නාට්‍ය කලාව වැටිලා නෑ!

stage drama in Sri Lanka filmmakers artist ashoka handagama

සිනමාවේදී අසෝක හඳගම

ඔබ දැන් විශ්‍රාමිකයෙක්, අපි විශ්‍රාම දිවියෙන් මේ කතාව පටන්ගම්මු.

මෙහෙමයි තාම මට ඒ විශ්‍රාමික දිවිය කියන එක ලොකුවට දැනෙන්නෙ නැහැ. හේතුව මම විශ්‍රාම ගත්තෙ අවුරුදු එක හමාරක විතර සැලැස්මක් එක්ක. පළවෙනි එක තමයි මම විශ්‍රාම ගන්න තීරණය කරනකොටම මම කරන්න හිටපු චිත්‍රපටිය කරන්න සැලසුම් කරන් හිටියා. ඒ එක්කම මේ නාට්‍යය කරන වැඩෙත් ඒ ඇජෙන්ඩා එකේම තිබ්බා. ඒ හින්දම විශ්‍රාම පූර්වක නිවාඩු ගියේ අප්‍රේල් පළවෙනිදා ඉඳන් අද වෙනකල් එහෙම විශ්‍රාම ගත්තා වගේ හැඟීමක් තිබ්බෙ නෑ. ඒ බිසීකම එහෙමම තිබ්බා. සමහර විට ඊට වඩා බිසීකමක් තිබ්බා මේ ජීවිතේ ඇතුළේ. ඒ හින්ඳා විශ්‍රාමික හැඟීමක් දැනටනම් දැනෙනේ නෑ, බැංකු කටයුතු වලින් අයින් වෙලා ඉන්න එක ඇරුනහම.

අවුරුදු 30කට පස්සේ ඔබ අලුත් නාට්‍යක් කළා..

ඔව් අවුරුදු 32ක්

ඒ අත්දැකීම ගැන කතාකරමු…

ආපහු මහගෙදරට යනවා වගේ හැඟීමක් තියෙනවා, මොකද අපි පටන් ගත්තෙ වේදිකාවෙන් හින්දා. ආපහු එතනට යනවා කියන එක ඇතුලේ වෙනම හැඟීමක් තියෙනවා. මොකද එක දිගට කන්ටිනිව් වෙන්නෙ නැතුව ඉඳලා කාලයක් ඒකෙන් බැහැරව ඉඳලා රටින් පිට ඉඳලා ගෙදර එනවා වගේ හැඟීමක් දැනෙනවා එක පැත්තකින්.. අනිත් පැත්තෙන් පොඩි අභියෝගාත්මක හැඟීමක් දැනෙනවා, මොකද මේ වෙනකොට වේදිකාව අපි ඒ කාලේ කරපු නාට්‍යය භාවිතයට වඩා වෙනස් වෙලා තියෙනවා. එතකොට ඒ වෙනසත් එක්ක කොහොමද ඒ වෙනසට අනුගත වෙලා ඒ වෙනස අවශෝෂණය කරගෙන වැඩක් කරන්නේ කියන එක එක්තරා විදිහක අභියෝගයක්. ඒ දෙකම විඳ ගනිමින් තමයි මේ ව්‍යාපෘතියට අත ගහන්නේ.

ඔබතුමාගේ චිත්‍රපට ගත්තහම ඒ චිත්‍රපටවල හඳගම කියලා ලකුණක් පේන්න තියෙනවා අනිත් පැත්තෙන් වේදිකාවේ ඔබ කරපු නිර්මාණවලත් එහෙම එකක් තිබ්බා…

ඒකයි මේකයි අතරනම් වෙනසක් තියෙයි. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මගේ සිනමා ජීවිතයෙත් චන්දකින්නරී එකෙත් මේ මගේ සඳයි අතරත් වෙනසක් තියනවනේ. මේ මගේ සඳයි එකෙන් පටන් ගත්ත ගමන චන්දකින්නරී එකෙන් නිරූපණය වුනේ නෑ. එතකොට වේදිකාවෙත් මම හිතනවා එතෙක් 87නේ මාගත නාට්‍යය කරේ 89 වෙනකල් කරපු වේදිකා නාට්‍යවල කිසියම් මොනව හරි ලක්ෂණයක් තියෙනවා නම් ඒවයෙන් ගොඩාක් දුරට බැහැර වෙච්ච භාවිතයක් තමයි මේ නාට්‍යය ඇතුළේ තියෙන්නේ. ඒ හින්දා මේක ඇත්තටම කියනවනම් එහෙම දිගුවක් නෙවේ අලුත් ආරම්භයක් විදිහට හඳුන්වන එක හොදයි කියලා මට හිතෙනවා.

80 ගනන්වල නාට්‍ය සහ දැන් නාට්‍ය අතර පරතරය ඔබ කොහොමද හඳුනගෙන තියෙන්නේ..

දැන් ලංකාවේ ඇත්තටම කියනවනම් වෘත්තීය නාට්‍ය කලාවක් නෑනේ. ලංකාවේ නාට්‍ය කලාව කියන එක සාර්ථකව පවත්වාගෙන ආපු 60/70 කාලේ පවා කිසියම් වෙනත් වෘත්තියක නියැලුන පිරිසක් තමන්ගේ ආසාවට කරගෙන ආපු දෙයක් තමයි නාට්‍ය කියන්නේ. එතකොට ඒ නිසාම ඒ නාට්‍ය භාවිතාවේ වෙනස් හැඩයක් තිබ්බා. නමුත් මේ වෙනකොට වේදිකාවේ අලුත් දේ ඉගෙන ගන්න, අලුත් තරුණයන්ට පොඩි අවස්ථාවක් හම්බවෙලා තියෙනවා. විශ්වවිද්‍යාල විෂයයක් විදිහට නාට්‍ය හා රංඟ කලාව කරනවා සහ සෞන්දර්යය හා ප්‍රසාංඟ කලා විශ්වවිද්‍යාල වලින් විශාල පිරිසක් නළු නිළියන් හැටියට අධ්‍යයනයක් එක්ක එළියට එනවා. ඔවුන් අතින් තමයි අද නාට්‍ය බිහි වෙන්නේ. ඔවුන්ගේ නාට්‍ය, පැරණි නාට්‍යයෙන් වෙනස්. ගොඩක් අය දකිනවා එය නාට්‍ය කඩා වැටීමක් කියලා. මම එය කඩාවැටීමක් විදිහට දකින්නේ නෑ. අවාසනාවට ප්‍රේක්ෂකාගාරය හැකිලිලා තියෙනවා තමයි, ප්‍රේක්ශකාගාරය හැකිලෙන්නේ නාට්‍යයේ තියෙන ප්‍රශ්නයක් නිසා නෙවේ, ප්‍රේක්ෂකයාගේ ප්‍රමුඛතා ලැයිස්තුවෙන් නාට්‍යය හැලීම තමයි ප්‍රධානම ප්‍රශ්නය.

කාලයක් තිස්සේ ප්‍රේක්ෂකාගාරය හැකිලීමත් එක්ක ඔබතුමාලා වගේ ප්‍රවීන නාට්‍යයකරුවන් රූපවාහිනියට ගියා කඩාගෙන වැටීමට ඒකත් හේතුවක් නෙවෙයිද?

මෙහෙමයි, ඇත්තටම ඒක ඉතින් එක එක්කෙනාගේ අදහස වෙන්න පුළුවන්. ඒකෙ එක්තරා දුරක ඇත්තක් නැත්තෙම නෑ. ඇත්තටම මට ඒක මග ඇරුනේ 80 දශකය ඉවර වෙලා 90 දශකය වෙනකොට දේශපාලනයත් ලොකු හැඩයකින් වෙනස් වුණානේ. 90 දශකය ඉවර වුනේ දේශපාලන හෝදා පාලුවකින් වගේ එකකින්නේ. 90 දශකය පටන් ගන්නෙම පොඩි උදාසීන බවක් එක්ක. එතකොට මේ කාලය ඇතුළත පොලිටික්ස් කියන එක පවා වෙන විදිහකට මිනිස්සුන්ගෙ ජීවිත ඇතුළට බලපෑවේ. ඒ නිසා මම හිතනවා ඒ සියලු දේවල් වල ප්‍රතිඵලයක් හැටියට වේදිකා නාට්‍යයෙන් සිනමාවෙන් ප්‍රේක්ශකයො ඈත් වුණා මිසක් නාට්‍යකරුවන්ගෙවත් සිනමාකරුවන්ගෙවත් වැරැද්දකින් එහෙම වුණා කියලා මම පිළිගන්නේ නෑ. කොහොම වුණත් අර ඔබ කිව්වා වගේ මම මග ඇර හිඳීමට හේතුව වුණේ ප්‍රධාන වශයෙන්ම මගේ ප්‍රධාන අවධානය සිනමාවට යොමු වෙලා තිබීම. අනිත් එක තමා මගේ වෘත්තීය ජීවිතය, ඒකට කාලය කලමනාකරණය කරගනිද්දී පොඩි බාධාවක් පැවතුනා. මොකද වේදිකා නාට්‍යයක් එක්ක ඉන්නවා කියන්නේ සජීවී මැදිහත් වීමක්. වේදිකා නාට්‍යයක් කියන්නේ සජීවී දෙයක්, ඒකට හැමදාම සක්‍රීයව මැදිහත් නොවී වේදිකා නාට්‍යයක් පවත්වාගෙන යන්න බෑ.

පිටරට නාට්‍යය ප්‍රවණතා, චිත්‍රපට ප්‍රවණතා ගැන සවිඥානකයෙක් ලෝකයේ සමකාලීන නාට්‍ය කලාව සහ ලංකාවේ පවතින නාට්‍ය කලාව අතර යම් පරතරයක් තියෙනවද ?

පිටරටක නාට්‍යයක් රඟ දැක්වෙනකොට රංඟ ශාලාවක නාට්‍යය සතියක් 2ක් 3ක් නැත්නම් මාසයක් විතර එක තැනක රඟ දැක්වෙනවා. ඒ කියන්නේ අඛණ්ඩ ප්‍රේක්ෂක පිරිසක් ඒ කාලය ඇතුලත ඇවිත් නාට්‍යය නරඹමින් ඉන්නවා. අපේ රටේ එහෙම නෑ. අපි නාට්‍යය අරගෙන යනවා තැන් තැන්වලට. පුංචි පුංචි නගරවලට. එතකොට ඒ නගරවල තිබ්බ වේදිකා නාට්‍යය රඟ දක්වන්න තිබ්බ ශාලාවන් දැන් වෙන්දේසි මධ්‍යස්ථාන හා ප්‍රදර්ශන ස්ථාන වෙලා වෙනස් වෙලා තියෙන්නේ. ඒ හින්දා නාට්‍යය රඟ දක්වන්න තිබ්බ ඉඩ ප්‍රස්ථාවන් ඇකිලිලා. ඉස්සර මට මතකයි මාගාථ නාට්‍ය 89 නිශ්පාදනය කරලා 1993 විතර වෙනකල් උතුරු පළාතේ ඇරුනහම ලංකාවේ අනිත් හැම පළාතකම ගිහිල්ලා රඟ දක්වලා තියෙනවා. එහෙම පරිසරයක් නැහැ අද. ඒ හින්ඳා විශේෂයෙන්ම නාට්‍ය කියන එක කොළඹ කේන්ද්‍රීය එකක් බවට පත්වෙලා අවාසනාවකට. මේ තත්ත්වය තමයි ලොකුම බලපෑම අපේ ප්‍රේක්ශකාගාරය කඩා හැලෙන්න. මන් හිතනවා අපිට පුලුවන්කම තියෙනවනම් එක රඟහලක එක නාට්‍යයක් සතියක්වත් අඩුමගානෙ පවත්වාගෙන යන්න, ඒක තමයි ලොකුම වැඩේ.  ඒ අත්හදාබැලීම කරන්න මට වුවමනාවක් තිබ්බා මේ නාට්‍ය සමග. ඒත් මේ කොරෝනා තත්ත්වය නිසා ඒක ඒ විදිහට කරගන්න පුලුවන් වෙයිද කියලා සැක සහිතයි.

සිංගප්පූරුව වගේ රටක් ගත්තත් නාට්‍යය කලාව හරි සිනමාව හරි වෙළඳපල ආශ්‍රයෙන් මිනිස්සුන්ට ලං කරලා තියෙනවා. ඇයි අපිට බැරි එහෙම සංස්ක්ෘතියක් ගොඩනගන්න..

අපි හිතන්නේ නැතිකම. සිංගප්පූරුව රටක් හැටියට ඒගොල්ලන්ට බොහෝ දේ ලැබුණා. ඔවුන් එක දෙයක් තේරුම් ගත්තා, ඒ එක දෙයක් මිස් වෙනවා කියන එක. ඒ තමයි සංස්කෘතික කෑල්ල. මොකද ලොකු ඉතිහාසයක් තියෙන රටකුත් නෙවේනේ. ඒ හින්ඳා ඒගොල්ලෝ චිත්‍රපට උලෙළක් සංවිධානය කරමින් වෙන වෙන සංගීත සංදර්ශන උලෙළවල් සංවිධානය කරමින් ඒක ප්‍රමෝට් කළා. ඩුබායි වලත් එහෙමයි. එයාලත් ලොකු සංස්කෘතික ජීවිතයක් සඳහා අවශ්‍යය කරන සියලු දේ සපයන්න ලොකු වෙහෙසක් ගන්නවා, මොකද සංස්කෘතික ජීවිතේ නැති වුනාට පස්සේ ඇතිවෙන හිස්තැන ඒ නාගරික ජීවිතේ සම්පූර්ණ කරන්නේ නෑ. ඒක අපි හිතන්නේ නැති කෑල්ලක්. අපිට සංචාරකයෝ එද්දිම බැහලා එයාලා යන්නේ කොහෙද කැළේ විඳින්න, නැතිනම් වෙරළ විඳින්න, නැත්තන් නටඹුන් බලන්න යනවා. ඒ ඇරුනහම මෙහෙ තියෙන ප්‍රසාංගික කලාවක්,  නැටුමක්, සංගීතයක් එහෙම රස විදින්න එන පිරිස අඩුයි. එහෙම සකස් කරපු පරිසරයක් මෙහෙ නෑ. ඉතින් ඒක ගැන අපි හිතන්න ඕනේ.

නෙලුම් පොකුණ වගේ එකක් හැදෙනකොට කිව්වනේ මේකේ යම් නාට්‍ය සංස්කෘතියක් හදන්න පුළුවන් වෙයි කියලා..

ඒක හොඳයි සර්කස් පෙන්නන්න. චීන සර්කස් වගේ දාන්න නෙලුම් පොකුන රඟහල හොඳයි. ඒ ඇරුනහම රංඟ කාර්යයක් තියෙන වැඩක් කරන්න හරි අමාරුයි. මම නම් දන්නේ නැහැ ජෝන් ද සිල්වා භූමියේ හදන එකවත් අඩු ගානෙ එහෙම අරමුණකින් හදනවද කියලා. ඒක හරි අපරාධයක් ඉතින්. ඒක ගැන සලකන්නේ නැති එක. අපි දන්නේ නෑ අපිට මොනවද ඕනේ කියලා.

කොවිඩ් එක අස්සෙ කොහොමද වැඩ කරේ සහ ඒ අත්දැකීම කොහොමද?

මම කෝවිඩ් ලොක්ඩවුන් එක අස්සෙත් චිත්‍රපටියක් කරා. කොවිඩ් එක මැද්දේ තමයි චිත්‍රපටිය රූගත කරේ. ඒක අපි කොහොම හරි කරා. කොවිඩ් කාලය දිහා ආපහු හැරිලා බලද්දි මට පසු තැවෙන්න කාරණාවක් නෑ. සෑහෙන්න වැඩ කොටසක් කරන්න පුලුවන් වුනා. මේ නාට්‍යත් පුහුණුවීම් පටන් ගන්නකොට ඇත්තට කොවිඩ් දෙවන රැල්ලත් ආවා. ස්ටේජ් එකට එන්න හම්බුනේ නෑ. මූලික පුහුණු වීම්කරේ සූම් තාක්ෂණයත් එක්ක. ජනවාරි 11 ඉඳන් තමයි මේ භූමියේ පුහුණු වීම් කටයුතු සඳහා ආවේ. ඒක ඉතින් වෙනම අභ්‍යාසයක්. කොවිඩ් අස්සේ නාට්‍යයක් කරන එක මොකද, ලොකු අවධානමක් එක්ක මේ වැඩේ කරන්නේ, ඉතින් ඒ අවධානම අපිට ගන්න සිද්ධ වෙනවා සහ ඒත් එක්කම ලොකු වැදගත්කමක් තියෙනවා මේ මොහොතේ මේක කරන එක. කල් නොදා අපි එක කරන්න හිතුවේ ඒකයි. හේතුව තමයි අපේ ලංකාවේ සිනමා, වේදිකා නාට්‍ය, වගේ දේවල් වලට ,සාමූහික රස වින්දනය තියෙන දෙවල් වලට මිනිස්සු අඩු වෙමින්නේ තිබුණේ. ඒක නොසලකා හැරෙමින් පවතින දෙයක් වෙලා තියෙන අස්සේ තමයි කොවිඩ් ආවේ. කොවිඩ් ආවහම අර මොකක්ද එකකට තව එකක් කඩන් වැටෙනවා වගේ ඒක ඒ පැත්තටම තමයි තල්ලු කරන් ඇදගෙන ගියේ. සමාජයකින් සාමූහික රසවින්දනය කියන දෙය අයින් වෙනවා කියන්නේ සමාජ සංඥානකත්වයක් ඇති කරන්න තියෙන ඉඩ ප්‍රස්ථාව තමයි ඒකෙන් නැති වෙන්නේ. ඒ හින්ඳා එහෙම වෙන්න දෙන්න බෑ කියන එක තමයි අපේ හැඟීම. ඒ හින්දා අපි මේ අවධානම අරගෙන මේ කටයුත්ත මේ විදිහට කරන්න ඉදිරිපත් වුණා..

අපි දන්නවා දැන් නාට්‍යකරුවෝ නට්‍ය කරලා අත ඇරලා දානවා. ඇඩ්වටයිසින් පැත්ත ගැන හිතන්නේ නැහැ. ඉන්ඩස්ට්‍රි එකක් හදන්න උත්සාහයක් නැහැ. මේ නාට්‍ය මිනිස්සු අතරට කොහොමද අරගෙන යන්නේ..

නට්‍යයක් කරනවා කියන්නේ ඉසර වගේ නෙවෙයි ලොකු පිරිවැයක් යනවා. ඒ පිරිවැය අස්සේ තමයි අපිට ප්‍රචාරණය සඳහාත් කටයුතු කරන්න මුදල් වෙන්කරන්න වෙන්නේ. ගොඩක් වෙලාවට ප්‍රචාරණය සඳහා යොදාගන්නේ සෝශල් මීඩියා එකම තමයි. ප්‍රධාන ධාරාවේ මීඩියා එකට වඩා සෝශල් මීඩියා තමයි මේකෙ ලොකු වැඩ කොටසක් කරන්නේ. ඉතින් මම හිතනවා ඒක ඉතින් එක්තරා දුරකට ප්‍රථිඵල දායකයි කියලා. ඒ ප්‍රතිපලය උඩ තමයි නාට්‍ය දුවනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. මගේ මේ නාට්‍ය ගැන මෙහි ප්‍රචාරනය ගැන මම දැනට සතුටුයි.

Social Sharing

Related posts