online අධ්‍යාපනය අසමානයි, ගමේ ළමුන්ට අසාධාරණයක් සිද්ධ වෙනවා – ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලීන්

online education in sri lanka Ceylon Teachers Union

රටේ තියෙන කොවිඩ් තත්ත්වය එක්ක පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් විවිධ විවේචනයන් එල්ල වුණා. හැබැයි රජය දැන් විරෝධතා නොසලකා පාසල් පටන් අරගෙන පවත්වාගෙන යනවා. ඒ වගේම පාසල් තුළින්ද ආසාදිතයන් වාර්තා වෙනවා. මේ සම්බන්ධයෙන් මොකක්ද ඔබේ අදහස?

ආණ්ඩුව පාසල් පටන් ගත්තේ යම්කිසි සැලැස්මක් අනුව වැඩ කරනවා කියලා. නමුත් අපිට එහෙම සැලැස්මක් පේන්න නැහැ. විශේෂයෙන්ම පාසල්වල සනීපාරක්ෂාව සම්බන්ධයෙන් 2021 අවුරුද්දට කිසිදු මුදලක් අධ්‍යාපන අමාත්‍යාංශයට ලබාදීලා නැහැ. රජයේ ප්‍රධාන වගකීමක් තමයි සනීපාරක්ෂක ක්‍රියාවලිය ශක්තිමත් කිරීම. මේ කොවිඩ් රෝග ව්‍යාප්තිය පාසල් පද්ධතිය තුළ ඇති නොවේ කියන සහතිකය ඇති කරන්න රජය කිසිම කටයුත්තක් කරල නැහැ. අපි දන්නවා පාසල් පටන් ගත්ත දවසෙම ළමුන්ගේ පැමිණීම 51% ක් තිබුණා. අද වෙද්දි ඒක 60%-70% ආසන්න ප්‍රමාණයට වර්ධනය වෙලා තියෙනවා. හැබැයි මේ ළමයි පැමිණීම තව දුරටත් වර්ධනය කර ගැනීම රජයේ වගකීමක්. ඒකෙදි මේ තියෙන අඩුපාඩු ඔවුන් නිවැරදි කරගත යුතුයි. අපට පේන්නේ නැහැ ඒකට කිසිම සැලැස්මක් තියෙන බව. විශේෂයෙන් මුදල් ලබාදීම වුණත්.

අපි දන්නවා පාසල් ළමයින් පාසල් ආවට පස්සෙ පැහැදිලිවම තියෙන ප්‍රශ්ණ තමයි ඔවුන් අනිත් අයගෙ පොත්පත් අතගානවා, පෑන්, පැන්සල්, කවකටු පෙට්ටි අතපත ගානවා. නිවසේ සිට එන අතරමඟ උනත් ළඟ ළඟම ගැවසෙනවා. මෙවැනි තත්ත්වයන් උනාට පස්සේ, වැඩිහිටියන්ට නම් දන්නවා ගොඩක් වෙලාවට අනිත් අයත් එක්ක යම්කිසි විදිහක සම්බන්ධ වීමෙදි ආරක්ෂක පියවර ගන්න. නමුත් පාසල් පද්ධතියේ අඩුම ගානේ අතපය පිරිසිදු කරගන්න සැනිටයිසර්, ඒ වගේ පහසුකම්වත් නැහැ. මේ වගේ සනීපාරක්ෂක ද්‍රාවණ සැනිටයිසර් වගේ දේවල් තියෙනවා නම් හොඳයි. අඩුම තරමේ පාසල් ආරම්භ වෙනකොට ළමයෙකුට දාගෙන එන්න මාස්ක් එකක් වත් ලබා දෙන වැඩපිළිවෙලක් නැහැ. එකම මාස්ක් ටික හැමදාම ළමයිට පාවිච්චි කරන්න බැහැනෙ. අඩුම තරමේ මාස කිහිපයකට සැරයක් වත් මුව ආවරණ ලබාදෙන්නවත් කිසිම සැලැස්මක් නැතුව පාසල් පටන් අරගෙන තියෙන්නේ.

ළමයින්ට ආසාදිත වෙන්නට තියෙන ඉඩකඩ වැඩියි ප්‍රවාහනය නිසා.  ගෙදර ඉඳන් ළමයා කොහොමද ප්‍රවාහනය පරිහරණය කරන්නේ. ඒකෙදි රජය මාධ්‍ය නිවේදන නිකුත් කරලා තිබ්බා. චක්‍රලේඛ නිකුත් කරලා තිබ්බා. ඒවායින් කියැවෙන්නේ දෙමාපියෝ ළමයගෙ වගකීම ගන්න ඕනේ. ප්‍රවාහනය කරන පාර්ශවය ප්‍රවාහනයේ දී වගකීම ගන්න ඕනෑ, විදුහල්පතිවරුන් පාසල පවත්වාගෙන යාමේ වගකීම ගන්න ඕනේ කියලා. එතකොට ආණ්ඩුවට තියෙන වගකීම මොකද්ද? ආණ්ඩුවට කිසිම වගකීමක් නැහැ. ඒ නිසා මේකෙදි වගකීම් සහගතව ආණ්ඩුව කටයුතු කරන්න ඕනෑ. මොකද එක සැරේකට හතළිස් තුන් ලක්ෂයක් ළමයි සමාජයට නිරාවරණය වන අවස්ථාවක් මේ. බස්නාහිර පළාතේ ළමයි ටික අඩු උනාම ලක්ෂ හතළිහක් විතර ඉන්නවා. දැන් මේ ළමයි සමාජයට නිරාවරණය වෙනවා. ඉතින් ඒකට අදාළව වැඩපිළිවෙළක් හදන්න ඕන කියලයි අපි කියන්නෙ.

ලෝකෙ අනිත් රටවල් වල අපි දකිනවා පාසල්වල, ඒ පාසල් පද්ධතියටම අනන්‍යය වෙච්ච සෞඛ්‍ය වැඩපිළිවෙළක් තියෙනවා. හැබැයි ලංකාවට එහෙම දෙයක් තියෙනවද??

කිසිම වැඩපිළිවෙළක් නැහැ. ලංකාවෙ අපි ගත්තොත් උදාහරණයක් විදිහට දැන් පාසල් ආරම්භ කරන්න කලින් ළමයිට පෙළ පොත් ටික ලබාදීලා නැහැ. සාමාන්‍ය විදිහට ලැබෙන පෙළ පොත් කට්ටලයේ පෙළ පොත් ටිකක් අඩු වෙලා. ඒවා සල්ලි දීලා ගන්න සලස්වලා තියනවා. ඊළඟට පාසල් ආරම්භ කරන්න ඉස්සෙල්ලා නොමිලේ දෙන නිල ඇඳුම් රෙදි ලබා දෙන්නත් බැරි වුණා. ඒ කියන්නේ පාසල් ආරම්භ කිරීමට පෙර අධ්‍යාපන අමාත්‍යාංශයට නිසි වැඩපිළිවෙළක් සකස් කරන්න තිබ්බා. එවැනි දේකුත් නැහැ. ඊළඟට අපි ගත්තොත් එහෙම පාසල්වල විෂය ආවරණය මුල් මාස වල කරන්න කියලා තිබ්බේ ගිය අවුරුද්දේ විෂයමාලාවෙ නොකරපු කොටස්. ඊළඟට මේ අවුරුද්දේ විෂයමාලාව. දැන් මේවා කරන්න ජාතික අධ්‍යාපන ආයතනය කියලා එකක් තියෙනවා. ඒකෙන් තමයි විෂයමාලාව හදන්නේ. අඩුගානේ මේ අවුරුදු දෙකේම අවශ්‍යතාවය පරිදි විෂය මාලාව සංශෝධනය කරලා නව විෂය මාලාවක් ඉදිරිපත් කරන්න තිබ්බා. ඔවුන්ට එහෙම දේකටවත් සැළැස්මක් නැහැ.

මේ වසර පුරාම අධ්‍යාපනය අඩාල වුණා. විශේෂයෙන් අගනුවර සහ නගරබද පාසල් ඔන්ලයින් අධ්‍යාපනය කරගෙන ගියා. නමුත් ගම්බදව ජීවත් වන මිනිස්සුන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම ගිය අවුරුද්දේ කඩාවැටුණා. එතකොට මං හිතන්නේ මේ අවුරුද්දෙත් මේ ටිකම තමයි වෙන්නේ. ඒ ගැන මොනවද කියන්න තියෙන්නේ?

පැහැදිලිව online අධ්‍යාපනයේ තියෙන ප්‍රශ්නය තමයි ඩේටා අවශ්‍යතාවය. ඩේටා වලට මුදලක් අවශ්‍යයි. අඩු ගානේ රජයට තිබ්බා මේ දූරකතන සමාගම් සමග සාකච්ඡා කරලා යම් විදිහක දැනට online අධ්‍යාපනය කරගෙන යන්න පුළුවන් app එකක් හඳුන්වා දීලා ඒකෙන් ඒ අධ්‍යාපනය නොමිලේ ලබා දෙන්න පහසුකමක් හදන්න. එවැනි දේවල් කලේ නැහැ. සමාගම්වලට මුදල් හම්බ කරන්න තමයි ඉඩ දීලා තියෙන්නේ.

එතකොට නගරාශ්‍රිතව ඉන්න සමාජ – ආර්ථික වශයෙන් යම් හැකියාවක් තියෙන පුද්ගලයින්ගේ දරුවන්ට ඔන්ලයින් අධ්‍යාපණය ලැබුනා. සාමාන්‍ය දුරකථනයක් තිබුනත් මේක කරන්න බැහැනේ. ඒකට තියෙන්න ඕනේ ස්මාර්ට් ජංගම දුරකථනයක්වත්. එතකොට පවුලක ළමයි කිහිප දෙනෙක් ඉන්නවා නම් කොහොමද එකම අවස්ථාවේ පවුලේ තුන් හතර දෙනා, ගුරුවරු පාඩම් එවනකොට ළමයි ඒක කරන්නේ. එතකොට ගුරුවරුන්ගේ පැත්තෙන් ඒ සඳහා ඒ අයට පහසුකම් තිබුණේ නැහැ. ගුරුවරු ඒ දේවල් කරන්නෙත් අතින් සල්ලි වියදම් කරගෙන. ඒගොල්ලන්ට ඩේටා වලට සල්ලි දීලා තිබුණෙ නැහැ. එතකොට ඇත්තටම මේකෙන් යම්කිසි සමාජ පන්තියක් තමයි හැදෙන්නෙ. එතකොට කන්නන්ගර ප්‍රතිසංස්කරණවල තියෙන්නේ සම අධ්‍යාපනයට මොකද වෙන්නේ? ගිය අවුරුද්ද තුළ අසමාන අධ්‍යාපනයක් ලබමින් සමාන ප්‍රශ්න පත්‍රයකට ළමයි මුහුණ දෙන තත්ත්වයක් තමයි දැන් නිර්මානය වෙලා තියෙන්නේ. කැබිතිගොල්ලෑව ළමයත් රාජකීය විද්‍යාලයේ ළමයත් එක ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන්නේ සාමාන්‍ය පෙළ විභාගයේ දී, මෙවැනි අසමාන අධ්‍යාපනයක් ලබාගෙන කොහොමද විභාගයට වාඩිවෙන්නේ. රජයේ වගකීමක් එවැනි තත්ත්වයන් වළක්වා ගැනීම. ඒවාට සැලසුම් කරලා කිසිම දෙයක් ආණ්ඩුව කළේ නැහැ. ඒක ඇත්තටම කනගාටුදායක තත්ත්වයක්.

පරිධියේ ජීවත්වන ජනතාවගේ දරුවන්ට විශාල අසාධාරණයක් මේකෙන් සිද්ධ වෙලා තියෙන්නේ. පැහැදිලිවම ගත්තොත් ලංකාවේ පාසල්වල 87% කට වැඩිය ළමුන් රූපවාහිනී මාධ්‍යය භාවිතා කරනවා. පෞද්ගලික රූපවාහිනී මාධ්‍ය සමඟ වුණත් සාකච්ඡා කරලා අඩු ගානේ ජනතාව වැඩිපුර රූපවාහිනිය නොබලන වෙලාවල් හෝ තෝරාගෙන අධ්‍යාපනය දෙන්න තිබුණා. එවැනි දෙයක් ගැන පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයට සැලසුමක් තිබුණේ නැහැ. ඒගොල්ලො වැඩි බරක් තිබ්බේ online ඉගැන්වීමට. ඒක අසාර්ථකයි. ලංකාවේ සමානව සිග්නල් ව්‍යාප්තියක් නැහැ. මේ දුරකථන සමාගම් වල දැන්වීම් බැලුවහම ලංකාවම ආවරණය කරනවා කියලා කියනවා. හැබැයි online අධ්‍යාපනය කරන්න ගියාම තේරෙනවා ළමයි කඳු උඩ නඟින හැටි. ඇත්තටම මේ ප්‍රශ්න වලට රජය විසඳුම් ලබා දුන්නේ නැහැ. ජනමාධ්‍යවලින් කොහේ හරි තැනක් පෙන්නුවහම එතනට ගිහිල්ලා කුළුණක් සවි කරලා ඒකෙන් දේශපාලන වාසියක් ගන්න එක තමයි පහුගිය දවස් වල කළේ.

පළමුවැනි ශ්‍රේණියේ ළමයි ගත්තොත් මේ පහුගිය අවුරුද්දේ ම පාසල් යන්න බැරි වුණා. එතකොට සෑහෙන වැඩ ටිකක් මේ දරුවන්ට මඟ ඇරෙනවා. අකුරු හුරුව වගේ දේවල්.

මේක නිසා තමයි අපි කිව්වේ ජාතික අධ්‍යාපන කොමිසමක් තියෙනවා. ජාතික අධ්‍යාපන ආයතනය තියෙනවා. ඊට පස්සේ විශ්ව විද්‍යාලවල අධ්‍යාපනඥයින් ඉන්නවා. ගුරු අධ්‍යාපනය විද්‍යාලවල, විද්‍යාපීඨවල ගුරු අධ්‍යාපනඥ නිලධාරීන් ඉන්නවා. එතකොට පහුගිය කාලයේ මේ සියලු ආයතන වහලා තිබ්බේ. දැන් මේ ඔක්කොම එකතු කරගෙන සැලැස්මක් හදලා, විෂය මාලාව සංශෝධනය කරලා, වැඩසටහනක් හදන්න කියලා අපි යෝජනා කළා. ඔවුන්ට ඒ පිළිබඳ වගේ වගක් නැහැ. අපි දකිනවා විදේශ රටවල අධ්‍යාපනඥයෝ කොහොමද ළමයින්ට අධ්‍යාපනය දෙන්නෙ, කඩා වැටිච්ච අධ්‍යාපනය කොහොමද ගොඩනඟන්නෙ කියලා. විවිධ විකල්ප ක්‍රියාමාර්ග ඔවුන් තම දරුවන් වෙනුවෙන් භාවිතා කරමින් ඉන්නවා. අපේ අයට කෝකටත් තෛලය වගේ හැමදාම online online තමයි.

තඹ සතයක් දෙන්නෙ නැතුව ගුරුවරුන්ගේ අතින් වියදම් කරගෙන උගන්වද්දී බස්නාහිර පළාතේ අධ්‍යාපන අධ්‍යක්ෂක ලියුමක් ගහලා කියනවා ඔන්ලයින් ඉගැන්වීම් පිළිබඳව කාර්ය සාධනයක් දෙන්න කියලා. මොන විහිළුද මේවා. ඒක තමයි එකම දේ. අඩුම තරමේ අපි යෝජනා කළා ඉගෙනුම් කට්ටලයක් ළමයින්ට යවන්න කියලා. දැන් ඉස්කෝල පටන් ගත්තා. බස්නාහිර පළාතේ ළමයි ගෙදර. සාමාන්‍ය පෙළ විතරක් විසිපස් වෙනිදා පටන් ගන්නවා. මේ පළාතට පමණක්වත් අඩුම නියාමන ව්‍යාපෘතියක් හැටියට ඔය විෂය අධ්‍යක්ෂවරුන්, ගුරුවරු, අධ්‍යාපන බලධාරීන් එකතුවෙලා යම් යාන්ත්‍රණයක් හදන්න තිබ්බා, ඒ අයගේ සහය අරගෙන study pack එකක් හදලා දරුවන්ට යවන්න තිබ්බා.

Social Sharing

Related posts