අභියාචනා කිරීමේ අයිතිය රංජන්ට හිමියි – ජනතා නීතිඥයෝ

ශ්‍රී ලංකාව අත්සන් තබා ඇති ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්තිය අනුව සාපාරාධි වරදක් කළ අයෙකුට ඔහුට ලැබෙන දඬුවමට අභියාචනා ඉදිරිපත් කළ හැකි බවට අප අත්සන් තබා ඇති හෙයින් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාට, තමන්ට ලැබී ඇති දඬුවම සම්බන්ධයෙන් අභියාචනය කිරීමේ අයිතිය හිමිවිය යුතු බව ජනතා නීතීඥයෝ සංවිධානයේ විධායක සභික නීතිඥ මංජු ශ්‍රී චන්ද්‍රසේන මහතා පවසයි.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් මෙරට ඇති නීතිය අපරාධ නීතියේ සිද්ධාන්ත සමග ද ගැටුමක් ඇති කරන බව පෙන්වා දුන් ඔහු පවසන්නේ මෙය වෙනස් කිරීමට පාර්ලිමේන්තුව මැදිහත් විය යුතු බවය.

ඇතැම් අය මේ දඩුවම් ඥාණසාර හිමියන්ට දෙනකොට, එස්.බී දිසානායක මහතාට දෙනකොට කථා නොකළ බවට චෝදනා කර සිටින බවත් නමුත් එස්.බී දිසානායක ඇමතිවරයාට දඬුවම් දෙනවිට අප ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්තියට අත්සන් තබා අභියාචනා කිරීමේ අයිතිය පිලිගෙන නොතිබුනු බවද ඥානසාර හියින්ට මේ නෛතික ගැටලුව මතු නොවුනේ ඔහුට අදඬුවම් ලබා දුන්නේ අභියාචනාධිකරණයෙන් නිසා බවද ඔහු පෙන්වා දෙයි.

“අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් අධිකරණයට සුදුසුයැයි හැඟෙන දඬුවමක් දිය හැකි බවට 105 වගන්තියේ තියෙන සඳහන අපරාධ නීතියත් සමග ගැටීමක් ඇති කරනවා. අපරාධ නීතිය අනුව යමෙක් වරදක් කරන අවස්ථාවේදී ඒ වරදට අදාළ දඬුවම දැනගෙන ඉන්න ඕනෙ. අධිකරණයට අපහාස කිරීම කියන වරද කරන තැනැත්තා දන්නෙ නෑ තමන්ට ලැබෙන දඬුවම මොකක්ද කියන එක. ඒක දැනගන්න වෙන්නෙ අධිකරණය දඬුවම දෙන අවස්ථාවේදී බව නීතිඥ මංජු ශ්‍රී චන්ද්‍රසේන මහතා පවසයි.

2007 අපි එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට අත්සන් කරලා තියෙනවා. ඒ සම්මුතිය පිළිඅරන් තියෙනවා සාපරාධී වරදක් කරන සෑම තැනැත්තෙකුට දඬුවමට එරෙහිව අභියාචනය කිරීමේ අයිතියක් තියෙනවා කියලා. ඒක අපි 2007 අංක 56 සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පනතට ඇතුළත් කරලා තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දඬුවම් දීපු නිසා රංජන්ට මේ අවස්ථාව අහිමි වෙලා තියෙනවා. රංජන්ට තමන්ට ලැබුණු තීන්දුවට එරෙහිව අභියාචන අයිතියක් තිබිය යුතුයි”  ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියි.

මෙම නීති විධිමත් ලෙස සංශෝධනය කිරීමට පියවර ගන්නා ලෙසත් අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතාගෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසුවේය.

ඔවුන් මෙම අදහස් පළ කළේ ජනතා නීතීඥයෝ සංවිධානය විසින් ඊයේ (15) පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

Social Sharing
නවතම