පොලිස් ඇමැතිගේ නව ප්‍රතිපත්තිය, යුක්තිය පසිඳලීමට කරන මරු පහරක්!

අත් අඩංගුවට ගන්නා සැකකරුවන්ගේ ඡායාරූප සහ විස්තර මින් ඉදිරියට මාධ්‍යයට නිකුත් කිරීමට පොලිසිය බාර අමාත්‍යවරයා ගෙන ඇති තීරණය රටේ ඉහලම  නීති උපදේශකයන්ගේ සහ සිවිල් සමාජ ක්‍රියාධරයන්ගේ හෙලා දැකීමට ලක් වද්දී, අමාත්‍යවරයාගේ ප්‍රකාශය මාධ්‍ය නිරීක්ෂකයන් විසින් සමාජ සංවාදයකට ලක් කර තිබේ.

මහජන ආරක්ෂාව පිළිබඳ රියර් අද්මිරාල් සරත් වීරසේකර අමාත්‍යවරයා සිදු කිරීමට යන ක්‍රියාව යුක්තිය පසිඳලීමට එල්ල කරන මරු පහරක් ලෙසින් අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රධාන නීති උපදේශකගේ හෙලා දැකීමට ලක්වෙද්දී මාධ්‍ය හමුවක් පවත්වමින් අලුත් පියාපත් සංවිධානය පවසා තිබුනේ සැකකරුවන්ගේ ඡායාරූප සහ විස්තර  මාධ්‍යයට නිකුත්  කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි මෙන්ම පුද්ගලික අයිතීන් උල්ලංඝනය කිරීමක් ලෙසිනි.

රජයක් ලෙස ජනතාවගේ අයිතින් උල්ලංඝනය වන යෝජනා ගෙන ඒම පිළිබදව කණගාටු වන බව අලුත්  පියාපත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජිකා ව්‍රායි  කැලි බල්තසාර් සඳහන් කළේ දෙසැම්බර් 21 සඳුදා කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීය.

මේ මොහොතේ බලයෙන් මත්වී සිටින රජය ප්‍රජාතන්ත්‍රවාදය යන වචනයේ අකුරු ටිකවත් ගණන් නොගන්නා තත්වයක් මතුවී ඇති බවත්  ඇය එහිදී අවධාරණය  කළාය.

සැකකරුවන් සම්බන්ධයෙන් නීතිමය  තීරණ ගත යුත්තේ අධිකරණය විසින් පමණක් විනා ජනමාධ්‍ය මෙහෙයුම් වලින් නොවන බව සිවිල් ක්‍රියාධාරීහු පෙන්වා දෙති.

ජනමාධ්‍ය දඩයම් මගින්  එල්ලුම් ගසට යවන ලද පුද්ගලයන් නිර්දෝෂි ලෙස නිදහස්ව ගිය  ඉතිහාසයක් මෙරට තුළ පවතින බවත් අලුත්  පියාපත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජිකා ව්‍රායි  කැලි බල්තසාර් මාධ්‍ය හමුවේදී  පෙන්වා දුන්නාය. ඒ සදහා ඇය නිදසුන් ලෙස  ගෙනහැර දැක්වුයේ  ගම්පහ ප්‍රදේශයේ මීට වසර කිහිපයකට පෙර සිදු වු සිදුවීමකි.

“එතකොට ඒ මරණය සිදු කළේ වෙන පුද්ගලයෙක් කියා පස්සේ ඔප්පු උනා‌. හැබැයි ඒ වෙන කොට අර මුලින් සැක කරපු මනුස්සයාගේ ජීවිතය ඉවරවෙලා තිබ්බා. මාධ්‍යයෙන් වළලන චරිත ආයි නැවතත් ගොඩ ගන්න එම මාධ්‍යම හුඟක් දුරට යොමු වෙන්නේ නැහැ.”

පසිඳලීමට කරන මරු පහරක්

සැකකරුවන්ගේ ඡායාරූප මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කරන බවට මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර සිදු කළ ප්‍රකාශය අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රධාන නීති උපදේශක ජනාධිපති නීතිඥ උදය රොහාන් ද සිල්වාගේ දැඩි හෙලා දැකීමට ලක්ව තිබුනි.

“අපේ නීතියේ සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කරන තුරු යම් පුද්ගලයෙක් නිවැරදිකරු බව ප්‍රකාශ කර තිබියදී පොලීසිය භාර අමාත්‍යවරයා මෙලෙස කෙටි ක්‍රමයකින් එතුමාගේ, මා දන්නෑ නොදනුවත් කමද එසේ  නැත්නම් ඒ ගැන අවබෝධයකින් තොරව කරන ක්‍රියාවක්ද කියන එක සම්බන්ධව, එතුමා කරන්න යන මේ ක්‍රියාව තරයේ හෙලා දැකිය යුතු දෙයක්. මේක යුක්තිය පසිඳලීමට කරන මරු පහරක්.මෙයට හේතුව මේ අයගේ ඡායාරූප ඉදිරිපත් කිරීම තුළ අවසාන වශයෙන් ඔවුන් වරදකරුවන් බවට පත් කර ඉවරයි. ඉතින් ඒ නඩුව තව දුරටත් පවත්වාගෙන යන්න අවශ්‍යතාවයක් නැති තත්වයකට පත් කරනවා.” ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා මාධ්‍ය හමුවක් කැදවමින් පසුගියදා පවසා තිබුනි.

සැකකරුවකුගේ ඡායාරූප ප්‍රසිද්ධියට පත් කිරීම හඳුනා ගැනීමේ පෙරෙට්ටු වලට බලපෑමක් වන බවද අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රධාන නීති උපදේශකයා පෙන්වා දුන්නේය.

ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා

Social Sharing
නවතම