දේශීය වශයෙන් මේවා ගැන හොයලා බැලුවනම් ජාත්‍යාන්තරයට යන්න අවශ්‍ය නැහැ! – රුකී ප්‍රනාන්දු (මානව හිමිකම් ක්‍රියාකාරික)

United Nations Human Rights Council Ruki Fernando

ජිනීවා මානව හිමිකම් කොමිසමේ සැසිවාරය ආරම්භ වීමට නියමිතයි. ඊට පෙර සුපුරුදු පරිදි මානව හිමිකම් කොමිෂන් සභා වාර්තාව එළි දක්වලා තියෙනවා. එහි සෑහෙන කරුණු ගණනාවක් අඩංගුයි. නමුත් ආණ්ඩුව ආණ්ඩුවට හිතවත් මාධ්‍යය පාවිච්චි කරමින් මේවා දේශද්‍රෝහී ක්‍රියා මාර්ග විදිහට වෙනත් ප්‍රතිරූපයක් මවමින් ඉන්නවා. ඇත්තටම මෙම වාර්තාවේ සඳහන් කරුණු වල ස්වරූපය කුමක්ද?

මෙහි දී අපි කතා කරනවා ජිනීවාවල තියෙන ප්‍රධාන ආයතන දෙකක් ගැන. පළමුවැන්න මානව හිමිකම් කවුන්සිලය. මානව හිමිකම් කවුන්සිලයේ කියන්නේ රටවල් 47 කින් සැදුම්ලත් කවුන්සිලයක්. එම සංවිධානයේ එහි සාමාජිකයින් වෙන්නෙ රටවල්. රටවල් නියෝජනය කරන්නේ රටවල්වල සිටින ආණ්ඩු. දෙවෙනි එක එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්තුමියගේ කාර්යාලය [ The Office of the UN High Commissioner for Human Rights (OHCHR) ] එහි සේවය කරන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරීන්. එහි ප්‍රධාන නිලධාරියා තමයි මහ කොමසාරිස්තුමිය.

එතකොට මං හිතන්නේ 2015 ඉඳන් මානව හිමිකම් කවුන්සිලය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්තුමියට පවරලා තියෙනවා වගකීමක්. ඒ ලංකාවේ තියෙන මානව හිමිකම් තත්ත්වය පිළිබඳව සොයා බලා මානව හිමිකම් කවුන්සිලයට වාර්තා ඉදිරිපත් කිරීම. ඒ කියන්නේ මේක කරන්නෙ හිතුමතේට නෙමෙයි, අර සාමාජික රටවල් 47 ඉල්ලීම මත. ඔවුන් තමයි එතුමියට ඒ වගකීම පවරලා තියෙන්නේ. ඒ වගකීමෙන් කොටසක් විදියට තමයි එතුමිය මේ වාර්තාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයට පිළිගන්වන්නේ මේ පෙබරවාරි – මාර්තු මාසයේ තියෙන සැසිවාරය වෙනුවෙන්. ඒ වාර්තාව සකස් කිරීම විතරයි මහ කොමසාරිස්තුමිය කරලා තියෙන්නේ. ඒ පිළිබඳව යම්යම් නිර්දේශ එතුමිය ඉදිරිපත් කරලා තියෙනවා. ඒවා ක්‍රියාත්මක කරන්න මානව හිමිකම් කවුන්සිලයට සියලුම රටවල් එකතු වෙලා එහෙම නැත්නම් තනි තනි රටවල් විදිහට ඒ අයට තීරණ ගන්න පුළුවන්. එහිදී ඇතැම් නිර්දේශ ක්‍රියාත්මක නොවී තියෙන්නත් පුළුවන්. එනිසා, සාමාජික රටවල් වලින් සැදුම්ලත් මානව හිමිකම් කවුන්සිලය, ඒ වගේම නිලධාරීන් ගෙන් සැදුම්ලත් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය වශයෙන් මෙම ආයතන දෙක වෙන් වෙන් ව හඳුනා ගැනීම ඉතා වැදගත්. එතකොට මේ වාර්තාවේ ඇතුළත් කරුණු තමයි මං හිතන ආකාරයට මෙම මාධ්‍ය වල සාකච්ඡා වෙන්නේ. සමහර මාධ්‍යවල මේක වැරදි විදියට අර්ථ දක්වලා තියෙනවා මානව හිමිකම් කවුන්සිලයේ වර්තාවක් කියලා.

ඒක වැරදියි. මේක මානව හිමිකම් කවුන්සිලයේ ඉල්ලීම අනුව මහ කොමසාරිස්තුමිය පිළියෙල කරපු වාර්තාවක් විදිහටයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. මෙවැනි වාර්තා බොහොමයක් මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් වෙනවා. ලංකාව විතරක් නෙමෙයි විවිධ රටවල් ගැන ඒ වගේම විවිධ තේමාවන් ඔස්සේ විශේෂ නියෝජිතයින් විවිධ කණ්ඩායම් වලට ඒ වගකීම පවරලා තියෙනවා, මානව හිමිකම් කවුන්සිලය විසින් තමන් වෙත වාර්තා ඉදිරිපත් කිරීමට. ඒ සියල්ල සාකච්ඡාවට භාජනය වෙනවා මානව හිමිකම් කවුන්සිලයේ සැසි වාරයේදී. එතකොට ලංකාව කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රාජ්‍යයක්. එමනිසා මේ යාන්ත්‍රණ ඇති කිරීමට ලංකාවත් දායක වෙලා තියෙනවා. මානව හිමිකම් කවුන්සිලය එක්සත් ජාතීන්ගේ ප්‍රධාන කොටසක්. ඒ වගේම

මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයත් එහි ප්‍රධාන කොටසක්. ඒවා ඇති කරන්න සාමාජික රටක් විදිහට ලංකාවත් සහභාගී වෙලා තියෙනවා.

ඒ වගේම මේ වාර්තාවේ ඇතුළත් වෙලා තියෙන නිර්දේශ ලංකාවේ මාධ්‍යන්ට තරමක් ආන්දෝලනාත්මක වෙලා තියෙනවා. මේකෙදි අපි සිතා බැලිය යුතු වැදගත් කාරණාවක් තමයි ඇයි මේ විදිහේ නිර්දේශ ඉදිරිපත් වෙලා තියෙන්නෙ කියන එක. මෙහිදී ලොකු අවධානයක් යොමුවෙලා තියෙන්නේ වගවීම කියන කාරණය පිළිබඳව. ඒ කියන්නේ යම් කිසි වැරැද්දක් සිදු වුණොත් ඒ වැරදි කරපු අයට නීත්‍යානුකූලව දඬුවම් ලැබිය යුතුයි කියන කාරණාව සම්බන්ධයෙන්. එතකොට මේ දඬුවම් ලැබීම කියන දේ සිද්ධ වෙලා නැහැ කියන දේ මේ වාර්තාවේ බරපතළ ලෙස සඳහන් වෙලා තියෙනවා උදාහරණත් සමඟ. මේවා මේ වාර්තාවේ තියෙන දේවල් විතරක් නෙමෙයි අපි වුණත් දන්න දේවල්. උදාහරණයක් වශයෙන් මාධ්‍යවේදීන් ඝාතනය කිරීම් සම්බන්ධයෙන් කිසිම අයෙක් වරදකරුවෙක් වෙලා නැහැ, ලංකාවේ අධිකරණයෙන් මෑතකාලීනව. මම දන්න පරිදි එක් නඩුවක් විතරයි චෝදනා පවරලා මහාධිකරණයට ඉදිරිපත් වෙලා තියෙන්නෙ. ඒ ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීම සම්බන්ධයෙන් නඩුව. අනිත් සිදුවීම් වලට නඩු පවරලා හෝ චෝදනා කරලාවත් නැහැ. තාම මහේස්ත්‍රාත් අධිකරණයේ පොලිස් විමර්ශන කරන මට්ටමේ තමයි ඒ නඩු තියෙන්නේ. එතකොට මේ සමහර සිදුවීම් ඇති වෙලා අවුරුදු දහයක්. සමහර සිදුවීම් අවුරුදු පහළොවක්. ලංකාවේ පොලිසිය, ලංකාවේ නීතිපති දෙපාර්තමේන්තුව, ලංකාවේ අධිකරණය හමුවේ මේවට යුක්තිය ඉෂ්ට වෙන්නේ නැත්තම් අපි මොකක්ද මේ වින්දිතයන්ට සහ වින්දිතයන්ගේ පවුලේ අයට කියන්නේ, අසාධාරණයට ලක්වූ පිරිස් වශයෙන් ජාත්‍යන්තරයේ හරි යුක්තිය ඉෂ්ඨ කරගැනීමට උත්සාහ කිරීම ගැන.

ඒ වගේම මං හිතන්නේ මේ වාර්තාවෙ සඳහන් වෙනවා යම් යම් ඒකාධිපති ලක්ෂණ ලංකාවේ තියෙනවා කියලා. ඒක එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ කොමසාරිස්තුමිය විතරක් නෙමෙයි ලංකාවේ විවිධ මාධ්‍යවේදීන්, මානව හිමිකම් ක්‍රියාධරයින්, විපක්ෂ දේශපාලනඥයින් විටින් විට ප්‍රකාශ කරලා තියෙනවා. ඒක අපිටත් නිරීක්ෂණය කරන්න පුළුවන්. ඉතින් එවැනි කාරණා තමයි මං හිතන්නේ මේ වාර්තාවෙ හුඟක් ඇතුළත් වෙලා තියෙන්නේ. මේ වාර්තාවේ තියෙන නිර්දේශ සම්බන්ධයෙන් මොනවද කරන්නේ කියන එක සාමාජික රටවල් පෙබරවාරි, මාර්තු මාසයේ දී තීරණය කරයි.

දැන් අපි වින්දිතයන්ගේ යුක්තිය ගැන කතා කරනවා. ඒ වගේම දණ්ඩ මුක්තිය සංස්කෘතියක් බවට පත්වන ලකුණු ඇති වෙමින් තියෙනවා. ඒ පසුබිම තුළ ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරලා තියෙනවා 2020 ජනවාරි 09 වෙනි දා. ඒකට අනුව ප්‍රධාන මානව හිමිකම් ක්‍රියාකාරීන්ට සහ මාධ්‍යවේදීන්ට එරෙහිව ගෙන ගියපු මර්ධනයන් ගැන වගේම ඔබ පෙර සඳහන් කළ එක්නැලිගොඩ අතුරුදන් කිරීම, ලසන්ත වික්‍රමතුංග ඝාතන පරීක්‍ෂණ සහ නඩු කටයුතු සියල්ල නවත්වන්න, ඒ සම්බන්ධව පැමිණිලි කරපු, පරීක්ෂණ කරපු නිලධාරීන්ට විරුද්ධව චෝදනා ගොනු කරන්න කියලා නිර්දේශ ඉදිරිපත්වෙලා තියෙනවා. මෙවැනි වටපිටාවක ලංකාව ජාත්‍යන්තර තලයේ කුමන ආකාරයෙන් ස්ථානගත වෙයිද?

මම හිතන ආකාරයට මෙවැනි කොමිෂන් සභාවලින් තීන්දු ගන්න බැහැ. එවැනි නඩුවක් අයින් කරනවද නැද්ද කියන එක තීරණය කරන්න පුළුවන් නීතිපති දෙපාර්තමේන්තුවට. එහිදී අධිකරණය තමයි තීන්දුව දෙන්නේ අවසාන වශයෙන්. කොමිෂන් සභා වලට පුළුවන් මේ සම්බන්ධයෙන් යම් යම් නිර්දේශ ඉදිරිපත් කරන්න විතරයි. ඉතින් එහෙම නිර්දේශ කරද්දිත්, යම් යම් ප්‍රකාශ කරද්දිත් එයින් දේශපාලන වශයෙන් ලොකු බලපෑමක් ඇති වෙන්න පුළුවන්. මං හිතන්නේ ඒක වැදගත්. එතකොට නීතිමය වශයෙන් බලයක් නැති වුණත් මේ ගැන තීරණ ගන්න ඒ කොමිෂන් සභා විසින්, සමාජයීය දේශපාලන වශයෙන් ඇති කරන බලපෑම ගැන අපි හිතල බලන්න වෙනවා. මේවත් අහිතකර ලෙස බලපාන්න පුළුවන් වගවීම කියන කාරණයෙදි. නීත්‍යනුකූලව වගවීමට මේ කරුණු අහිතකර ලෙස බලපානවා. එහිදී වින්දිතයෝ, මේකෙන් අසාධාරණයට පත් වෙච්ච අය තව තවත් ජාත්‍යන්තර වශයෙන් තියෙන යාන්ත්‍රණ වලට යනවා යුක්තිය ලබා ගැනීම වෙනුවෙන්.. මොකද ඒ අයට අවශ්‍ය යුක්තිය ලබා ගැනීම. ඒක දේශීය වශයෙන්ද ජාත්‍යන්තර වශයෙන් ද කියන එක නෙවෙයි. දේශීය වශයෙන් එය ඉටු වෙලා තිබුනා නම් ජාත්‍යන්තර වශයෙන් යුක්තිය සොයා ගෙන යාමේ ගමන මේ තරම් දුර දිග යන්නේ නැහැ.

ලංකාවේ මෑතකදී වැලිකඩ බන්ධනාගාරය සහ මහර රිමාන්ඩ් බන්ධනාගාරයේ ඇති වූ සිදුවීම් ගත්තොත් බොහෝ විට රජය මේ දේවල් වලට ප්‍රතිචාර දක්වන්නෙ කරුණු සැඟවීමේ පරමාර්ථය ඇතිව. ඒ සම්බන්ධයෙන් කමිටු පත් කරලා තිබුනත්, වාර්තා එළිදක්වලා තිබුනත් ඒවා යම් ආකාරයකට යටපත් කිරීමේ අවශ්‍යතාවයක් තමයි තියෙන්නෙ. ඒ වගේම පහුගිය කාලේ ගෙන ගියපු war on drugs ප්‍රතිපත්තිය තුළ සිරකරුවන් පිරිස විශාල ලෙස සංඛ්‍යාත්මකව වැඩි වෙලා තියෙනවා. මේ තත්ත්වයන් අනාගතයේ කොයි ආකාරයෙන් බලපායිද?

මේ දේවලුත් ලංකාවට ඉතාම අහිතකර විදිහට තමයි බලපාන්නේ. ලංකාව කියන්නේ රාජ්‍යය විතරක් නෙවෙයිනෙ. පුරවැසියනුත් එයට අයත්. ඉතින් පුරවැසියන්ට වූ අසාධාරණකම් හා අයුක්තිය ගැන තමයි අපි කතා කරන්නේ. මේකෙන් අගතියට පත්වෙලා තියෙන්නෙ ලංකාවෙ ඉන්න ප්‍රජාවන්. ඒක සිරගෙදරක සිදුවන ඝාතනයක් වුණත්, පොලිසියක සිදුවන පහර දීමක්, හිංසාවක් වුණත්, මාධ්‍යවේදීන්ට කරන පහරදීමක් වුණත් මේ හැම දෙයක්ම ලංකාවේ පුරවැසියෙකුට විරුද්ධව සිදුවෙන දේවල්. මේ වගේ දේවල් දිගින් දිගටම වෙද්දි සහ මේවා සඟවන්න උත්සාහ කරද්දී, යුක්තිය ඉෂ්ඨ වීමේ ගමන තවත් කඩාකප්පල් වෙනවා කියලා දකිද්දී, මං හිතන්නේ ලංකාව තවදුරටත් අපකීර්තියකට තමයි භාජනය වෙන්නේ.

මීට කලින් ලංකාවේ පැවති රජය 2015 දී යම් යම් දේවල් ඉෂ්ට කරන්න පොරොන්දු වුණා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයට. එය තමයි සම අනුග්‍රාහකත්වය කියලා අපි හැඳින්වූයේ. එතැනදි සිදු වුණේ ලංකාවේ අගතියට පත් පාර්ශවයන්ට, වින්දිතයන්ට ලංකාව තුළම යම් යම් දේවල් සිදු කිරීමට පොරොන්දු වීම පමණයි. උදාහරණයක් වශයෙන් ලංකාව තුළ අතුරුදහන් වූ ලාංකීය පුරවැසියන් පිළිබඳ සොයා බැලීම සඳහා ලංකාවේ නිලධාරීන්, සාමාජිකයින්ගෙන් සැදුම්ලත් කාර්යාලයක් මේ රට තුළ ක්‍රියාත්මක කරන්න පොරොන්දු වෙලා තියෙනවා. මම හිතන්නේ ඒ කාර්යාලයට දැන් වසර තුනක් වෙනවා මේ පෙබරවාරි මාසය අවසාන වෙද්දී. තවත් එවැනිම විවිධාකාරයේ පීඩාවට පත්වූවන්ට, අගතියට පත් වූවන්ට හානිපූර්ණය සඳහා වන්දි ගෙවීම සඳහා යම් යම් දේවල් කරන්න පොරොන්දු වෙලා තියෙනවා. හානිපූර්ණය වෙනුවෙන් විශේෂ කාර්යාලයක් ඇති කරන්න. ඒකත් ලංකාවේ පුරවැසියන්ගේ අවශ්‍යතාවයට තමයි සිදු වෙන්නේ. නැතුව ස්විට්සර්ලන්තයේ හෝ ඉන්දියාවේ හෝ ඇමරිකාවේ ඉන්න පුද්ගලයන් වෙනුවෙන් නොවේ.

මේ පොරොන්දු ඉටු වුණේ නැත්තම් එයින් නැවත වරක් අගතියට පත් වෙන්නෙ ලංකාවේ පුරවැසියෝ, ලංකාවේ ජීවත් වෙන අය. ඉතින් මේ ලංකාවේ ඇති කරන ආයතන අඩපණ කරනවා කියන්නේ, ලංකාවේ ඇති කිරීමට පොරොන්දු වෙලා තියෙන ආයතන ඇති කරන්නේ නැහැ කියලා කියන්නේ ලංකාවෙ පුරවැසියන්ට තමන්ට අවශ්‍ය හානිපූර්ණය, යුක්තිය සහ සත්‍ය දැනගැනීමේ අයිතිය ඉටු කර ගැනීමට තව තවත් ජාත්‍යන්තර ක්‍රියාදාමයන් වෙත එළඹීම තමයි සිදුවෙලා තියෙන්නේ. මෙයට හොඳ උදාහරණයක් මම හිතන්නේ ලසන්ත වික්‍රමතුංග ඝාතනය. වසර ගණනාවක් තිස්සේ බලාගෙන ඉඳලා කිසිම දෙයක් සිදුනොවුන නිසා ඔහුගේ දියණිය උත්සාහ කරලා තියෙනවා ඇමරිකානු අධිකරණයේ ඒ සම්බන්ධයෙන් නඩුවක් පවරන්න. ඒ වගේම මෑතකදී ඇය උත්සාහ කරලා තියෙනවා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කමිටුවට පැමිණිල්ලක් යොමු කරන්න. ඉතින් ඒ වගේ තව හුඟක් වින්දිතයෝ මෙවැනි ජාත්‍යන්තර ක්‍රියාදාම වලට යොමු වෙයි ලංකාව තුළ මේ යුක්තිය ඉෂ්ට වීම වගවීම සිදු වුණේ නැත්නම්, සහ ලංකාවේ ඒ සඳහා තියෙන නීති-රීති, ආයතන, ක්‍රියාවලි තවත් අඩපණ කරනවා නම්. එවැනි අඩපණ කරන සුළු ප්‍රකාශ සමාජීය, දේශපාලන වශයෙන් සමාජගත කරද්දිත්. මේක අපිම තමයි මම හිතන්නෙ ලංකාවෙ ඉන්න දේශපාලනඥයින්, ලංකාවේ නිලධාරීන්, ලංකාවෙ තියෙන ආයතන තමයි මේ රටේ පුරවැසියන්ට අවශ්‍ය යුක්තිය ලබා දීලා නැත්තේ.

Social Sharing

Related posts