළ පිරිස්වලට පහර දුන්නා. තවත් පිරිස් නොයෙක් වධහිංසාවන්ට ලක් වුණ බවට අපට තොරතුරු ලැබුණා. මේ සම්බන්ධව අපි සොයා බැලීම් සිදුකරගෙන යනවා.

මේ තත්ත්වය යටතේ මෙවර වධහිංසාව පිළිබඳ ජාත්‍යන්තර දිනය යොදා ගන්නේ කුමකටද?

පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් අවශ්‍යතාවය අනුව අපි ප්‍රාදේශියව, වධහිංසාවට පාත්‍රවූවන්ට සහය දැක්වීමේ දිනය සඳහා සැමරුම් කිහිපයක් සූදානම් කරලා තිබෙනවා. ඒ අනුව 26 වෙනිදා බදුල්ල ඇතුළුව තවත් දිස්ත්‍රික්ක දෙකක වැඩසටහන් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. ඒ වගේම මේ පිළිබඳ පුළුල් සාකච්ඡාවක් ඇති කිරීමේ උවමනාවෙන් 26 වෙනිදා වධහිංසාවට පාත්‍ර වූ වින්දිතයන්, මේ සම්බන්ධයෙන් කටයුතු කරන නීතිඥවරුන්, මානව හිමිකම් ආරක්ෂකයින් සහ සිවිල් ක්‍රියාකාරීන් සම්බන්ධ කරගෙන මාධ්‍ය හමුවක් පවත්වන්න කටයුතු සුදානම් කර තිබෙනවා. විශේෂයෙන්ම ජූනි 26 වැනිදාවේ සිට ජූලි 25 වැනිදාව දක්වා පුරා මාසයක කාලයක් වධහිංසාව පිළිබඳ සමාජ අවදානය යොමු කරවීම වෙනුවෙන් සමාජ මාධ්‍ය හා අනෙකුත් මාධ්‍ය භාවිතාවන් ඔස්සේ යම් කිසි සාකච්ඡාවක් ගොඩනැගීමට, තොරතුරු හුවමාරු කර ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා.

වධහිංසාවට එරෙහිව ඔබේ සංවිධානය කටයුතු කරන අතරේ වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුව ගොඩනගන්නේ කුමන අරමුණකින්ද?

අපි අවුරුදු 18කට ආසන්න කාලයක් මේ විෂය සමාජ ගත කරන්න මැදිහත්වීම් කළා. මේ ගැටලු‍ව පිළිබඳව ගැඹුරින් හැදෑරීම් කළා. මේ ප්‍රශ්නයට හුදෙකලාව පිළිතුරක් සොයන්න බැහැ. අපි උත්සාහ කළා මේ විෂය වෙත සමාජයේ අනෙකුත් කණ්ඩායම්වල අවධානය යොමු කරවන්න. ඒ නිසා තමයි අපි හිතුවේ මානව හිමිකම්, නීතිය හා සාමය වෙනුවෙන් ක්‍රියාකාරී වෙන කණ්ඩායම් සහ සංවිධාන ඒකරාශී කරගෙන මේ ගැටලු‍ව වෙනුවෙන් පෙනී සිටින අය බවට ඔවුන් පත් කර ගන්න. ඒ අරමුණ පෙරදැරිවයි වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුව ගොඩනැගුණේ. ඒ වගේම වධහිංසාව යම් පුද්ගලයෙකුට එරෙහිව සිදුවන අපරාධයක හෝ අපරාධ සමූහයක ආරම්භයක්. වධහිංසා කිරීමකින් පසුව ඝාතනය හෝ අතුරුදහන් කිරීමේ ප්‍රවණතාවක් කාලයක් පුරා අපි දුටුවා. වධහිංසාව, නීතිවිරෝධී ඝාතනය හා අතුරුදහන්කිරීම් කියන්නේ වෙන් වෙන්ව කතා කළ හැකි විෂයන් නොවෙයි. මේ විෂයන් කෙරෙහි බරපතළ සමාජ අවදානයක් ගොඩනැගීම අපේ අභිලාෂයක්. එය මේ එකමුතුව ගොඩනැන්වීම ඔස්සේ යම් මට්ටමකට සාර්ථක කර ගැනීමට අපට හැකිවෙලා තිබෙනවා.

කොවිඩ් 19ට ප්‍රතිචාර වශයෙන් රජය හමුදාකරණය ඉහළ නන්වා තිබෙනවා. මෙවැනි වතාවරණයක වධහිංසාව සම්බන්ධයෙන් ඔබ සංවිධානයේ නිරීක්ෂණය කෙබඳුද?

සාමාන්‍ය කාලයකට වඩා වඩා රටේ ආරක්ෂක අංශ වලට වැඩි බලයක් මේ අවස්ථාවේ ලැබී තිබෙනවා. අපේ දීර්ඝ කාලීන අත්දැකීම තමයි එවැන්නක් සිදුවූ ඉතිහාසයේ සෑම අවස්ථාවකම මානව අයිතිවාසිකම් විශාල තර්ජනයකට ලක් වුනා. නමුත් ඒ කවර කාලෙකටත් වඩා පසුගිය කාලයේ සමාජයේ ක්‍රමිකව වර්ධනය වුන තත්ත්වයන් සමඟ අයිතිවාසිකම් කඩවූවන්ට අවස්ථාව ලැබී තිබෙනවා නෛතිකමය ක්‍රියාමාර්ග වලට යොමු වෙන්න. අධිකරණය ඉතාම ස්වාධීන ආකාරයෙන් කටයුතු කරන අවස්ථා ගණනාවක් අපි මෑතක දුටුවා. උදාහරණයකට උද්ඝෝෂකයන් පිරිසකට පහර දීලා ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා ඔවුන් සියලු‍ දෙනාම ඇප පිට නිදහස් කරනවා. පහුගිය කාලයේ යම් පුද්ගලයෙකුට හෝ පුද්ගල කණ්ඩායමකට එරෙහිව නිලධාරීන් නීතියට පිටින් ක්‍රියාකරල තිබෙනව නම් ඒ සම්බන්ධව නීතිමය පියවර ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම එයට සහය වීමේ හැකියාව වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුව හැටියට අපට තිබෙනවා.

පසුගිය කාලයේ සිදුවූ වධහිංසා සිදුවීම්වලට අදාළව ඔබ සංවිධානයේ මැදිහත් කෙබඳුද?

පසුගිය දිනවල අලු‍‍ත්ගම දර්ගා නගරයේ දරුවෙකුට පහර දීමක් පිළිබඳ සිදුවීමක් වාර්තා වුණා. ඒ වගේම පයාගල පොලිසියේ නිලධාරි මහත්මයෙකුට සිදු කළ වධහිංසාවක් සහ එම පළා‌තේ තවත් දරුවෙකුට පහරදීමක් සම්බන්ධ සිදුවීමක් වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ කටයුතුවලට මේ අය අපෙන් සහය සහය ඉල්ලා තිබෙනවා. මේ වන විට මෙම සිදුවීම්වලට අදාළ නඩු සඳහා අපි පිරිස් සමඟ සාකච්ඡා කරමින් එහි නීතිමය කරුණු සාකච්ඡා කරලා අවශ්‍ය ක්‍රියාමාර්ග වෙත යොමු වෙලා තිබෙනවා. මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරුවම එය අවසානයකට එන්න විශාල කාලයක් ගත වෙනවා. ඊටත් අමතරව විශේෂයෙන්ම වධහිංසාව සම්බන්ධ නඩු සමග ඈඳුන ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. අපරාධ පරීක්ෂණ ක්‍රමවේදයන්වල ගැටලු‍ මතුවෙන අවස්ථා තිබෙනවා. කෙසේ නමුත් අධිකරණයට නොයා යුක්තිය ඉටු කරගන්න වෙනත් ක්‍රමවේදයක් නැහැ. මේ පවතින ක්‍රමවේදයම ශක්තිමත් කරගෙන කාර්යක්ෂම කිරීම හැරෙන්න අපිට වෙන විකල්පයක් නැහැ.

හෙට්ටිපොළ සමන්ත පෙරේරාගේ නඩුව එම වින්දිතයාට යුක්තිය ඉටු කරමින් පසුගියදා අවසන් වෙනවා. නමුත් වධහිංසාවට අදාළ මූලික අයිතිවාසිකම් නඩු විශාල ප්‍රමාණයක් තිබෙනවා වින්දිතයින්ට සාධරණයක් ඉටුවීම ප්‍රමාද වෙමින්.

ඔව්, මෙය බරපතළ ගැටලු‍වක්. වධහිංසාවට ලක්වුන හෙට්ටිපොළ සමන්තගේ නඩුවේ වසර හයකට පසුවයි ඒ වින්දිතයාට සාධාරණයක් ඉටුකර ගන්න ලැබෙන්නෙත්. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙනවා මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරුවාම ඒ නඩුව මාස දෙකක කාලයක් තුළ අවසන් විය යුතුයි කියල. නමුත් අපි දන්නවා මෑත ඉතිහාසය තුළ එහෙම අවසන් කරපු නඩුවක් සොයාගන්න නොහැකි තරම්. හොඳම නිදසුන තමයි, 2000 වසරේ පයාගල පොලිසිය විසින් ජගත් කුමාර කියල තැනැත්තෙකුට වධහිංසා පමුණුවලා ඒ පුද්ගලයා බන්ධනාගාරය තුළම මිය යනවා. මේ සිද්ධියට දැනට අවුරුදු 20ක් වෙනවා. නමුත් සිද්ධියට අදාළ සැකකාර පොලිස් නිලධාරියාට රටින් බැහැරව යාමට පහසුකම් සැලස්වීමෙන් මේ නඩුව තවදුරටත් දිග්ගැසී තිබෙනවා. මියගිය පුද්ගලයාගේ සාහෝදරියගේ ධෛර්්‍යය නිසයි මේ අරගලය තවමත් යටපත් නොවී තිබෙන්නේ. ඇත්තෙන්ම වධහිංසාව පිළිබඳව ලෝකයේම ඇති නඩු අතුරෙන් දීර්ඝ කාලයක් ගත වෙමින් පවතින නඩුව ලෙස මෙය සැලකිය හැකියි. වසර විස්සක් පුරා නඩුවක් ඇදගෙන යාම අධිකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් වන මහජන විශ්වාසය බිඳ වැටීමක්.

වධහිංසාවට පාත්‍රවුන වින්දිතයින් බොහෝ වෙලාවට සමාජයේ අඩු අදායම්ලාභීන්. ඔවුන්ට හැකියාවක් නැහැ ශේෂ්ඨාධිකරණයේ නඩුවක් පවරන්න. ඒ වගේම මේසා විශාල කාලයක් ඇදෙන නඩුවක් වෙනුවෙන් වියදම් දරන්න. බොහෝ වෙලාවට ශේෂ්ඨාධිකරණය වෙත පවරන නඩුවක, යම් පුද්ගලයෙක් හෝ යම් සංවිධානයක් හෝ යම් කණ්ඩායමක් තමයි ඒ අදාළ සිද්ධියට සහයෝගය දක්වලා තිබෙන්නේ. මෙවැනි අයට සහය දක්වන සංවිධාන, පුද්ගලයන් සහ නීතිඥවරුන් සිටීම අවශ්‍යයි. එහෙම වුනොත් තමයි වින්දිතයින් නීතිමය පියවර වලට යොමු වෙන්නේ. නමුත් වින්දිතයින් තුළ තිබෙන බිය, නඩු ප්‍රමාදය, මුදල් මේ කියන කාරණා සියල්ල හේතුවෙන් වින්දිතයින් අධිකරණ ක්‍රියාමාර්ග වෙත යොමු වීම අධෛර්යමත් කරන සුළුයි.

පිලිප් දිසානායක සමඟින් සාකච්ඡා කළේ ජයනි අබේසේකර  – සමබිම

Print Friendly, PDF & Email

Related posts

Leave a Comment