සමහර පොලිස් නිලධාරීන් නිල ඇඳුම් දාගත්තාම හිතන් ඉන්නේ තමන් තරම් චණ්ඩියෙක් නෑ කියලා

Some uniformed police officers are violent

අයුබ් ඛාන් විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරී

ඇයි අපට බැරි වධ හිංසාවෙන් තොර පොලීසියක් පවත්වාගෙන යන්න?

මේකට ප්‍රධාන වශයෙන් මම කාරණා තුනක් බලපානවා. ඒකේ පළවෙනි කාරණාව විදිහට මම දකිනවා මේ කෲර වධ හිංසාව පැමිණි වීම, එහි නෛතික තත්වය, එය පැමිණ වීමෙන් ඇති වන ඵලවිපාක ගැන පොලිස් නිලධාරීන් හරියට දැනුවත් නැහැ.

මං දන්න අන්දමට යම් මට්ටමක දැනුමක් පොලිස් විද්‍යාලයේ දී ලබා දෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව දැනුම ලබාදුන්නත්, විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 ඉඳන් 15 දක්වා ඒ කොටසේ තියෙන මානව අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ වැදගත්කම පිළිබඳව හරි අවබෝධයක් බොහෝ පොලිස් නිලධාරීන්ට නැහැ.

ඒ නැති නිසා බොහෝ වෙලාවට ඔවුන් මේ කෲර වධ හිංසාවන් කිරීමට පෙලඹෙනවා. ඔවුන් ඒක ගණන් ගන්නේ නැහැ.

දෙවැනි කාරණා විදිහට මම දකින්නේ බොහෝ වෙලාවට පොලිස් දෙපාර්තමේන්තුව තුළ ඒ රාජකාරිය හරියට කරන්න ඕනෑ, ඉක්මනින් කරන්න ඕනෑ, කියන ඒ බලපෑම ඇති කරනවා, පොලිස් නිලධාරීන්ට විශේෂයෙන්ම උසස් නිලධාරීන් විසින්. ඒක වරදකට නෙමෙයි.

උදාහරණයක් වශයෙන් මිනීමැරුමක් උනාම වුණත් සතියෙන් සතිය ඉක්මනින්ම ඒ තියෙන තත්වය වාර්තා කරන්න ඕනෑ ඉහළට. ඒ ගැන උසස් නිලධාරීන් පහළ නිලධාරීන්ට විශේෂයෙන්ම ඕඅයිසී ට බලපෑම් කරන්නේ කෝ ඒ මර්ඩර් එක, ඇකියුට්ස්ලට මොකද උනේ? හොයා ගත්තද ඒ වගේ කතන්දර ගොඩක් ඇති වෙනවා, මේ පොලිසියේ රාජකාරි කරද්දි.

මේක හොඳ දෙයක් උනාට, ඒ ලබා දෙන පීඩනය හේතු කොට ගෙන නිලධාරිනුත් කල්පනා කරනවා මේක ඉක්මනට කරන්න. ඒ වැඩි උනන්දුව නිසා ඔවුන් ඉක්මනින්ම තොරතුරු ගන්න පෙළඹෙනවා. ඉක්මනින් තොරතුරු ගැනීමේ එක ක්‍රමයක් විදිහට ඔවුන් දකින්නේ විමර්ශනයේ තිබෙන ස්වභාවයට වැඩිය යම්කිසි පීඩනයක්, යම්කිසි පහරදීමක් ඒ වගේ දෙයක් තුළින් ඒ තොරතුරු ලබාගන්න.

ඊළඟ කාරණය විදිහට මම දකින්නේ සමහර අවස්ථාවන් වලදී දේශපාලන මැදිහත් වීම් ඇතිවෙනවා පොලිසියට. පොලීසියට දේශපාලන මැදිහත් වීම් ආවහම සිදුවෙන්නේ සැකකරුවෙක් අත්අඩංගුවට ගත්තහම ඒ සැකකරුවාට විරුද්ධ දේශපාලන පාර්ශවයේ කෙනෙක් ඉන්නවා නම් බලපෑමක් කළ හැකි, ඔහු බලපෑමක් කරනවා පොලීසියට මේ සැකකරුවාට මේ විදිහට පහර දෙන්න, මේ විදියට අඩත්තේට්ටම් කරන්න කියලා.

පොඩ්ඩක් රිදවන්න කියලා. ඒ වගේ දේවලුත් වෙනවා. ඔය කාරණා තුන තමයි මම පැහැදිලිව දකින්නේ පොලිස් වධ හිංසාවන් ඇතිවීමට ප්‍රධාන හේතු විදිහට.

වර්තමාන තත්වය එක්ක එහෙම සැකකරුවෙක් ගැන තොරතුරු ලබා ගැනීමට හිංසනය කියන එක පාවිච්චි කරන්න අවශ්‍ය ද?

පැහැදිලිවම හිංසනය කියන එක පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ. එහෙම අවශ්‍යතාවයක් ඇති වෙලා තියෙනවා නම් ඒක සම්පූර්ණයෙන්ම මිථ්‍යාවක්. මොකද හරියට විමර්ශනය කරනවා නම් හිංසනයක් අවශ්‍ය වෙන්නේ නැහැ. විමර්ශන ඔස්සේ ඉවසීමෙන්, සමහරවිට යම් කාලයක් ගත වෙන්න පුළුවන් සාක්ෂි හොයන්න.

නමුත් ඒ විමර්ශන කටයුතු කරන්න තමා නිදහසේ කල්පනාකාරීව ඒ කටයුතු කරනවා නම් අපට ඇත්තටම හිංසනය සිද්ධ කරන්න අවශ්‍ය නැහැ. දැන් ලංකාවේ මේ හිංසනය කිරීම පිළිබඳව වාර්තා උනාට, බොහෝ රටවල් වල කිසිදු බලපෑමක් අඩු තරමින් වචනෙකින්වත් බලපෑමක් ඇති නොකර සාක්ෂි හොයාගැනීම ලස්සනට කරනවා. විමර්ශනයකදී අපට වැදගත්ම දේ තමයි සාක්ෂි.

මේ සාක්ෂි හොයා ගැනීම කෙනෙකුට අඩත්තේට්ටම් කරලා ප්‍රශ්නයක් ඇති නොකර හොයාගන්න තරමට තමයි ඒ විමර්ශනය කරන අයගේ වැදගත්කම තියෙන්නේ. විවිධ සාක්ෂි වර්ග තියෙනවා. ඒ සාක්ෂි හොයා ගැනීම තමයි පොලිස් නිලධාරියෙක් කළ යුත්තේ. ඒක තමයි මං අර මුලින් කිව්වෙත්. විමර්ශන පිළිබඳව හරි දැනුමකින් පොලිස් නිලධාරියෙක් වැඩ කටයුතු කරනවා නම් ඔවුන්ට හිංසනය සිද්ධ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ.

විශ්‍රාමික පොලිස් නිලධාරියෙක් විදිහට පොලිසියට දේශපාලනික බලපෑම් එල්ල වීම සම්බන්ධයෙන් මොකක්ද අදහස?

දේශපාලනික බලපෑම් ලංකාවේ සංස්කෘතිකමය අංගයක් වෙලා. එක රජයක් පත් උනහම ඊට කලින් රජයේ හිටපු අයට යම් යම් ප්‍රශ්න සිද්ධ වෙද්දී, මේ රජයේ අය ඒකට බලපෑම් ඇති කරනවා. මේ රජය නැතුව වෙන රජයක් පත් උනාම මේ රජයේ කවුරුහරි පොලිසිය සම්බන්ධ වෙලා යම් විදිහකට අහුවුනාම ඔවුන් බලපෑම් ඇති කරනවා. ආයතනයක් තුළ නොදැකිය යුතු දෙයක් මේක. නමුත් මේක දේශපාලනික වශයෙන් කරනවා. ඒ වගේ සංස්කෘතියක් ඉබේම ලංකාවේ ඇති වෙලා තියෙනවා.

පහුගිය කාලේ දක්ෂ විදියට විමර්ශනය කරපු පොලිස් නිලධාරියෙක් තමයි ශානි අබේසේකර. මේ නිළධාරියා අලුත් ආණ්ඩුව යටතේ සිරගත කරනවා. සමාජය පිළිගන්නවා ඔහු කරපු විමර්ශනවල ප්‍රතිඵලයක් විදිහට තමයි ඔහුව මේ සිරගත කරලා තියෙන්නෙ කියලා. මෙවැනි ක්‍රියා හරහා පොලිස් නිලධාරීන් ට යම් බලපෑමක් සිද්ධ වෙනවා නේද, දේශපාලනඥයන් සම්බන්ධව විමර්ශන කරන්න එපා කියලා?

පැහැදිලිවම ඔව්. හොදින් විමර්ශන කරන දක්ෂ නිලධාරියෙකුට එවැනි තත්වයක් උද්ගත වුණාම අනිත් අයට වැඩ කිරීම පිළිබඳව ඇතිවෙනවා උදාසීනකමක්. භයක් ඇතිවෙනවා. නිර්භීතව තමන්ගේ රාජකාරිය කරන්න බැරි වෙනවා. ඉතින් ඒ බලපෑම එතරම් යහපත් නැහැ.

පොලිස් නිලධාරියෙක් විදිහට යහපාලන ආණ්ඩුව කාලයේ පොලිස් කොමිසමේ ක්‍රියාකාරිත්වය ගැන ඔබ මොකද හිතන්නේ?

විශේෂයෙන්ම යහපාලනය තුළ ගෙනාපු පොලිස් කොමිසම ගැන මගේ ප්‍රසාදයක් තියෙනවා. යම් යම් අඩුපාඩු තියෙන්න පුළුවන්. බොහෝ වේලාවට පොලිස් නිලධාරීන්ට ඒ කාලේ තිබුණ ගැටලු දිහා බැලුවහම යහපාලන ආණ්ඩුවේ පොලිස් කොමිසම බොහෝ දේවල් වලට පිළිතුරු ලබාදුන්නා. අඩුපාඩු ගොඩක් තියෙනවා. නමුත් යම් සාධනීය මට්ටමක් තියෙනවා.  ඒ පිළිබඳව මගේ ප්‍රසාදයක් තියෙනවා.

දැන් හමුදාව සහ පොලිසිය අපට වෙන්කරලා අඳුනගන්න බැරි වෙලා තියෙන තත්ත්වයක් තිබෙන්නේ. හමුදාව එතරම්ම සිවිල් ක්‍රියාවන් සමග බැඳෙමින් සිටිනවා..

ඇත්තටම හමුදාවේ කාර්යභාරය සහ පොලිසියේ කාර්යභාරය කියන්නේ දෙකක්. පොලිසිය කරන්නේ නීතිය හා සාමය පවත්වාගෙන යෑම. එතකොට පොලිස් ආඥා පනතේ 56 වන වගන්තියෙන් අපට ඒකට පැහැදිලිවම බලය ලබා දීලා තියෙනවා.  මහජන සාමය හා නීතිය පවත්වාගෙන යා යුතු ආකාරය කුමක්ද සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්ගේ වගකීම මොකක්ද කියලා එතන සඳහන්.

හමුදාව කියලා කියන්නේ ඇත්තටම කියනවා නම් රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් තමා ඔවුන්ට මූලික වඟකීම තියෙන්නේ. එතකොට නීතිය හා සාමය පවත්වාගෙන යෑමට වැඩිය රාජ්‍ය ආරක්ෂාව තමයි මූලික කරගෙන තියෙන්නේ. පසුගිය යුද සමය තුළ සිද්ධ වුණේ රාජ්‍ය ආරක්ෂාව කියන එක ප්‍රබල වීම හේතුකොටගෙන ඔවුන්ටත් යම් යම් බලතල ලැබුණා රාජ්‍ය ආරක්ෂාවට කටයුතු කරන්න.

එතකොට සෝදිසි කිරීම් පිළිබඳව වුණත් පොලීසියට තමයි බලතල නෛතිකව ලැබිලා තියෙන්නේ. රාජ්‍ය ආරක්ෂක කටයුතු කරන හමුදාවටත් රාජ්‍ය ආරක්ෂාව මුල්කරගෙන ඒ සෝදිසි කිරීම් කරන්න ඕනෑ කියලා, ඔවුන්ටත් යම් බලයක් දීලා තියෙනවා.

නමුත් පැහැදිලිවම නීතිය හා සාමය රැකීමට ඉන්නේ පොලිසිය. රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් වගකියන්න ඒ කටයුතු කරන්න ඉන්නේ හමුදාව. මේ දෙගොල්ලෝ අතර තියෙන වපසරිය වෙනස්. පොලිස් නිලධාරීන් සමාජයත් එක්ක ගැටිලා, නීතිය හා සාමය රකින්න ඔවුන්ට පහසුවෙන් ජීවත් වීමේ වපසරිය දීමේ වගකීම තියෙන්නේ පොලිසියට මිසක් හමුදාවට නෙමෙයි. හමුදාමය වශයෙන් යම්කිසි විදිහකට ඒ කටයුත්තට මැදිහත් වෙනවා නම් මම හිතනවා එතන යම් ගැටලුවක් ඇතිවෙනවා.

අපට පේනවා මිනිස්සු පොලිසියට වැඩිය හමුදාවට කිට්ටුයි. හමුදාවට ආදරෙයි. සමහර සිද්ධීන් වලදී ඒ අය කියනවා මේ ගැටලු වළක්වා ගන්න තිබ්බ හමුදා මැදිහත් වුණා නම් කියලා. එතකොට සිවිල් කටයුතුවලට පොලිසිය හිටියට ජනතාවගේ යම් අපේක්ෂාවක් තියෙනවා හමුදාව මැදිහත් වුණා නම් මේක විසඳගන්න පුළුවන් කියලා. මේකට හේතුව මොකක්ද?

ඇත්තටම කියනවනම් පොලීසියට වැඩිය විනය පැත්තෙන් හමුදාව ඒ කටයුතු කරනවා. පොලිසියේ විනය නෑ කියලා මම කියන්නේ නැහැ. නමුත් සංසන්දනාත්මකව බැලුවොත් පොලිසියට වැඩිය හමුදාව තුළ යම් විනයක්, යම් ශික්ෂණයක් තියෙනවා. මිනිස්සු ඒකට කැමතියි. ඔවුන් ඇවිල්ලා සෘජුව යම් නියෝගයක් දීලා ඒ තත්ත්වය සමනය කරන්න කටයුතු කරන ආකාරයට මිනිස්සු කැමතියි.

ඒකේ නෛතිකව තියෙන කාරණය වෙන පැත්තක්. එහෙම වැඩ කිරීම මිනිස්සු අගය කරනවා. සාමාන්‍යයෙන් මිනිහට තේරෙන්නෙ නැහැ හමුදාවට තියෙන බලය මොකක්ද? පොලිසියට තියෙන බලය මොකක්ද කියලා. ඉතින් ඒගොල්ලො ඒ වගේ වැඩ කරන අයට කැමතියි. එහෙම එකක් තියෙනවා.

බොහෝ අංශ වලින් එන කරුණු දැක්වීමක් තමයි පොලිස් හිංසනය ඉහළ යන එකට හේතුවක් තමයි පොලිස් නිලධාරීන් තමන්ගේ රාජකාරිය පිළිබඳව අසතුටෙන් කටයුතු කිරීම කියලා. තමන්ගේ රාජකාරි ස්වභාවය නිසා, නැත්නම් ඒ රාජකාරිය ඇතුළෙ ගොඩනගපු නීති පද්ධතිය නිසා, නැත්තං දේශපාලන සැලකිලි නිසා, නැත්නම් යම් යම් ආණ්ඩු ඒ කාලවලදී ගත්ත ප්‍රතිපත්ති තීන්දු තීරණ නිසා පොලිස් නිලධාරීන්ට තියෙන මේ පීඩනය ඔවුන් පිට කරන්නේ සැකකරුවන් මතින් කියලා. මේ ගැන ඔබතුමා හිතන්නේ මොකක්ද?

ඒ තර්කයේ යම්කිසි ඇත්තක් තියෙනවා. සාමාන්‍යයෙන් කෙනෙක් රාජකාරි කරද්දී මානසිකව තමන් හොඳ තත්ත්වෙ ඉන්න ඕනෑ රාජකාරි කරන්න. පෞද්ගලිකව තමන්ගේ ජීවිතේ තියන පීඩන එක්ක රාජකාරි කරද්දි යම් යම් බලපෑම් ඇත්තටම ඇති වෙනවා. ඒ කතන්දරේ හරි. ඒකට කාරණා ගොඩක් තියෙනවා.

විශේෂයෙන්ම සුභසාධනය පැත්තෙන් පොලිසිය යම් ගැටලු ඇති නිලධාරීන්ට. එතකොට වැටුප් පිළිබඳ ප්‍රශ්න ඇති. දැන් හොඳ වැටුපක් ලැබෙනවා ඇති කියලා මම හිතනවා. නමුත් දැන් තියෙන ආර්ථිකයත් එක්ක ඒත් ප්‍රශ්නත් ඇති. අනිත් එක පහසුකම් සම්බන්ධයෙනුත් ගැටලු තියෙනවා.

උදාහරණයක් වශයෙන් පොලිස් නිලධාරියෙකුට බැරක් එකට ගිහිල්ලා  ප්‍රමාණවත් නින්දක් අරගෙන ආවොත් තමයි හොඳ මානසිකත්වයෙන් වැඩ කරන්න පුළුවන් වෙන්නේ. එක්කෝ නිදා ගන්න විදිහක් නෑ පහසුකම් මදි. සමහරවිට රාජකාරි බහුල වීම හේතු කොටගෙන නිදාගන්නට නොලැබෙනවා වෙන්නටත් පුළුවන්. මොනදේ උනත් නින්ද අඩු වීම හේතුකොටගෙන හොඳ විදිහට තමන්ගේ රාජකාරි කරන්නට හම්බෙන්නෙ නැහැ. ඒ කතාවත් හරි.

සමහර රටවල පොලිස් නිලධාරීන් ගත්තහම ඔවුන් හරි ප්‍රසන්නයි. මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන විදියත් හරි ප්‍රසන්නයි. එයාලා සමහර වෙලාවට අපිත් එක්ක සම මට්ටමට ඇවිත් තමයි ගනුදෙනු කරන්නේ. අපේ පොලිස් නිලධාරීන් ගත්තහම ඔවුන් විශාල උද්දච්චකමක්, මමත්වයක් නඩත්තු කරනවා. ඒකත් ප්‍රශ්නයක් නේද ජනතාවට සමීප වෙන්න?

ඔව් පැහැදිලිවම මම ඒකට එකඟ වෙනවා. මං කලින් කිව්වා වගේ මේක අපට සංස්කෘතිකමය වෙලා තියෙන ප්‍රශ්නයක් ද කියලා මට හිතාගන්න බැහැ. මොකද මේ ලංකාවෙ පොලිස් නිලධාරීන් තුළ තියෙනවා එහෙම මානසිකත්වයක්. බොහෝදුරට ඒ මානසිකත්වය තිබීම හේතුකොටගෙන ඔවුන් කටයුතු කරන්න වෙනත් ආකාරයකට.

ඔවුන් කල්පනා කරන්නේ නැහැ මම මේ පොලිසියේ ඉඳලා විශ්‍රාම ගන්නවා, එහෙම විශ්‍රාම ගියාට පස්සේ මට ඇතිවෙන තත්ත්වය මොකක්ද? එහෙම මුකුත් හිතන්නේ නැහැ. පොලිස් නිල ඇඳුම දාගත්තහම තමන් තරම් චණ්ඩියෙක් නැහැ, තමන්ට තරම් බලය තියෙන කෙනෙක් නැහැ, තමන් එතකොට පීඩා කරන්න පටන් ගන්නවා ජනතාවට. මම හිතන්නේ මේක මේ අපේ සංස්කෘතියට සම්බන්ධ වෙලා ඇවිත් තියෙන ප්‍රශ්නයක්.

ඒක වෙනස් කරන්න මොකද්ද පොලිස් දෙපාර්තමේන්තුවට කරන්න පුළුවන්?

ඒක වෙනස් කිරීමට ප්‍රධාන වශයෙන්  පොලිස් නිලධාරියාගේ මානසික තත්වය යහපත් කරන්න ඕනෑ. ඒකට කරන ප්‍රධානම කාරණා විදිහට මම දකින්නේ ඔවුන්ට ජීවත්වීමට සරිලන වැටුපක් ලබා දීම. සංසන්දනාත්මකව ගත්තහම විදේශ රටක පොලිස් නිලධාරීන් බොහොම හොඳට ඉන්නවා. විශේෂයෙන්ම ස්වීඩනය වගේ රටවල් වල බොහොම වැදගත් විදියට ඉන්නවා.

ඇත්තටම එහෙම වෙලා තියෙන්නේ මොකද පොලිස් නිලධාරීන්ට හොඳ ඉහළම වැටුප් ලබාදෙනවා.  ඉහළ වැටුප් ලබා දුන්නම ඔවුන්ට දූෂිත විදිහට හම්බ කරන්න උවමනා වෙන්නේ නැහැ. අනිත් එක ගන්න වැටුපට වැඩ කිරීමට ලොකු උවමනාවක් ඇති වෙනවා. එතකොට මනස සතුටින් තමන්ගේ වැඩ කරන්න පෙලඹෙනවා. ඒත් එක්කම විශේෂයෙන් ඒ වගේ දියුණු රටවල් වල පොලිස් නිලධාරීන්ට සුභසාධනය ද, ඔවුන්ගේ මානසික තත්වය යහපත් කිරීම සඳහා කෙරෙන්න ඕනෑ අනෙකුත් සියලුම කටයුතුද හොඳට සිද්ධ කෙරෙනවා. එතකොට තමන් සතුටෙන් නම් තමන්ගේ රාජකාරි හරි සතුටෙන් කෙරෙනවා.

ඊළඟ කාරණාව මං පැහැදිලිව දකිනවා වර්තමානයේ දී පොලිස් නිලධාරියෙකුට කරන්න බැරි තරමට වැඩ ගොඩක් වැටිලා තියෙනවා ඔළුවට. වර්ක් ලෝඩ් එක වැඩියි. ලොකු වර්ක් ලෝඩ් එකක් වැටුනහම නිලධාරියෙක් කොහොමද වැඩ කරන්නේ. ඒක පෞද්ගලිකව මම අත්දැකපු දෙයක්. උදේ නැගිට්ට වෙලේ ඉඳන් නිදාගන්න කම්ම පුදුම රාජකාරි තොගයක් තියෙන්නේ.

ඒ නිදාගන්න ඔලුව තිබ්බත් ආයෙ උදේ හතරට පහට නැගිටින වෙලාවලුත් තියෙනවා. ඉතින් විශාල පීඩනයකින් පොලිස් නිලධාරීන් රාජකාරි කරන්නේ. මම හිතනවා මේ පොලිසිය ගොඩනඟා ගන්න නම්, හොඳ සාධනීය පොලිස් සේවයක් ලබා ගන්න නම්, පොලිසිය තුළ විශාල වෙනසක් සිදු විය යුතුයි. විශේෂයෙන්ම ආකල්පමය වශයෙන් පොලිස් නිලධාරීන් ශක්තිමත් කරන්න ලොකු වැඩපිළිවෙළක් සිදු කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා.

Related posts