දැඩි සත්කාර ඒකක වල හෙද කාර්ය මණ්ඩලයේ හිඟයක්!

මෙරටින් ඊයේ  (03) දිනය තුළ කොවිඩ් රෝගීන් 1923ක් හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත් කර තිබුණි.  මෙය මෙරටින් දිනක් තුළ හඳුනාගත් වැඩිම කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ද වේ.

එමෙන්ම දැනට ප්‍රතිකාර ලබන සක්‍රිය කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 14758ක් කි. සක්‍රිය කොවිඩ් රෝගීන් මෙතරම් ප්‍රමාණයක් මෙරටින් වාර්තා වී ඇත්තේ ද පළමු වරටය.

ඒ අනුව මෙරටින් මෙතෙක් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 113,676 ක් ලෙස සටහන් වේ.

කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ඉහළ යාම නිසා රෝහල් කාර්ය මණ්ඩලද මේ වන විට පත්ව ඇත්තේ දැඩි අසීරුතාවයකටය. විශේෂයෙන්ම දැඩි සත්කාර ඒ්කක වල කටයුතු කරන කාර්ය මණ්ඩල වලට මේ දිනවල අධික පීඩනයකින් යුතුව වැඩ කිරීමට සිදුව ඇති බව පැහැදිලිවම දකින්නට ඇති කරුණකි.

මේ සම්බන්ධයෙන් ඊයේ (03) දින රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයද අවධානය යොමු කරමින් මාධ්‍ය හමුවක් පවත්වා තිබුණි.

මෙහිදි එම සංගමය පෙන්වා දුන්නේ දැඩි සත්කාර ඒකක පුහුණුව ලැබූ හෙද කාර්ය මණ්ඩල හිඟවීම නිසා දැනට එම සේවයෙහි නියුතු හෙද හෙදියන්ට තුන් ගුණයක් වැඩකිරීමට සිදුව ඇති බවය.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සංවිධායක ( කොළඹ මහ රෝහල ) පුෂ්පා රම්‍යාණි ද සොයිසා මහත්මිය පවසා සිටින්නේ සංගමයක් ලෙස දිගින් දිගටම ඉල්ලීම් කළත් නිසි පිළිතුරක් ලැබී නොමැති බවත් අවම කාර්ය මණ්ඩලයක් නිසා හෙදියන්ට තුන් ගුණයක වැඩ කිරීමට සිදු වීමෙන් දැන් එය පුපුරා යන තත්ත්වයකට පැමිණ ඇති බවය.

මේ අතර මෙම මාධ්‍ය හමුවේදී මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සඳහන් කර සිටියේ මේ අවස්ථාවේ විශ්‍රාම ගොස් සිටින වැඩ කළ හැකි පිරිස ගෙන්වා ගත යුතු බවය. අලුත් අවුරුද්දට පෙර සියලුම හෙදියන්ට මේ මාස 06 විශේෂ පුහුණුව ලබා දෙන ලෙස ඉල්ලා සිටියත් එය ලබා නොදුන් බවත් , මේ වන විට හෙද විදුහල් ටික නවාතැන් වලට ගැනීමට සැරසෙන බවත් අවිධිමත් අවිචාර දුර නොපෙනෙන අදූරදර්ශී ක්‍රියාදාම අද මේ සෞ‍ඛ්‍ය අමාත්‍යාංශය අනුගමනය කරමින් සිටින බවය.

-ශානි-

Social Sharing
නවතම