රන්ජන්ගේ මන්ත්‍රීධූරයෙන් හෙළි වන විපක්ෂයේ දේශපාලන පෞරුෂයේ ගැටළුව?

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ මන්ත්‍රීධූරය අහෝසි කිරීම සඳහා කතානායකවරයා යොදා ගනිමින් ආණ්ඩුව සිදු කරන ලද නිර්ලජ්ජිත උත්සහය පසුගිය කාල සීමාව පුරාවට දැකිය හැකි විය. ආණ්ඩුව මෙම ක්‍රියාව සිදු කලේ මිනීමැරුම් චෝදනාව මත මරණීය දණ්ඩනයට නියම වූ මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකරට මන්ත්‍රීධූරයේ දිවුරුම් දීමට ඉඩ ලබා දී සමස්ත පාර්ලිමේන්තු ඉතිහාසයටම කැළලක් එක් කිරීමට කටයුතු කර තිබියදීය. එකී දිවුරුම් දීම විදෙස් මාධ්‍යයන්ගේද අපූරු සිරස්තලයන්ගෙන් වාර්තා කරමින් ලංකාවේ දේශප්‍රේමයේ තරම මැනවින් ලෝකයට වටහා දී තිබුණි. කතානායකවරයාගේ නිර්ලජ්ජිත ස්වරූපය එළිදරව් වුනු ප්‍රධාන සිදු වීමක් ලෙස එකී දිවුරුම් දීම හැඳින්විය හැක. එකී කතානායකවරයාට කිසිදු අභියාචනා අවස්ථාවක් නොමැති දණ්ඩනයකට ලක් වී සිටින රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ මන්ත්‍රී ධූරය අහෝසි නොකර ඔහුට නිවාඩු අනුමත කරමින් කටයුතු කල හැකිව තිබුණි. නමුත් ඔහු එලෙස ක්‍රියාත්මක නොවුනි.

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව මගින්ම සම්මත කරන ලද ICCPR පනතේ පැහැදිලිවම දක්වා ඇත්තේ සෑම නඩු තීන්දුවකටම අභියාචනා කිරීමේ අයිතිවාසිකම තහවුරු කරන බවයි. ඒ අනුව ICCPR පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට ලැබිය යුතු අභියාචනා අයිතිවාසිකම අහිමි වී ඇත. කතානායකවරයා ගෞරවනීය ලෙස සිදු කල යුතුව තිබුණේ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ මන්ත්‍රීධූරය ආරක්ෂා කරමින් අධිකරණ අපහාය පිළිබඳ සංවිධිත නීති රාමුවක් ගොඩ නැගීමට පාර්ලිමේන්තුවට යෝජනා කිරීම හා එයට නායකත්වය දීමයි. වත්මන් කතානායකරයාගෙන් හෝ ආණ්ඩුවෙන් එවන් පියවරක් කිසිසේත් අපේක්ෂා කල නොහැකිය.

විපක්ෂයේ භුමිකාව

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් විපක්ෂය පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් විශාල ඝෝෂාවක් කරනු දැකිය හැකි විය. වර්තමානය දෙස බැලූ කල එම ඝෝෂාව අවස්ථාවාදී ඝෝෂාවක් බව පැහැදිලි වී ඇත. රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ මන්ත්‍රී ධූරය අහෝසි කල ලිපිය මැතිවරණ කොමිසමට ඉතා හදිසියෙන් යොමු කරද්දී විපක්ෂය සෑහෙන්න ඝෝෂාවක් පාර්ලිමේන්තුව තුළ සිදු කරන ලදී. පාර්ලිමේන්තු කටයුතුවලට දැඩි ලෙස බාධා කරමින් හැසිරුනු විපක්ෂය දුටු කල සිතට නැගුනේ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ මන්ත්‍රී අසුන වෙනුවෙන් විපක්ෂය ආණ්ඩුව සමග මුහුණට මුහුණ මාරාන්තික සටනක් සිදු කරනු ඇත යන්නයි.දිනයක් ගත වන විටම සමගි ජන බලවේගයේ අජිත් මාන්නප්පෙරුම මහතා මන්ත්‍රීවරයකු ලෙස රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ මන්ත්‍රී අසුන අහිමි කිරීම නිසා පුරප්පාඩු වූ මන්ත්‍රී අසුන වෙනුවෙන් දිවුරුම් දෙන ලදී.

එකී දිවුරුම් දීම වළක්වමින් අඩු තරමේ මන්ත්‍රී අසුන අහිමි වීම සිදුවන මාස තුනක කාලය හෝ මන්ත්‍රී ධූරයේ දිවුරුම් නොදී ආණ්ඩුව සමග සටනක් කිරීමට තරම්වත් පරිණත බවක් විපක්ෂයට නොතිබුණි. විශේෂයෙන් විපක්ෂ නායකවරයා අජිත් මාන්නප්පෙරුම මන්ත්‍රීවරයාට දිවුරුම් නොදී සිට දේශපාලන ක්‍රියාමාර්ගයක් ගැනීමට යෝජනාවක් හෝ සිදු කල බවක්ද වාර්තා නොවුනි. විශේෂයෙන් විපක්ෂ නායකවරයාට එවන් යෝජනාවක් මන්ත්‍රීවරයකුට සිදු කිරීමට තරම් දේශපාලන පෞරුෂයක් හෝ නොමැත. ඔහු තවමත් දේශපාලනය කරමින් සිටින්නේ රනිල් වික්‍රමසිංහ සමග පක්ෂ නායකත්වයට පොර ඇල්ලූ ආකාරයටය. ඔහුගේ මන්ත්‍රීවරුන් එ.ජා.පයට හෝ ආණ්ඩුවට යනු ඇතැයි යන බිය ඔහුගේ හිත තුළ හොල්මන් කරන බව පෙනේ.

විශේෂයෙන් විපක්ෂ නායකවරයාගේ ආණ්ඩු විරෝධයද ආණ්ඩුවට එරෙහි බරපතළ මතවාදී ප්‍රහාරයක් නොව ආණ්ඩුවේ මතවාදය තුළ ඉදිමන් සිදු කරන සරළ ප්‍රහාරයකි. එ.ජා.පයෙන් ගැලවුනු සිංහල බෞද්ධ ඡන්ද ෂේප් කර ගැනීමට එකී මතවාදය වෙනුවෙන් කටයුතු කිරීමට සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා කටයුතු කල ආකාරය දක්නට ලැබුණි. කොවිඩ් මෘත දේහ භූමදානයට ඉඩ නොදීමේ තීරණයට ඔහුගේ විරෝධය ඉතාම අවස්ථාවාදී ෂේප් එකක් විය. විපක්ෂ නායකවරයා හා ඔහුගේ හිතවතුන් ආණ්ඩුවේ ක්‍රියාමාර්ගයන්හිදී හැසිරෙන්නේ පටු අවස්ථාවාදී ආකාරයටය. ආණ්ඩුවේ සිංහල ස්වෝත්තමවාදී මතවාදයට එරෙහි මතවාදයක් ගොඩනගනවා වෙනුවට ඔහු කටයුතු කරන්නේ මේ මොහොතේ අධිපති වී ඇති ආණ්ඩුව බලයට ගෙන ආ මතවාදයට සහය වෙමින් අවස්ථාවාදී ලෙස බලය ලබා ගැනීමටය. මේ අපරිණත අවස්ථාවාදී ස්වරූපය රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ සිදු වීමේදී විපක්ෂ නායකවරයා මෙන්ම ඔහුගේ මන්ත්‍රීවරුන්ද පෙන්නුම් කරන ලදී.

අධිකරණ අපහාස නීතිය පිළිබඳ විපක්ෂයේ යෝජනා කෝ

ආණ්ඩුවේ ආර්ථික හා දේශපාලන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විපක්ෂය මැදිහත් වීම හුදු රාජපක්ෂ කඳවුර සිදු කල අවස්ථාවාදී ආකාරයට සිදු නොකල යුතුය. රාජපක්ෂ කඳවුර පසුගිය පාලනයට එරෙහිව අවස්ථාවාදී ලෙස සිදු කරන ලද විරෝධතාවන්හි ප්‍රථිපලයට මේ මොහොතේ ඔවුන් බලයට පත්ව  ආණ්ඩු කරද්දී මුහුණ දෙමින් තිබේ. ඔවුන් ගොඩ නැගූ අවස්ථාවාදී මතවාදයන් අද ඔවුන්ට අභිමුඛ වී තිබේ. විශේෂයෙන් තාක්ෂනය දියුණු සමාජ මාධ්‍ය බලවත් ලෝකයක තවදුරටත් අවස්ථාවාදී දේශපාලන විරෝධතාවන්ට පැවැත්මක් නොමැත.

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ මන්ත්‍රීධූරය සම්බන්ධ කාරණාව තුළ ශ්‍රී ලංකා නීති ක්ෂේත්‍රයේ බරපතළ හිඩැසක් සාකච්ඡා විය. ඒ අධිකරණ අපහාසය සම්බන්ධයෙන් සංවිධිත නීති රාමුවක් නොමැති වීමයි. පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් අදහස් දැක්වූයේ හා අධිකරණ අපහාසය සම්බන්ධ නීතියක් සම්පාදනය කල යුතු බවට පාර්ලිමේන්තුවට යෝජනා කලේ දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා පමණි. විපක්ෂ නායකයාගේ නායකත්වයෙන් විපක්ෂය සාකච්ඡාවට ගත යුතුව තිබුණේ මෙයයි. රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ මන්ත්‍රීධූරයේ කිසිවකු දිවුරුම් නොදී මෙම සාකච්ඡාව ඉදිරියට ගැනීමට විපක්ෂයට ඕනෑ තරම් අවකාශයක් විවෘත වී තිබුණි. නමුත් එම අවකාශය දේශපාලනිකව මෙන්ම පරිණත ආකාරයෙන් යොදා ගැනීමට විපක්ෂ නායකවරයා හා ඔහුගේ මන්ත්‍රීවරුන්ට නොහැකි වී තිබුණි.

ඔවුන් යොදා ගත් උපක්‍රමය වූයේ මීඩියා ෂෝ එකක් කරමින් ඝෝෂා කරමින් අවස්ථාවාදී විරෝධයක් දැක්වීම පමණි. එකී විරෝධය පිළිබඳ ප්‍රවෘත්ති පළ වී අවසන් වීමටත් පෙරම අජිත් මාන්නප්පෙරුම මහතා මන්ත්‍රී ධූරයේ දිවුරුම් දෙමින් විපක්ෂ නායකවරයා හා ඔහුගේ විපක්ෂ මන්ත්‍රීවරුන් නිරුවත් කිරීමට සමත් විය. විපක්ෂ නායකවරයාට එකී දිවුරුම් දීම වැළැක්වීමේ දේශපාලන පෞරුෂයක් නොතිබුණි. නායකත්ව සටනේදී වහසි බස් දෙඩුවද  නායකයාට මෙවන් අවස්ථාවකදී ක්‍රියාත්මක වීමේ දේශපාලන පෞරුෂයක් තිබිය යුතුය.

මීඩියා ෂෝ විපක්ෂයක්?

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සම්බන්ධ කාරණාවක් විවාද කරද්දී ආණ්ඩු පක්ෂයෙන් විපක්ෂයේ එක් මන්ත්‍රීවරයකුට චෝදනා කලේ මීඩියා ෂෝ කාරයකු කියාය. ආණ්ඩුවද මීඩියා ෂෝ එකකි. ඒ මන්ත්‍රීවරයා පමණක් නොව විපක්ෂ නායකවරයා ඇතුළු සමගි ජන බලවේගයම මීඩියා ෂෝ එකක් වී ඇත. මේ ආණ්ඩුව ගොඩ නැගුවේද මීඩියාය. විපක්ෂය ගොඩ නැගුවේද මීඩියාය. මේ කණ්ඩායම් දෙකටම නිසි දේශපාලන පෞරුෂයක් නැත්තේ ඒ නිසාය. ආණ්ඩුව ගැන කතාව පසෙක තබා විපක්ෂයේ හිසිරීම සලකා බලමු. විපක්ෂ නායකතුමා මෙන්ම වර්තමාන විපක්ෂය බිහි කලේ මීඩියාය. මීඩියා සඳහා අවශ්‍ය හරයාත්මක විපක්ෂයක් නොව මීඩියා ෂෝ වෙනුවෙන් සැදී පැහැදී සිටින විපක්ෂයකි. රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා හා ඔහුගේ මන්ත්‍රීන් ගෙන ගියේ අවංක විරෝධයක් නොව මීඩියා ෂෝ විරෝධයක් බව දැන් පැහැදිලිය. ඒ සඳහා අවංක විරෝධයක් ගොඩ නගමින් එකී ගැටළුව ජාතික මට්ටමේ සාකච්ඡාවකට ගෙන ඒමට තරම් දේශපාලන පෞරුෂයක් විපක්ෂ නායකවරයාට නැත.

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ මන්ත්‍රී අසුන අහිමි කරන බවත් එහිදී ඒ අවස්ථාව අජිත් මාන්නප්පෙරුම මහතාට උදා වන බවත් දේශපාලනය තේරෙන ඕනෑම අයකුට කල් තියා වැටහේ. එසේ නම් මේ අවස්ථාවේදී ගත යුතු ක්‍රියාමාර්ගය කල් තියා සාකච්ඡා කර තීරණය කල යුතුව තිබුණු. දේශපාලනික විපක්ෂයක් කටයුතු කරන්නේ එලෙසය. එවන් කිසිදු සාකච්ඡාවක් මේ සම්බන්ධයෙන් සිදු කර නොමැති බව පැහැදිලිය. දැන් හරීන් ප්‍රනාන්දු මහතා මන්ත්‍රී ධූරයෙන් අස් වී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පත් කිරීමේ ක්‍රියාමාර්ගයක් ගන්නා බවට තොරතුරු ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇත. මේ ක්‍රියාමාර්ගයන් සියල්ල සාර්ථක වන්නේ මීඩියා ෂෝ එකකින් ඔබ්බට ගොස් හරයාත්මක ක්‍රියාමාර්ගයක් බවට මෙම ක්‍රියාමාර්ගයන් පත් කිරීමට විපක්ෂ නායකවරයාට දේශපාලන පෞරුෂයක් තිබුණහොත් පමණි.

ගමින් ගමට ගොස් මිනිසුන් හමු වී ජංගම සේවා පැවැත්වීම, සසුනට අරුණ ගෙන ඒම, කොවිඩ් සඳහා බෙහෙත් නිර්දේශ කිරීමට වඩා ඉහත ආකාරයෙන් ගැටළු පදනම් කර ගනිමින් ජනතාව සංවිධානගත කිරීම හා ගැටළු ආමන්ත්‍රණය කිරීමට නිසි දේශපාලන පෞරුෂයක් සහිත නායකත්වයක් ලබා දීම අසීරු කාර්යයකි.  ඇමතිවරයකු හා මන්ත්‍රීවරයකුව සිටියදී සිය දේශපාලනය නායකත්ව පෙරළියකට යෙදෙව්වා මිස ඉහත ආකාරයට ජනතාව සංවිධානගත කිරීමේ ව්‍යාපෘති සඳහා යොදවා නොමැති විපක්ෂ නායකවරයා එකී කාර්යය පුරුදු පුහුණු වන්නේ දැන්ය. දැන් හෝ ඔහු එය හැකි ඉක්මනින් පුරුදු වී මීඩියා අනවශ්‍ය ලෙස විශ්වාස කිරීමෙන් ඉවත්ව සිය දේශපාලන පෞරුෂය ගොඩ නගා ගත යුුතුය. ආණ්ඩුවට මෙන්ම විපක්ෂයටත් නිසි දේශපාලන පෞරුෂයක් සහිත නායකත්වයක් නොමැති වීමේ දේශපාලන අවුලට දැන් අප පත් වී ඇත.

– දුලාන් දසනායක –

Social Sharing
නවතම විශේෂාංග