ජනතාව පාලකයන්ට බලය දෙන තරම් පහසුවෙන් එය නැවත ලබා ගැනීමට බැහැ.

Kaushalya Kumarasinghe currunt poloticle situation in sri lanka

සාහිත්‍යවේදී කෞශල්‍ය කුමාරසිංහ

මුලින්ම අපිට කියන්නකො ඔබ කොහොමද මේ යෝජිතය විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ ඒ ආශ්‍රිත දේශපාලන තත්වය තේරුම් ගන්න උත්සාහ කරන්නේ ?

ව්‍යස්ථා සංශෝධන සහ ජනතා කැමැත්ත අතර සම්බන්ධතාවයේ ඉතිහාසය හැදිල තියෙන්නෙ කියලා අපි දන්නවා 1977 අතිවිශාල ජන වරමක් එක ජේ. ආර් ජයවර්ධන ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බලයට පත්වීමෙන් පස්සෙ හැදෙනවා 1978  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව.

ඒ මොහොතේ තමයි මේ රටේ බලවත්ම පුද්ගලයා ගොඩනැගෙන්නේ. ජනාධිපතිවරයා කියන මේ භූමිකාව අතිශයින් බලවත් භූමිකාවක්. ඒක ගොඩනැගුන තැන පටන් ඒ කාලය පරික්ෂා කරල බැලුවොත්, 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතිවීමෙන් පසු කාලය උතුරත් දකුණත් ගිනිගත්ත කාලය කියලා අපි කියන්නෙ.

රටේ ජන ජීවිතය මුහුණපාන බරපතළ ම ඛේදවාචකයන්ට මුහුණ දුන්න කාලයක් ඒක. ඊට පසුව එන සියලුම මැතිවරණ වලදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම කියන දේ තීරණාත්මක සටන් පාඨයක් බවට පත්වෙනවා.

1978 අතිවිශාල ජන වරමක් දෙනවා සහ ඒ බලවත්ම පුද්ගලයා හදනවා, ඒ හදන්නේ ජනතාව. ඊට පස්සේ මේ භූමිකාව නැති කරන්න ඡන්දය පාවිච්චි කරනවා.

ඉන්පසුව අපි දන්නවා ජනාධිපතිවරණයට තරග කළ කිසිම කෙනෙක් මෙම ධූරය ඉවත් කරන්නේ කැමති වෙන්නේ නැහැ පත්වුණාට පස්සේ.

නමුත් අපි දන්නවා 2010 යුද්ධයෙන් පස්සේ ගත්තොත් නැවත වතාවක් අතිවිශාල ජන වරමක් සහිතව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව බලයට පත් කරන්නේ ජනතාව.

ඒ වෙලාවෙ තිබුන ජනතා කැමැත්ත දිහා බැලුවොත් ඒ තිබුණෙ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට අවශ්‍ය තරම් කාලයක් තමන්ගේ දුර ඉන්න, සැලකිය යුතු තරම් ජනතාවක් කැමතිවෙන වර්ගයේ ජනමතයක් ඒක.

එහි ප්‍රථිපලය 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. එතකොට ඒකෙ තිබුණෙ අර කලින් තිබුනටත් වඩා ජනාධිපති ධුරයේ බලතල තවත් වැඩි කරමින් ධුර කාලය අසීමිත කරමින් ගෙන එනු ලැබූ සංශෝධනයක්. එතකොට ඒකටත් අපිට පේනවා ජනතා කැමැත්තක් තියෙනවා ඒ මොහොතෙ.

2015 ජනාධිපතිවරණය සහ ඊට පස්සේ මහ මැතිවරණය ආශ්‍රිතව පාර්ලිමේන්තු මැතිවරණය ගම්මු, මේකෙදි සිද්ධවෙන්නේ යම් විදිහක ප්‍රජාතන්ත්‍රවාදය කේන්ද්‍ර කරගත් බලය බෙදීම, දූෂණ අවසන් කිරීම, මානව හිමිකම් සුරැකීම මේ වගේ දේවල් කේන්ද්‍ර කරගෙන මැතිවරණ ව්‍යාපාරය ගොඩනැගීම.

එහි ප්‍රථිපල විදිහට 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසිකරලා 19 සංශෝධනය ඇති වෙනවා. ඒක සම්පූර්ණයෙන්ම 18 වෙනි සංශෝධනය ඉවත්කරලා ජනාධිපතිවරයාට තිබූ බලතල පාර්ලිමේන්තුව සහ අගමැතිවරයාට  බෙදාහරින සංශෝධනයක් බවට පත් වෙනවා.

ඊළඟට දැන් මොකද වුණේ,  දැන් නැවතත් ජේ ආර් ටත් එහාට ගිය ව්‍යවස්ථාවක් හදාගෙන තිබෙනවා.

මම කියන්නේ විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කියන්නේ නැවත යම්කිසි විදියකට 18ට සමාන ඉතාම දැඩි විදියට ජනාධිපතිවරයා වෙත බලතල සංකේන්ද්‍රණය කරන, ඒකාධිපති පාලනයක් කරා යා හැකි ව්‍යවස්ථා සංශෝධනයක්

ඒකටත් ජනතා කැමැත්තක් තියෙනවා කියන එක තමයි අපිට කියන්න පුළුවන්.  ලංකාවෙ ව්‍යවස්ථා සංශෝධනයකට අදාලව ජනමතය හැසිරෙන ආකාරය විහිළුසහගතයි. හැබැයි මේක සිද්ධ වෙන්නේ සමාජයක ජනතාවගේ කැමැත්ත නිසාම නෙමෙයි.

ඒක සිද්ධ වෙන්න ඒ පාලන තන්ත්‍රයේ ස්වරූපය බලපානවා. විශේෂයෙන්ම 2015 පත්වෙච්ච ආණ්ඩුව හැසිරුණු ආකාරය මේ විදියට 19 සංශෝධනය ඉවත් වෙලා විසිවෙනි සංශෝධනය පැමිණීමට සහ එයට ජනමතයක් ඇති වෙන්න බලපානවා.

නමුත් අපි මතක තියාගන්න ඕනෑ අර සඳහා තිබුණ කැමැත්ත අවුරුදු කීපයකින් අවසන් වුණා වගේම දැන් මේ විස්ස ගෙනාවට පස්සේ බොහොම කෙටි කාලයකින් ඒ කැමැත්ත නම් අහෝසි විය හැකියි කියන කාරණය.

එහෙත් මම හිතන්නේ අපි ඉතාම තදින් සිහිය තබා ගන්න ඕන එකක් තමයි අපිට මේ විදියට අපි සතු බලය දෙන්න පුළුවන් පාලකයින් වෙත, නමුත් නැවත බලය ලබාගන්න බැහැ ඒ තරම් පහසුවෙන්.

අපි හිතමු දහනව වන ව්‍යවස්ථා සංශෝධනය මගින් සිද්ධවෙන්නේ ජනාධිපති සතු බලතල යම් ආකාරයකට සංවරණ සහ තුලන ක්‍රමයකට යටත් කරන එක කියලා.

එතකොට දැන් මේ කියා හිටින්නෙ මෙහෙම එකක් අවශ්‍ය නෑ. ඇයි එහෙම කියන්නේ, මූලිකවම එහිදී යම් ආකාරයට යුක්තිය පිළිබඳ ව සමාජ අසාධාරණය පිළිබඳව සලකා බැලීම සඳහා වන ප්‍රමාදය සංවර්ධනයට හිතකර නැහැ

එතකොට ඒ දේවල් කරන්න අවශ්‍ය මේ ආකාරයේ අතිශය බලවත් භූමිකාවක් නිර්මානය කිරීමෙන්. නමුත් මම හිතන්නේ අපි කවුරුත් දන්නෙ නැහැ අපි මේ ඉල්ලා හිටින සංවර්ධනය මොකක්ද කියලා.

ඉතින් මම හිතනවා විසිවෙනි සංශෝධනය කියන එක පොදුජන කැමැත්ත එක්ක ගැට ගැහිලා තියෙන්නේ ස්ථාවර රටක්, ස්ථාවර සංවර්ධනයක් කියන කාරණයත් එක්ක.

සංවර්ධනය කියන්නේ හරි මැජික් වචනයක්. අපි කවුරුත් දන්නෙ නැහැ මොකක්ද මේ සංවර්ධනය කියන්නේ කියලා. ඒ වෙනුවෙන් අපි අපේ නිදහස බන්දේසියක තියලා දෙනවා තනි පාලකයකුට.

ඒක දෙන තරම් පහසුවෙන් අපිට නැවත ලබාගන්න නම් ලැබෙන්නේ නැහැ. අපි දන්නවා බහුතර ජනතාව උනන්දු වෙන්නේ මානව අයිතිවාසිකම් හෝ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් නෙවෙයි.

සාමාන්‍යයෙන් ඇහුවොත් කියයි රට සංවර්ධනය සඳහා ශක්තිමත් පාලකයෙකු අවශ්‍යයයි කියලා. එතනදි මේ සමාජ සාධාරණත්වය යුක්තිය මේවා වෙනුවෙන් සිදුවන ප්‍රමාදයන් දරන්නට බෑ.

ඒ ප්‍රමාදය නැතුව ඉක්මනින් මේ ක්‍රියාවලීන්ගෙන් බැහැරව ගිහින් අපට මතකයි ගෝඨාභය මහත්තයා පවා කිව්ව වෙලාවක විධිමත් කාර්ය පටිපාටියෙන් බැහැරව වුණත් අවශ්‍ය දේ කරනවා කියලා.

ඒක තමයි ඉල්ලා හිටින්නෙ. යම් විදියකට ඒකට තමයි 20 වන සංශෝධනය මගින් බලය දෙන්නේ. අසීමිත බලයක් ජනාධිපතිවරයාට ලැබෙනවා. අර 19 විසින් පාර්ලිමේන්තුවට සහ කොමිෂන් සභාවලට බෙදා හැර තිබූ බලය දැන් නැවත වතාවක් ලැබෙනවා ජනාධිපතිවරයාට අතට.

එතකොට ව්‍යවස්ථා දායක සභාව පාර්ලිමේන්තු සභාව වෙනවා. ඒ සමග ඒ ආයතනය බොහොම නාමික ආයතනයක් බවට පත් වෙනවා. ජනාධිපතිවරයාට විරුද්ධව මානව හිමිකම් කඩ වීමකදී මුලික අයිතිවාසිකම් නඩුවක් හෝ දාන්න බැරි තත්ත්වයක් තමයි දැන් උදාවෙලා තිබෙන්නේ.

මේවා හරහා හැදෙන්නේ අතිශය බලවත් පුද්ගලයෙක්. ඒ බලවත් පුද්ගලයා හැදීමේ අරමුණ අර සංවර්ධනය කියන එක.

2/ පසුගිය ජනාධිපතිවරණය සහ මහ මැතිවරණයේදී විශාල බලපෑමක් කරයි කියලා බලාපොරොත්තු වුණ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය, ඇයි ඔබ හිතන විදියට ඔවුන් අපේක්ෂා කරපු තරම් හොඳ ප්‍රතිපලයක් ලබා ගන්න අසමත් වෙන්නේ?

මම හිතන්නේ ජනතා විමුක්ති පෙරමුණ සතුව තිබුණා නම් යම් ආකාරයට අපි කියන විදිහේ ඡන්ද පදනමක් ඒකෙ යම් කිසි අඩු වීමක් සිද්ධ වෙලා, සමහරවිට ඒක තුළ තිබුණ සංයුතියේ වෙනස් වීමක් සිදුවෙලා තියෙන පුළුවන්.

වෙනත් සමාජ කණ්ඩායමක් ජනතා විමුක්ති පෙරමුණ සහ ඒ වටා හැදෙන ජාතික ජන බලවේගය වෙත ඇදෙන අතර සමහරවිට සාම්ප්‍රදායිකව එකට සහයෝගය දුන්න යම් සමාජ කණ්ඩායම් ඉවත් වීමක් වෙලා තියෙන්න පුළුවන්.

මොකද අපි දන්නවා පහුගිය දේශපාලන ඉතිහාසය දිහා බැලුවම ජනතා විමුක්ති පෙරමුණ ඉතාම ප්‍රබල විදියට රැඳිලා හිටපු ජාතිකවාදි ස්ථාවරයෙන් ඔවුන් වෙනස් වුණා. එතකොට මේ යුගය ලංකාවේ දේශපාලනය තුළ තාමත් බොහොම අධිපති ධාරාව විදිහට තියෙනවා සිංහල බෞද්ධ ජාතිකවාදී ධාරාව.

එතකොට යම් විදියකට ජවිපෙ සිදුවුණු මතවාදීමය පෙනී සිටීම් වල ඇති වූ වෙනස්කම් නිසා අර සාම්ප්‍රදායිකව ජවිපෙ වෙත ආකර්ෂණය වෙලා හිටපු සමහර සමාජ කණ්ඩායම් ඉවත් වෙන්නත් කලින් ආකර්ෂණය නොවී සිටි කණ්ඩායම් මේ තුළට පැමිණීම සිද්ධ වෙන්න ඇති කියන එක තමයි අපි විශ්වාස කරන්නේ.

අනෙක් අතට අපි දන්නවා මේ පහුගිය මැතිවරණ දෙක ගත්තොත් ඒ ඒ වෙලාවල් වල පොදු ජන සමාජය තුළින් ඇති වන විශාල ඉල්ලීමක් පොදු ජන පෙරමුණ වටා ගොඩනැඟුණා. ඒක විශාල රැල්ලක් විශේෂයෙන් දැඩි මාධ්‍ය සහයෝගයක් එක්ක එන එකක්.

එතකොට ඒකත් එක්ක සාමාන්‍යයෙන් විද්‍යුත් මාධ්‍ය විතරක් නෙවෙයි සමාජ මාධ්‍ය මේ සියලු දේවල් ඉතාම දැඩි විදිහට එක කඳවුරක් වෙනුවෙන් සහයෝගයට පෙළ ගෙන වෙලාවක්.

එතකොට ඒක තමයි යම් විදියකට නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන ගැටලුව. මේ වෙලාවේ ඉතා විශාල මූල්‍ය බලයක් තියෙන කඳවුරකට පුළුවන් මේ මාධ්‍ය ගෝලය හසුරවන්න.

ඉතින් එහෙම වෙනකොට යම් විදිහකට ජවිපෙ තුළ ජාතික ජන බලවේගය කියන්නේ මොකක්ද කියන අදහස, ඔවුන් පෙනී ඉන්නේ කුමක් වෙනුවෙන් ද, කියන පණිවිඩය පවා ඉතාම දැඩි අන්දමින් වෙනස් කරන්න හැකියාවක් මෙයට ලැබෙනවා.

එතකොට සමහරවිට අර ජනතා විමුක්ති පෙරමුණට කලින් ආකර්ෂණය වෙලා හිටපු සමහර සමාජ පන්ති දුරස් වීමක් සිදු වුනා. මේක තදින් සිද්ධ වෙච්ච දෙයක්. ඒකත් එක්ක හැප්පෙන්න තරම් හැකියාවක් ජාතික ජන බලවේගයට තිබුණෙ නෑ.

මොකද විද්‍යුත් මාධ්‍ය, පුවත්පත් ගත්තාම ඉතාම සුළු පුවත්පත් කිහිපයක් විතරයි මේකේ සැබෑ තත්ත්වය පැහැදිලි කරන්නේ. එතකොට ඒ පුවත්පත් සමහර වෙලාවට ජනතාව අතරට යන්නෙත් නැහැ. ඉතින් ඔය වගේ තත්ත්වයක් තුළ මම හිතන්නේ මේ ප්‍රතිඵලය ගැන පුදුමයට පත් වෙන්න දෙයක් නැහැ.

කේ. සංජීව

Related posts