ත්‍රස්තවාදීන්ට සහාය දක්වන සංවිධාන යළිත් – අමාත්‍ය කෙහෙළියගෙන් හෙළිදරව්වක්.

ත්‍රස්තවාදයට උපකාර කරන සංවිධාන ගණනාවක් උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් යළි මතුවන  බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

ත්‍රස්තවාදය ක්‍රියාත්මක වූ වකවානුවේදී මෙන්ම අදත්  එම සංවිධානවල ක්‍රියාකාරීත්වයක් දැකිය හැකි යැයි  මහනුවර මැණික්හින්නේ දී ඊයේ (14) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාන්තා නියෝජිත හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

රටේ පවතින නීතියට ඔබ්බෙන් ගොස් කැලෑ නීතියක් අතට  ගැනීමට කිසිසේත්ම අපේක්ෂා නොකරන බවත් එම සංවිධාන ද තමන්ගේ සීමාව සහ වපසරිය අවබෝධ කරගනිමින් කටයුතු කරන්නේ නම් වඩා සුදුසු යැයි අමාත්‍යවරයා කීවේය.

එම සීමාවන් ඉක්මවා යෑමට උත්සහ දරමින් විවිධ සංවිධාන විවිධාකාරයෙන් හැසිරෙනු දැකිය හැකි යැයි ද ඒ මහතා සඳහන් කළේය. වසර තිහක් තිස්සේ පැවැති ත්‍රස්තවාදය හේතුවෙන් මෙරට සිවිල් ජනතාව බෙහෙවින්ම පීඩාවට පත්ව සිටි බවද අමාත්‍යවරයා සිහිපත් කළේය.

ජාතික ආරක්ෂාව වෙනුවෙන් ප්‍රමුඛත්වය ලබා දෙන මෙරට යළි ත්‍රස්තවාදයක හිස එසවීමට ඉඩ නොතබන බවත් ඒ මහතා කීවේය.

යහපාලන පාලන සමයේදී මෙරට තිබුණු ප්‍රබලතම බුද්ධි අංශ විනාශ කර දැමු යුගයක් පැවති බව කී අමාත්‍යවරයා යළිත් බුද්ධි අංශ ශක්තිමත් කරමින් රටේ ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වය ලබා දෙන බවද කීවේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරියේදී පාර්ලිමේන්තුවේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බවත් කොවිඩ් ආසාධිත මළ සිරුරු ආදාහනය  පිළිබඳ තීන්දුව වෛද්‍ය නිර්දේශ මත ක්‍රියාත්මක කරන බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Social Sharing
නවතම