ජිනීවා සමුළුවට ශ්‍රී ලංකාව ගැන කෙරෙන යෝජනා මොනවාද?

Proposals for Sri Lanka at the Geneva Conference

“ශ්‍රී ලංකාවට එරෙහි” යෝජනාවක් ජිනීවා නුවර මුළුදෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 46 වැනි සැසි වාරයට ඉදිරිපත්වී ඇති බව මේ දිනවල ජනමාධ්‍ය ඔස්සේ නිතර කියැවෙන දෙයකි.

ශ්‍රී ලංකාවට පක්ෂව හෝ විරුද්ධව කිසිදු යෝජනාවක් සභාගත වී නැති නුමුත් රටේ මානව හිමිකම් නගා සිටුවීම සඳහා වන යෝජනා කෙටුම්පතක් සාකච්ඡා කිරීම මේ සතියේ ආරම්භ විය.

ඒ ශුන්‍ය කෙටුම්පත (zero draft) යනුවෙන් හැඳින්වෙන ඊට සංශෝධන ගෙන ඒම සඳහාය. මාර්තු 11 දක්වා කාලය තුලදී කෙටුම්පත කිහිප වාරයක් සංශෝධනය විය හැකිය. අවසන් යෝජනා කෙටුම්පත සඳහා ඡන්ද විමසීම නියමිතව ඇත්තේ මාර්තු 22 දාය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම් ලේඛකාධිකාරියට පෙබරවාරි 19 දා භාරදෙන ලද කෙටුම්පත නම් කොට ඇත්තේ   “ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය (Promoting reconciliation, accountability and human rights in Sri Lanka)” යනුවෙනි. යෝජක කණ්ඩායම (core group) වන්නේ කැනඩාව, ජර්මනිය, උතුරු මැසඩෝනියාව, මලාවිය, මොන්ටිනීග්‍රෝව සහ බ්‍රිතාන්‍යය යන සාමාජික රාජ්‍ය හයයි.

ශුන්‍ය කෙටුම්පත ප්‍රාරම්භක ඡේද 15 කින්ද, සක්‍රිය ඡේද 16 කින්ද සමන්විතය.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුවටත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමටත් එම කෙටුම්පත විසින් කර ඇති පහත දැක්වෙන මූලික යෝජනා ඇත්තේ උපුටා ගන්නා ලද්දේ 9 සිට 16 දක්වා වන සක්‍රිය ඡේදවලිනි.

* දීර්ඝ කාලිනව පවත්වාගෙන එන සංකේතාත්මක නඩු ඇතුළුව මානව හිමිකම් කඩ කිරීම් සහ ජාත්‍යන්තර මානව හිමිකම් නීති බරපතල ලෙස උල්ලංඝනය කිරීමේ සියලු චෝදනා සම්බන්ධයෙන් කඩිනම්, අංග සම්පූර්ණ සහ අපක්ෂපාති විමර්ශනයක් සිදු කරන බවත්, අවශ්‍ය වේ නම්, නඩු පවරන බවත් සහතික වන ලෙසට ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියි.

* ජාතික මානව හිමිකම් කොමිසම, අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය සහ හානි පූර්ණ කාර්යාලය යන ආයතනවල පලදායී සහ ස්වාධීන ක්‍රියාකාරිත්වය සහතික කරන ලෙසද  ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියි.

* සිවිල් සමාජ ක්‍රියාකාරීන් ආරක්ෂා කරන ලෙසත්, ඔවුන්ට එරෙහිව එල්ලවන කවර හෝ ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ලෙසත්, අවහිරයෙන්, අනාරක්ෂාවෙන් සහ පළිගැනීම්වලින් තොරව ආරක්ෂාකාරී හා සබල ලෙසින් සිවිල් සමාජයට කටයුතු කළ හැකි පරිසරයක් සහතික කරන ලෙසත් ශ්‍රී ලංකා රජයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

* ත්‍රස්තවාදය වැළක්වීමේ පනත සමාලෝචනය කරන ලෙසත්, ත්‍රස්තවාදයට එරෙහිව ක්‍රියාත්මක කිරීම සඳහා වන කවර හෝ නීතියක් හෝ වේ නම් ඒවා ජාත්‍යන්තර මානව හිමිකම් සහ මානුෂීය නීති වලට අනුකූල බවට සහතික වන ලෙසත් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියි.

* සියලුම ආගමික ප්‍රජාවන්ට සිය ආගම ප්‍රකාශ කිරීමටත්, විවෘතව හා සමානයන් ලෙසින් සමාජයට සමාජයට දායක වීමටත් ඉඩකඩ සලසා දීමෙන් ආගමික නිදහස සහ බහුවිධතාව පෝෂණය කරන මෙන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියි.

* එක්සත් ජාතීන්ගේ විශේෂ විධිනියාම දරන්නන්  (special procedures mandate holders ) ට දක්වන  සහයෝගය දිගටම පවත්වාගෙන යාමටත්, මේතාක් ඉටු නොවූ ඔවුන්ගේ ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමටත් මෙයින් ශ්‍රී ලංකා රජය දිරිමත් කරනු ලැබේ.

* ශ්‍රී ලංකා රජය සමඟ සාකච්ඡා කර ඇති කරගන්නා එකඟතාව මත, උක්ත පියවර ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය උපදෙස් සහ තාක්ෂණික සහය ලබාදීමට මහ කොමසාරිස් කාර්යාලය සහ විශේෂ විධිනියාම දරන්නන්  මෙයින් දිරි ගන්වනු ලැබේ.

* ප්‍රතිසංධානය සහ වගවීමේ ප්‍රගතිය ඇතුළුව, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය පිළිබඳ සොයා බැලීම සහ වාර්තා කිරීම තවදුරටත් ඉහල නංවන ලෙස සහ මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසි වාරයේ දී ලිඛිතව යාවත්කාලින කිරීමක් ඉදිරිපත් කරන ලෙසත් වගවීම තව දුරටත් නගා සිටුවීම උදෙසා වැඩිදුර ගත හැකි විකල්ප ඇතුලත් සවිස්තරාත්මක වාර්තාවක් එහි 51 වැනි සැසි වාරයේ දී ඉදිරිපත් කරන ලෙසත් මහ කොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලා සිටියි. එම වාර්තා දෙකම අන්තර්ක්‍රියාකාරී සංවාදවලදී සාකච්ඡාවට ගත යුතුවේ.

මෙවර මානව හිමිකම් සැසිවාරය නිම වන්නේ මාර්තු 23 දාය

Social Sharing

Related posts