ලංකාවේ දූපත් චීනයට, ඉංදියාවට මොනා වෙයිද?

ලංකා විදුලිබල මණ්ඩලය විසින් ආසියානු සංවර්ධන බැංකු අරමුදල් යටතේ විදුලි බලය සැපයීමේ විශ්වාසනීයත්වය වැඩිදියුණු කිරීමට සහාය වීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර ඒ් යටතේ වර්තමාන විදුලිබල ජාලයේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරිම සඳහා සුලබව පවතින බලශක්ති සම්පත් උපයෝගී කර ගනිමින් නාගදීපය, ඩෙල්ෆ්ට්  හා අනලතිව් යන දූපත් දෙමුහුන් පුනර්ජනනීය බල ශක්ති පද්ධති ස්ථාපිත කිරිම සඳහා ජාත්‍යන්තරව ලංසු කැඳවා තිබුණි.

ඒ අනුව අමාත්‍ය කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි  අදාල කොන්ත්‍රාත්තුව චීනයේ M/S Sinosoar – Etechwin Joint Venture  වෙත ලබා දීමට විදුලිබල බලශක්ති අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඉදිරිපත් කර තිබු යෝජනාවට පහුගිය ජනවාරි 18 දා කැබිනට් අනුමැතිය ලැබී තිබුණේය.

රජයේ මේ තීරණයත් සමඟ ඉන්දියාව දැඩි ලෙස විරෝධය පළ කර තිබුණි. ඒ්  ඉන්දියාවට කි.මී. 48ක් දුරින් ඇති ස්ථානයක චීන ව්‍යාපෘති ක්‍රියාත්මකවීම තම ආරක්ෂාවට බරපතල තර්ජනයක් බව පවසමිනි.

ඩෙල්ෆ්ට්, නයිනතිව් හා අනලතිව් දූපත්වල පුනර්ජනනීය විදුලි බලාගාර ඉදිකිරීමේ ටෙන්ඩරය චීන සමාගමක් වෙත ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබාගන්නා ණයක් මත සිදුකරන ඩොලර් මිලියන 12ක ව්‍යාපෘතියක් වශයෙනි.

බලශක්ති ව්‍යාපෘතියේ දේශීය හවුල්කරු වන ලංකා විදුලිබල මණ්ඩලය චීනයේ එටෙක්වින් සමාගම සමඟ හවුල් ව්‍යාපාරයක් සඳහා ඉඩම් හඳුනා ගැනීමෙන් පසුව ව්‍යාපෘතියට අදාළ කරුණු අවසන් කර ඇත.

උතුරු පළාතට අයත් දූපත් සමුහය අතර ඩෙල්ෆ්ට් දූපත, අනලතිව් දූපත සහ නයිනතිව් දූපත්ද පිහිටා ඇත්තේය. මේ දූපත් සමූහය අතීතයේ දී සිංහල රාජ්‍යය යේ අණසකට නතුව පැවණි. 1638 මැයි මස 18 වැනි දින මඩකලපුව කොටුව ලන්දේසීන් විසින් අල්ලා ගනීමත් සමඟ රසික්‌ලොප් වෑන් හොයන්ස්‌ නම් සෙනෙවියා යටතේ ක්‍රියාත්මක වූ හමුදා කණ්‌ඩය විසින් මන්නාරම, යාපනය යන බලකොටු අල්ලා ගැනීමට සැලසුම් සකස් කළේය. 1658 දී ලන්දේසීන් විසින් මහත් පරිශ්‍රමයක් යොදා යාපනය කොටුව අල්ලා ගත්තේය. යාපනය අර්ධද්වීපයේ බලය තහවුරු කිරීමත් සමඟ දූපත් සමූහයේ බලය ද ඔවුන් සතුවිය. ඒ් අතර චිරුතිව් හෙවත් සිරුතිව්, එලුවයිතිව්, කුච්චතිව්, කාරතිව්, කනන්තිව්, කරයිතිව්, කයිට්‌ස්‌, කුරිකඩ්ඩුවන්, මන්ඩතිව්, නඩුතුරුතිව්,  පලායිතිව්, පරට්‌ටිතිව්, පුලියන්තිව්, පුන්ගුඩතිව් හා තෝරට්‌ට පූට්‌ටු යන දුපත්ද විය.

දුපත් ජනගහනයෙන් වැඩි කොටසකට නිවෙස් වූ දුපත් දෙකක් වන්නේ පුන්ගඩිතිව් හා වෙලනායි (Leidel ලෙස ලන්දේසි භාෂාවෙන් හැඳින්වේ) යන විශාල දූපත් දෙකය.

යාපනය අර්ධද්වීපයේ පිහිටි දූපත් 11න් මේ වන විට ජනාවාස වී ඇත්තේ දූපත් 7ක් පමණි. ඒ කුරිකට්ටුවාන්, නාගදීපය, ඩෙල්ෆ්, අනලතිව්, එළුවතිව්, කයිට්ස් සහ කරෙයිනගර්ය. එයින් ඇතැම් දූපත් සඳහා කෘත්‍රිම ගොඩබිම් මාර්ග විවෘතව පැවතියද ඇතැම් දූපත්වලට ප්‍රවේශ විය හැක්කේ මුහුදු මාර්ගයෙන් පමණි. කෙසේනමුත් අනාදිමත් කාලයක සිට මගී ප්‍රවාහන යාත්‍රාවල සහ ජැටිවල පවතින තාක්ෂණික ගැටළු හේතුවෙන් මගී ප්‍රවාහනය බොහෝවිට අනාරක්ෂිතව පවතී.

  1. ඩෙල්ෆ්ට්

ඩෙල්ෆ්ට් දූපත ඉන්දියානු වෙරළබඩ නගරයක් වන රාමේෂ්වරම් සිට කිලෝමීටර් 48 ක් දුරින් පිහිටා ඇත. අනෙක් දූපත් සමුහය අතරින් විශාලත්වයෙන් තෙවැනියා වන්නේ ඩෙල්ෆ්ය. මෙම දුපත දමිළ බසින් නෙඩුන්තිව් යනුවෙන් හැඳින් වේ. වර්ග කිලෝමීටර් 50ක වපසරියකින් යුතු මේ දූපත දිගින් කිලෝමීටර් 08ක්‌ පමණ වේ. පළලින් කිලෝමීටර් 06ක්‌ පමණවන මෙම දූපත ලන්දේසීන් විසින් හැඳින් වූයේ ඩෙල්ෆ්ට්‌ (Delft) යනුවෙනි. ඩෙල්ෆ්ට්‌ යනු එදා ඕලන්දයේ පිහිටි නගරයකි. යාපනය අර්ධද්වීපයේ බටහිර දෙසින් පිහිටා ඇති මේ දූපත ඉලිප්සියාකාර හැඩයකින් යුක්තය. තැනිතලා බිමක්‌ සහිත මෙය වගුරු බිම්වලින් සුසැදි මනරම් වෙරළ තීරයකට උරුම කම් කියන්නකි. වැලි සහ හුණුගල් සහිත පසක්‌ ඇති මෙහි තිබෙන පාෂාණ මයෝසීන යුගයට අයත් බව පැවසෙයි.

මෙම දුපතේ අනන්‍යතාව වන්නේ බයෝබැබ් ගස සහ හුණුගල්ය. හුණුගල් තට්ටු දූපත පුරා විහිදි ඇත. තල් අතු පැලක් හෝ හුණුගලින් බැඳි කුඩා නිවාස මෙහි ඇති අතර මේ නිවෙස් වලට විදුලිය සැපයෙන්නේ ඩීසල් ජෙනරේටර් වලිනි.  පානිය ජලය සපයා දීම නාවික හමුදාව විසින් සිදු කරනු ලබයි.  ඩෙල්ෆ් දුපත වඩාත් ලස්සන වන්නේ එහි සිටින කැලෑ පෝනියන් නිසාය. මෙම දුපතට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයක් හා ප්‍රාදේශිය සභාවක්ද ඇත.

නාගදීපය

යාපනය නගරයෙන් කිලෝමීටර් 32ක් පමණ දුරින් පිහිටි නාගදීපය සම්පූර්ණයෙන්ම මුහුදින් වටවූ දූපතකි. මෙය බෞද්ධ, හින්දු, ඉස්ලාම් හා කතෝලික සිද්ධස්ථානවලින් යුතු බෞද්ධයින්ගෙන් තොර දූපතක් ලෙස සැලකේ.

නාගදීප දූපත බුදුන් වැඩි අවධියේදී හඳුන්වා දී ඇත්තේ ‘මණිනාගදීප’ නමිනි.  පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි පාලන සමයේදී ලංකාවේ තිබූ බොහෝ වෙ‍ෙහර විහාර විනාශයට පත්කළහ. එම කාලසීමාවේදී නාගදීප විහාරස්ථානය ද ඔවුන්ගේ බලපෑම් හේතුවෙන් විනාශයටපත් විය. වසර 400ක් තරම් දීර්ඝ කාලයක් බෞද්ධ ජනතාවට නාගදීපය වන්දනා කිරීමට අහිමිව නාගදීපය තිබූ ස්ථානයක්වත් සොයා ගැනීමට නොහැකි තත්ත්වයට පත් විය. වර්ෂ 1931 දී අම්බලන්ගොඩ, රන්දොඹේ සෝමසිරි තිස්ස නම් මහා තෙරුන් වහන්සේ විසින් බොහෝ දුක්ගැහැට විඳ යාපනයට පැමිණ නාගදීපය සොයා ගෙන බෞද්ධයන්ට අහිමිව තිබූ උතුම් පුණ්‍ය භූමියක් වන්දනාමාන කටයුතු සඳහා නැවත එළි පෙහෙලි කර දුන්හ. උන්වහන්සේගේ ව්‍යායාමය වූයේ කාලයේ වැලිතලාවෙන් වැසී අහිමිව යන බෞද්ධ පිංබිම් සොයා ප්‍රතිසංස්කරණය කිරිමය.

ඒ අනුව නාගදීප විහාරස්ථානයේ භාරකාරත්වය බලපිටිය, බ්‍රාහ්මණවත්තේ ධම්මකිත්ති තිස්සාභිධාන මහා නායක මාහිමිපාණන් වහන්සේ වෙත පවරා දෙන ලදී. ඉන් අනතුරුව මහ නායක මාහිමිපාණන් වහන්සේ නාගදීප විහාරස්ථානය ආරක්ෂා කර ගනිමින් රැකබලා ගන්නා ලදී. වර්ෂ 1983 ජූලි කලබලයෙන් පසු වසර 30කට ආසන්න කාලයක් අති දුෂ්කර ජීවිතයක් ගත කරමින් නාවික හමුදාවේ සිව්පස උපස්ථානයන් ලබා ගනිමින් මහ නාහිමිපාණන් නාගදීප විහාරස්ථානය රැකබලා ගන්නා ලදී. 2003 අප්‍රේල් මස 15 වන දින උන්වහන්සේගේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ විහාරාධිපති ධුරය සඳහා වර්තමාන විහාරාධිපති, උතුරු පළාතේ ප්‍රධාන සංඝනායක, පූජ්‍යපාද නවදගල පදුමකිත්ති තිස්ස නාහිමිපාණන් වහන්සේ පත් කරන ලදී. උන්වහන්සේගේ කෙටි කාල සීමාව තුළදී සුවිශාල වූ සංවර්ධනයක් නාගදීප විහාරස්ථානයේ සිදු කරන ලදී.

අනලතිව්

මෙම දුපතද යාපනයේ ඇති වැදගත්ම දුපතකි. මෙහි ඒළුචතිව් වලට වඩා ජනතාවක් ජිවත් වන අතර තරමක පහසුකම්ද ඇත. මෙහි ජනගහනය 3000 කට ආසන්න සංඛ්‍යාවක් සිටින අතර දුපත වර්ග කිලෝමිටර් 5/21 ක වපසරියකින් යුක්තය.

මෙහි පාසල් දෙකක්, කෝවිල් 67 ක් හා පල්ලි 02 ක් පිහිටා ඇත. මෙම දුපත්වාසීන්ගේ ප්‍රධානතම වාහනය වන්නේ අත්ට්‍රැක්ටරය වේ.

අනුමැතිය නැහැ

මෙලෙස වටිනාකම් රැසකින් සමන්විත මෙකී දුපත් තුනේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මෙතෙක් මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් හෝ මධ්‍යඹ පරිසර අධිකාරියෙන් අවසර ලබාගෙන නැතැයිද සති අන්ත ලංකා පුවත්පත හෙළිකර තිබුණි.

රජයේ ස්ථාවරය

මෙම දූපත් තුන චීනයට ලබා දීම ගැන මේ වන විට ඉන්දියාව ලංකාවට අනතුරු අඟවා සිටින පසුබිමක පහුගියදා කොළඹ පැවති මාධ්‍ය හමුවකදි අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතාගෙන් මාධ්‍යවේදියෙකු ඇසුයේ මේ ව්‍යාපෘතිය ජනාධිපතිවරයාගේ සෞභාගයේ දැක්මේ තිබු එකක්ද යන්නනය.

මෙහිදි මන්ත්‍රීවරයා පැවසුයේ එකින් එක එහි සඳහන් කර නැති නමුත් එහි සඳහන් ආයෝජන අතරට මෙයද අඩංගු බවය. මෙහිදි දුපත් තුනම ආයෝජනය වන්නේ චීනයේනද? ඉන්දියාවෙන්ද යන්න ගැටලුවක් නැතැයිද ඔහු එහිදි වැඩිදුරටත් කියා තිබුණි.

සේවක සංගම් කථා

මේ අතර මේ දෙමුහුන් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ලංකා විදුලි පොදු සේවක සංගමයේ සභාපති මාලක වික්‍රමසිංහ මහතා අයිතිය වෙත ප්‍රකාශ කර සිටියේ මේ ව්‍යාපෘති ගිවිසුම වහා රටට හෙළි කළ යුතු බවය. එමෙන්ම මෙහිදි ලබා ගන්නා විදුලි ඒ්කකයක මිල ප්‍රකාශයට පත් කරන ලෙසද ඔහු රජයට කියා සිටියි.

ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා පවසන්නේ මේ දුපත් තුන චීනයට ලබා නොදිය යුතු බවය. රජයට ආයෝජනය කිරිමට හැකිව තිබියදි මෙය චීනේට ලබා දිමෙන් සිදුවන්නේ රට අවධානමකට ලක් කිරිමක් යැයි ඔහු පවසයි.

නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබා නොදිමේ තීරණයත් සමඟ මේ අවස්ථාවේ ඉන්දියාව මෙරටත් සමඟ සිටින්නේ හිත හොඳකින් නොවන බවත් මේ දුපත් තුන චීනයට ලබා දුන්නහොත් ඉන් වැඩිම බලපෑම වන්නේ ඉන්දිය ආරක්ෂක කලාපයට නිසා ඉන්දියාව තවත් ලංකාව සමඟ වෛර බැඳ ගනු ඇතැයි ඔහු පෙන්වා දෙයි.

මේ රජය වැඩ කරන්නේ කිසිදු දැක්මක් නැතිව බවද පවසන ඒ් මහතා සිහිපත් කර සිටියේ හම්බන්තොට වරාය බදු දුන් අවස්ථාවේ ඊට මඳක් ඔබ්බෙන් පිහිටි සුළං විදුලි බලාගාරයද අවසානයේ චීනයට අයිති බව පවසා ඊට විදුලිබල මණ්ඩලයෙන් බද්දක් ඉල්ලා සිටි හෙයින් සුළං බලාගාරය යකඩ වලට විකිණිමට සිදු වු බවය.

ශානි

Social Sharing

Related posts