මේ රටේ යම් ගැහැණියක් ඉතාම නරක විදිහට අපහාසයට ලක් වුණා නම්, ඒ ගැහැණිය මම තමයි. – සන්ධ්‍යා එක්නැළිගොඩ

Sandya Eknelygoda Human Rights in Sri Lanka

2010 ජනවාරි 24 වෙනිදා කියලා කියන්නේ ප්‍රගීත් එක්නැළිගොඩ කියන මාධ්‍යවේදියා, සමාජ ක්‍රියාකාරිකයා පැහැරගෙන ගොස් අතුරුදන් කරලා දාපු දවස. ඒ කියන්නේ මේ අවුරුද්දේ ජනවාරි 24 වැනිදාට ප්‍රගීත්ගේ ජීවත්වීමේ අයිතිය පැහැරගෙන අවුරුදු 11ක් වෙනවා. පසුගිය යහපාලනය අවධියේ ප්‍රගීත්ට මොකද්ද වුණේ කියන දේ සොයා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ෂනයක් කළා. එම විමර්ෂනයට අදාළව ප්‍රගීත්ට මොකද්ද වුණේ? කියන ගැටලුවට, එම උභතෝකෝටිකයට පිළිතුරු ලැබුණා. එහෙත් තවමත් ප්‍රගීත් එක්නැළිගොඩ කියන පුරවැසියාට යුක්තිය ඉටුවෙයි කියන එක පෙනෙන තෙක්මානයකවත් නැහැ. ප්‍රගීත් අතුරුදන් කරලා අවුරුදු 11ක් වුණත් ප්‍රගීත් නාමය ජීවග්‍රහයෙන් මේ සමාජය මත පවත්වාගෙන යන්නට ඇය තවමත් ශක්තිමත්..! ඇය තවමත් ප්‍රගීත් වෙනුවෙන් සටනේ සිටින්නී.. ප්‍රගීත් අතුරුදන් කරලා අවුරුදු 11ක් ගතවෙන්න ඔන්න මෙන්න තියලා මම ඇය මුණ ගැහුණා. ඇය ප්‍රගීත්ගේ ප්‍රිය බිරිඳ සන්ධ්‍යා එක්නැළිගොඩ.

මුලින්ම අපි ප්‍රගීත් ගැන මතකයෙන් මේ සාකච්ඡාව පටන් ගනිමු..

ප්‍රදීප් සම්බන්ද මතකය ගැන කතා කළොත් ඔහුව මට මුණ ගැහෙන්නේ 80 දශකයේ. 90 දශකයේ මුල අපි විවාහ වුණේ. ඉන් පසුව අපේ දරුවන් ඉපදෙනවා. විවිධ හැලහැප්පීම්, විවිධ දේශපාලන සිදුවීම් සහ අගහිඟකම් මැද්දේ උනත් අපි ගත කළේ සාමාන්‍ය ජීවිතයක්. ඒත් 2009 දී ප්‍රගීත් පලවෙනි වතාවට පැහැරගෙන ගිහිල්ලා ඊට පහුවෙනිදා මුදාහරිනවා. එතන ඉඳන් අපේ ජීවිත සෙලවෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ කිසියම් හෝ බලපෑමක් එක්ක තමයි අපිට ජීවත්වෙන්න සිද්ධවෙන්නේ. 2010 ජනවාරි 24 ප්‍රගීත් අපෙන් උදුරා ගන්නවා. ඔහුව පැහැරගෙන ගිහිල්ලා ඔහුගේ සිරුරත් අතුරුදහන් කරවනවා.

හැම දෙනාම දන්නවා ප්‍රගීත් අතුරුදන් කරවන්නේ දේශපාලන පසුබිමක් මත. 2010 ජනාධිපතිවරණයට දවස් දෙකකට පෙර. අපි පැහැදිලිවම දැනගෙන හිටියා මෙය පසුපස තියෙන්නේ දේශපාලන හස්තයක් කියන දේ. මොකද ඒ වෙනකොට ප්‍රගීත්ට පෞද්ගලික හතුරෝ හිටියේ නැහැ. මම දැනගෙන හිටියා මේ පිළිබඳ සත්‍යය හෝ යුක්තිය හොයාගෙන යන ගමන ඉතාම දිර්ඝ එකක් කියලා. මොකද ලංකාවේ ඉතිහාසය බැලුවොත් මේ හැම සිදුවීමක් තුළම තියෙන අත්දැකීම තමයි අපරාධකරුවන්ට දණ්ඩ මුක්තිය ලබා දීම. එය තමා මේ රටේ ප්‍රධානම කාර්යය. මොකද දේශපාලකයින් ට අපරාධකාරයන්ගේ සහාය අවශ්‍යයි. එය ලබා ගන්න නම් මේ දණ්ඩ මුක්තිය ලබා දිය යුතුම වෙනවා. ඒ නිසා තමයි මගෙ අරගලය ඉතාමත් දුෂ්කර වුණේ. බොහෝ දෙනෙක් දන්නවා මම ඒ ගමන තුළ කොතරම් අපහස වින්දද කියලා. මේ රටේ යම් ගැහැණියක් ඉතාම නරක විදිහට අපහාසයට ලක් වුණා නම්, ඒ ගැහැණිය මම තමයි.

කොහොම වුණත් මගේ මේ අරගලයේ ප්‍රධාන අරමුණ තුනක් තියෙනවා. එකක් මේ රටේ අධිකරණ ක්‍රමවේදය, අධිකරණය කොහොමද මට සහය කරගන්නේ කියන එක. අනිත් එක, මම මේ රටේ පොදු අරගලයේ කොටස්කාරයෙක් විය යුතුයි කියන එක. තුන්වැනි කාරණය මම පැහැදිලිව දැනගෙන හිටියා මේ රටේ භූමිය තුළ මොනවා හරි කරන්න නම් අන්තර්ජාතික වශයෙන් සහයෝගය අත්‍යවශ්‍යම වෙනවා කියලා. කොහොමද මේක ජාත්‍යන්තර තලයේ අරගලයක් බවට පත් කරන්නේ, කියන කරුණෙදි මම හිතන්නේ මං කරපු වැඩ කොටස වගේම මට සහය වෙච්ච අනිත් අයගෙ කාර්යභාරයත් අගය කරනවා. මොකද ඒකත් මේ ගමනට රුකුලක් වුණා.

ඔබ හිතන විදියට මේ අරගලය තුළින් ඔබේ අරමුණ ඉටු වුණාද?

මේ අරගලය තුලින් මම බලාපොරොත්තු වෙච්ච දේ නම් 100% ඉටුවුනේ නැහැ. හැබැයි අපි  2015 පස්සේ සිද්ධ වෙච්ච දේවල් පිළිබඳ යථාර්ථවාදීව බැලිය යුතු වෙනවා. ඒක තමා මගේ කියවීම. ඒ තුළ නඩුවක් ගොනු වීම වෙනකන් ආපු ගමන ප්‍රමාණවත් කියන එකයි මගේ හැඟීම. ප්‍රමාණවත් කියන්නේ මොකද ඒකෙදි අපරාධකරුවන්ට දඬුවම් දීම සිද්ධවේවි කියන ඉලක්කය තිබුනත්, අපි දැනගත යුතු වෙනවා මේ අපරාධ වලට සම්බන්ධ කරගෙන තියෙන පුද්ගලයින් මේ රටේ දේශපාලනඥයින්ට අවශ්‍ය පුද්ගලයින්. ඒ දේශපාලන බලපෑම් මත අපිට ලැබුණු දෙය තමයි මේ. මම කැමතියි මේ අපරාධකරුවන්ට දඬුවම් දීලා නඩුව අවසන් කරන තැන දක්වා Aගියා නම්. ඒක තමා ඉලක්කය වුණේ.

නමුත් විශේෂයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, නීතිපති දෙපාර්තමේන්තුවට මේ ගමන යන්න සිද්ධ වුණේ  බලපෑම් එක්ක. ඊළඟට හමුදාව කියන සාධකය මේවා එක්ක තමයි මේ පරීක්ෂණ ඉස්සරහට ගියේ.  මේ අපරාධ වලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගත්තට පස්සේ එවකට හිටපු ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ කියනවා මේ අපරාධ වලට සම්බන්ධ රණවිරුවන් සිරගත කරගෙන ඉන්නවා කියලා. රටේ නීතියට පිටින් මිනිහෙක් පැහැරගෙන ගිහිල්ලා මරලා එයාගෙ සිරුරත් අතුරුදහන් කරපු පුද්ගලයෙක් කොහොමද රණවිරු‌‌වෙක් වෙන්නේ? ඒ අයගේ රාජකාරිය නෙමෙයි ඒ. සමහර විට ඔබට කියන්න පුළුවන් මේ අයට කවුරුහරි දීපු නියෝගයක් තමා මේ කළේ කියලා. නමුත් මම පැහැදිලිවම දන්නවා ඕනෑම පුද්ගලයකුට ඉහළින් එන නියෝග එම පුද්ගලයා ක්‍රියාත්මක කරන්නේ අර ඉහළ පුද්ගලයාගේ බලය තමන්ට ආරෝපණය කරගෙන. එතකොට ඒ පුද්ගලයින් කිසිසේත්ම අහිංසකයින් නෙමෙයි. ඒ නිසා තමයි මේ සියලුම අපරාධ කරපු පුද්ගලයින්ට දඬුවම් ලැබිය යුතුයි කියන තැන මම ඉන්නෙ.

මට හිතෙනවා ප්‍රගීත් ගේ අතුරුදන් වීම පිළිබඳ පරීක්ෂණ තවත් ඉස්සරහට යන්න තිබුණා කියලා. නමුත් හමුදාවේ බලපෑම මත සහ ඔවුන් තොරතුරු සැඟවීම මත මෙම පරීක්ෂණ යම් ආකාරයකට අඩාල වෙනවා..

ඒක තමයි ශ්‍රී ලංකාවේ තියෙන විමර්ශනවල ස්වභාවය. යුද හමුදාව කියන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියන්නේ මේ රටේ රාජ්‍ය ආයතන. ඉතින් අපරාධයක් සොයා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරනකොට මේ අනිත් කොටස වන යුද හමුදාව මේ අපරාධ විමර්ශනය සඳහා අවශ්‍ය තොරතුරු ලබා දෙන්නේ නැහැ. අසත්‍ය තොරතුරු දෙනවා. ඒ අසත්‍ය තොරතුරු අධිකරණයට ඉදිරිපත් කරනවා. මෙහෙම දේවල් කොහොමද යුද හමුදාවක් කරන්නෙ? මොකද රටක අපරාධයක් සිදුවුණාම ඒ අපරාධය පිළිබඳ සොයන කොට ආණ්ඩුවේම අනික් යාන්ත්‍රණය ඒකට සහාය දෙන්නෙ නැහැ. ඉතින් කොහොමද මේ රටේ පුරවැසියෙකුට යුක්තිය ඉෂ්ට වෙන්නේ?

මේ වන විට මේ සම්බන්ධයෙන් නඩුවක් ගොනු වෙලා තියෙනවා අධිකරණයේ. අනිත් පැත්තෙන් මේ අපරාධ පිළිබඳව විමර්ශනය කරපු නිලධාරීන් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. සමාජයේ ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා මෙවැනි පරීක්ෂණ මෙහෙය වූ නිසා යම් දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වුණා කියලා..

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහත්මයා සහ අනෙක් නිලධාරීන්ට උරුම වෙලා තියෙන තත්ත්වය ගැන ඉතා ලොකු කම්පනයක මම ඉන්නේ. මොකද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විදිහට ඒ අය යුනිෆෝම් එක ගන්නෙ මේ රටේ අපරාධ හොයන්න. අපරාධ කරන පුද්ගලයා තරාතිරම නොබලා හොයා ගැනීමයි මේ රටේ පුරවැසියන් වෙනුවෙන් ඔවුන්ට තියෙන වගකීම. ඒ වගකීම ඉෂ්ට කිරීම හේතුවෙන් ඒ නිලධාරීන්ට හිරගෙදර තපින්න වෙනවා නම්, ඒක මේ රටේ ඛේදවාචකයක්. ඒ වගේම මම හොඳටම දන්නවා මේ දැන් ඉන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්වත්, මේ අපරාධ පරීක්ෂණ වලට සම්බන්ධ නීතිඥවරුන් විසින් බියවද්දා තිබෙනවා. ඒක කරන්නේ මේ සිදුවීම් උදාහරණයට ගනිමින්. ඒකෙන් පැහැදිලි වෙනවා මේ විදිහට මේ නිලධාරීන්ගෙන් පළිගන්නේ අපරාධකාරයෝ කියලා. ඒකයි මම කියන්නේ මේක මේ රටේ ඛේදවාචකයක් කියලා.

දීර්ඝ කාලයක් ඔබ දරුවන් සමග විශාල අරගලයක් ගෙන ගියා නැති වෙච්ච තමන්ගේ සැමියා, තම දරුවන්ගේ පියා වෙනුවෙන්. ඔහුට මොකද වුණේ කියන එක දැන ගන්න. ඒ අරගලයේ දී සමාජය තුළින් විශාල පීඩනයක් ඔබට එල්ලවෙනවා. විශේෂයෙන් කාන්තාවන්ගෙන්.

රාජපක්ෂවාදීන් කියන ජාතිය එක රාමුවක විතරයි හිතන්නෙ. එයින් පිට ඔවුන්ට හිතන්න හැකියාවක් නැහැ. ඔවුන්ගේ ඒ රාමුවට යම් කිසි කෙනෙක් බලපෑමක් කරනවා නම් එයාට පිළිතුරු දෙන්නේ අසභ්‍ය වචනයෙන්. ඊට වඩා මෙවැනි තත්ත්වයක් ඇති වුණොත් ඒ පුද්ගලයා පත්වන තත්ත්වය ගැන හිතන්න ඔවුන්ට චූටි බුද්ධියක් වත් නැහැ. ඒ අය හිතන්නේ කවදාවත් තමන් සමාජයේ එවැනි බලපෑමට ලක්වෙන්නේ නැහැ කියලා. මොකක් හරි දුකක් එයාලට සිදුවෙන්නේ නැහැ කියලා. ඒක නිසා ඒ අය පැහැදිලිවම දන්නෙ අසභ්‍ය වචන කියන්නයි, ඡායාරූප විකෘති කරන්න විතරයි. නමුත් මම හිතන්නේ ඒක මේ පොදු සමාජය නිරූපනය කරන චිත්‍රය නෙමෙයි. රාජපක්ෂවාදීන් විසින් මෙහෙයවන ලද කණ්ඩායම් වල ක්‍රියාකලාපය. ඒ අය සමහරවිට අන්තර්ජාලය තුල ව්‍යාජ අනන්‍යතාවන්ගෙන් පෙනී සිටිනවා. ඒ අයට තමන්ගේ මුහුණවත් පෙන්නන්න බැහැ. මොකද ඒ තරමටවත් ඒ අයට හයිය නැහැ. එච්චරට දුර්වලයෝ.

අපි පහුගිය කාලේ දැක්කා මේ වගේම හේතු මත අරගල කරපු කාන්තාවෝ. හැබැයි ඒ බොහෝ දෙනෙක් අරගල කළේ තමන්ට ඇබැද්දියක් වුණාම විතරයි. නමුත් ඔබ ලංකාව පුරාම (විශේෂයෙන් අතුරුදහන් වූ පිරිස් සම්බන්ධයෙන්) තිබුණ අරගලවල සක්‍රීය චරිතයක් වුණා. මොකක්ද මේකට හේතුව?

එකක් මම හිතන්නේ මගේ අරගලය අර්ථවත් වෙන්නේ මම පොදු අරගලයෙත් කොටස්කාරයෙක් වුනොත් විතරයි කියන දේ. අනෙක මට ලැබෙන අවස්ථාවක් මම පොදු අරගලයකට කැප නොකළොත් මම ආත්මාර්ථකාමී ගැහැනියක් වෙනවා. මට ඒ තැනට වැටෙන්න ඕනේ නැහැ. මොකද උතුර ද දකුණ ද සිංහල ද දෙමළ ද මුස්ලිම්ද  මිනිස්සු අතුරුදහන් වෙච්ච අයට දැනෙන දුක වේදනාව එකයි. මේ හැම කෙනෙක්ගේම ගලායන ලේ එක පාටයි. කඳුළු එකයි. ඉතිං එහෙම නම් මට කොතන හරි මොහොතක් ලැබෙනවා නම් ඒ මොහොත මගේ සැමියා විතරක් නෙවෙයි පොදු අරගලය වෙනුවෙන් මම භාවිතා කරන්න පැකිලෙන්නේ නැහැ.

එළඹෙන 24 වෙනදාට ප්‍රගීත් අතුරුදහන් වෙලා වසර 11 ක් පිරෙනවා. මේ වෙද්දි අපි නැවත වතාවක් වටයක් කැරකිලා හිටපු තැනටම ඇවිදින් නේද?

අපි වටයක් කැරකිලා නැවතත් හිටපු තැනටම ආව කියලා ඔයා කිව්වා. මම හිතන්නේ අපි 2010 හිටියට වඩා ඉතාම නරක තැනකට තමයි අද ඇවිල්ල තියෙනවා. මොකද 2010 දී මේ රටේ විශාල වශයෙන් මිනිසුන් අතුරුදහන් වුණා. මරාදැම්මා. දූෂණ-වංචා සිදුවුණා. මේ සියලු දේවල් තිබ්බත් මහින්ද රාජපක්ෂ දේශපාලනඥයෙක්. දේශපාලනය දන්න නායකයෙක්.  අනිත් කාරණාව ඒ කාලේ මේ රටේ යම් තරමකට ස්වාධීන ආයතන තිබ්බා. ඒ තියෙන පොඩි ඉඩ හරි පාවිච්චි කරලා තමන් ස්වාධීනව කටයුතු කරන්න ඕනෑ කියලා හිතන මිනිසුන් හිටියා. ඉතින් ඒ අයට කිසියම් වූ ශක්තියක් තිබ්බා එකට ගොනු වෙලා වැඩ කරන්න. අද අපි පත්වෙලා තියෙන තත්ත්වය ඉතාම බිහිසුණු තත්ත්වයක්, මොකද බිහිසුණු කියන්නේ මේ රටේ නායකයා වෙලා ඉන්නේ දේශපාලනය නොදන්න කෙනෙක්.

පුරවැසියෙක් විදිහට මවක් විදිහට මේ රට ගැන ඔබට දැන් දැනෙන හැඟීම වචන කළොත්..

කවදාවත් දියුණුවෙන්නෙ නැති රටක්. මේ රටේ ඉපදෙන දරුවන් ගැන හරිම දුකයි.  මේ රටේ පාලකයන්ට අවශ්‍ය වහල්ලු. ඒ වහලුන් සම්පාදනය කරමින් ඉන්නවා. නමුත් ඒකට අපි වගකිව යුතුයි කියන එක මම දන්නවා. මොකද විශේෂයෙන්ම පහුගිය කාලේ, පහුගිය අවුරුදු පහ තුළ අවස්ථාව තිබුණ කාලෙදිවත් මේ රටේ පොදු ජනතාව දේශපාලනිකව නිවහල් මිනිසුන් කරන්නම්, නිදහස්ව හිතන්න පුළුවන් මිනිස්සු බවට පත් කරන්න අවශ්‍ය දේශපාලන දැනුම ලබා දුන්නේ නැහැ. මේ රටේ මානව හිමිකම් ක්‍රියාධරයන් වගේම සිවිල් සංවිධාන ඒකට වගකිව යුතු වෙනවා.

කේ. සංජීව

Social Sharing

Related posts