ජනාධිපති සමාව දේශපාලන අවියක්ද?

Is presidential pardon a political weapon?

අද වන විට ජනාධිපති සමාව ගැන මුලු රටම අවධානය යොමු කර ඇත. ඇතමුන් මෙය හඳුන්වන්නේ දේශපාලන අවියක් ලෙසටය. එනම් ජනාධිපතිවරයා සිය අභිමතය පරිදි බලය පාවිච්චි කිරිමක් ලෙසනි.

ජනාධිපති සමාව ගැන යළිත් කරලියට පැමිණියේ ඊයේ (03) දින ජනාධිපති සමාව යටතේ ජිවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වී සිටි භික්ෂුන් වහන්සේ නමකට සමාව ලැබීමත් සමඟිනි.

ඌව තැන්නේ සුමන හිමියන්ට ජනපති සමාව

නීති විරෝධී ගිනි අවි ඇතුළු පුපුරණ ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරු බවට පත් කරමින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූ පුජ්‍ය ඌව තැන්නේ සුමන හිමියන්ට ජනපති සමාව ලබාදීමට තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ (03) නිවේදනය කර තිබුණි.

මේ සම්බන්ධයෙන් වන තීරණය ජනාධිපතිවරයා විසින් අධිකරණ අමාත්‍යවරයාට දන්වා යවා ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය  වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

2010 වර්ෂයේ පැවති ජනාධිපතිවරණ සමයේදී උන්වහන්සේ වැඩ සිටි මාලිගාවත්ත ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයේ සඟවා තිබු නීති විරෝධී ගිනි අවි සහ වෙඩි උණ්ඩ 200ක් පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් විසින් සොයා ගනු ලැබුණි.

ඒ අනුව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවරීමෙන් අනතුරුව උන්වහන්සේ ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකුට පසුගිය වර්ෂයේ ජුනි මාසයේදී ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කරනු ලැබුණි.

මෙහි ඇති සුවිශේෂත්වය නම් රාජපක්ෂ පාලන සමයේම අත්අඩංගුවට ගෙන නැවත ඔවුන්ගේ පාලන බලය පැමිණි අවස්ථාවේ එළියට දැමීමය.

ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්

මීට පෙර බොදුබල සේනා සංවිධානයේ ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් ද ජනාධිපති සමාව යටතේ නිදහස් කෙරුණි. ඒ 2019 මැයි මාසයේදීය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මෙම සමාව ලබා දි තිබුණි.

ඒ උන් වහන්සේ 2016 ජනවාරි 25 වැනිදා, ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් නඩුව කැඳවා අවසන් වූ පසු අධිකරණයේ අවසරයක් නැතිව එම ස්ථානයට පැමිණ අධිකරණයට අපහාස වන ආකාරයට මහේස්ත්‍රාත්වරයාට තර්ජනය කර, රජයේ නීතිඥ දිලීප පීරිස්ට බැන පරිභව කිරිමේ සිද්ධියක් සම්බන්යෙන් චෝදනා ලැබ බන්ධනාගාර ගත වූ අවස්ථාවේදීය.

අධිකරණයට අපහාස කළ බවට එල්ල වූ චෝදනා හතරකට 2018 අගෝස්තු 08 වෙනිදා වරදකරු කෙරුණු බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමිට වසර 19 ක සිරදඬුවමක් නියම කළ අභියාචනාධිකරණය එකී දඬුවම වසර 6 කින් ගෙවී යන සේ දඬුවම් නියම කෙරිණි.

නීතිපතිවරයා විසින් ඥානසාර හිමියන්ට එරෙහිව චෝදනා පත්‍රය ඉදිරිපත් කරනු ලැබ තිබුණේ හෝමාගම අධිකරණයේ හිටපු මහේස්ත්‍රාත්වරයෙකු මෙන්ම වත්මන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක විසින් අභියාචනාධිකරණයට කරන ලද පැමිණිල්ලකට අනුවය.

රෝයල් පාර්ක් ඝාතනය

රෝයල් පාර්ක් තරුණිය ඝාතනය කිරිමේ සැකකරු වු ජුඩ් ශ්‍රමන්තට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය ධුරයෙන් යාමට ප්‍රථම ජනාධිපති සමාව ලබා දී නිදහස් කළේය.

2005 වසරේ ජූනි 30 වැනි දින සිදු වූ මෙම ඝාතනයට 2012 වර්ෂ­යේදී ඔහුට 12 වස­රක සිර දඬුවමක් නියම කෙරිණි.

පසුව ඔහු ඊට එරෙහිව අභියාචනාධිකරණයට ඇපෑලක් යොමු කළ අතර 2104 දී ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට මරණ දඩුවම ලබා දුන්නේය. මෙය ‌‌එෛතිහාසික නඩු තීන්දුවක් ලෙස සැලකුණි. පසුව ඔහුට 2016 වසරේදි විශේෂ ජනාධිපති සමාවක් යටතේ ඔහුගේ දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක්‌ ලෙස ලිහිල් කර තිබේ.

2019 වසරේදී ජනාධිපති සමාව යටතේ ජුඩ් ශ්‍රමන්ත ඇන්තිනි ජයමහ නිදහස් කිරීම සමාජයේ දැඩි ආන්දෝලනයට ලක් වු අතර ජනාධිපතිවරයාව චැඩි ලෙස විවේචනයට ලක් විය. එකල මෙම නිදහස් කිරීම පිටුපස එක්තරා භික්ෂුන් වහන්සේ නමකගේද නම කියවුණු අතර උන් වහන්සේගේ ඉල්ලීම මත මෙම ජනාධිපති සමාව ලබා දුන් බව පැවසුනි.

ජනාධිපති සමාව යනු

සිරකරුවන්ට සමාව ලබා දීමට ජනාධිපතිවරයාට බලය හිමිවන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි වගන්තියෙනි.

34 වගන්තියේ (1) අනු වගන්තිය යටතේ ශ්‍රී ලංකාවේ කවර හෝ අධිකරණයක තීන්දුවක් යටතේ වරදකරු කරන ලද පුද්ගලයෙකුට සමාවක් ලබා දීමට ජනාධිපතිවරයාට බලය පැවරේ.

එමෙන්ම, වරදකරුට ලබා දෙන්නේ සම්පූර්ණ සමාවක් ද නැතහොත් නීත්‍යානුකූල කොන්දේසි සහිත සමාවක් ද යන්න ජනාධිපතිවරයාට තීරණය කළ හැකිය.

අදාළ වරදකරුට නියම කර ඇති දඬුවම වෙනුවට ලිහිල් දඬුවමක් නියම කිරීමට හෝ නියම කරන ලද දඬුවම මුළුමනින්ම නිශ්ප්‍රභ කිරීමට ද ජනාධිපතිවරයෙකුට ව්‍යවස්ථාවෙන් බලය හිමි වී තිබේ.

කෙසේනමුත්, අධිකරණයකින් මරණ දඬුවම නියම වූ පුද්ගලයෙකුට සමාව ලබා දීමේ දී 34 (ඈ) වගන්තිය යටතේ ජනාධිපතිවරයාට යම් සීමා පනවා තිබේ.

එවන් පුද්ගලයෙකු නිදහස් කිරීමට පෙර අදාළ නඩුව විභාග කළ විනිසුරුගෙන් වාර්තාවක් ලබා ගත යුතුය.

එම වාර්තාව ජනාධිපතිවරයා අතට ලැබුණු පසු, ඒ ගැන නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගත යුතුය.

එම වාර්තාව නීතිපතිවරයාට යැවිය යුත්තේ අදාළ උපදෙස් ලබා දීමෙන් පසු අධිකරණ විෂය භාර අමාත්‍යවරයාට යවන ලෙස උපදෙස් ලබා දෙමිනි. ඉන්පසු, අදාළ අමාත්‍යවරයා සිය නිර්දේශ ද සඳහන් කරමින් වාර්තාව නැවත ජනාධිපතිවරයා වෙත යොමු කරනු ලබයි.

 

අතීතයේ ජනාධිපති සමාව හිමි වුවෝ

මීට පෙරද පුද්ගලයින් රැසකට ජනාධිපති සමාව හිමි වු අවස්ථා කිහිපයක් ගැන සිංහල බි.බි.සි. සේවය වාර්තා කර ඇත.   

** රජයේ බදු මුදල් විශාල වශයෙන් වංචා කිරීමේ චෝදනා යටතේ සිරදඬුවම් නියමව සිටි වත්තල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයකුට ජනාධිපති සමාව ලැබීම.

** පුද්ගලයකු ඝාතනය කර මහාධිකරණයෙන් මරණ දඬුවමට ලක්ව සිරගතව සිටි හිටපු ඇමැතිවරයකුගේ භාර්යාවක ජනාධිපති සමාව යටතේ නිදහස් වීම.

** මිනීමැරුම්, පුද්ගලයන් පැහැරගෙන යෑම් ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් සිරදඬුවම් ලැබ සිටි පාතාලයට සම්බන්ධ පුද්ගලයෙකු වන ගෝනවල සුනිල් ජේ ආර් ජයවර්ධන ජනාධිපති යටතේ සමාව ලැබීය. පසුව ඔහුට මුළු දිවයිනටම බලපාන පරිදි සාමදාන විනිශ්චයකාර පදවියක් ද ප්‍රදානය කෙරිණ.

**    2004 වර්ෂයේ දී පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක ද අධිකරණයට අපහාස කිරීමේ වරදට සිරගත කෙරිණි. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පාලන සමයේ රජයේ ප්‍රබල ඇමැතිවරයකුව සිටි එස් බී දිසානායක කලක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ලෙස ද කටයුතු කළේය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා 2006 දී එස් බී දිසානායකට ජනාධිපති සමාව ලබා දුණි.

** හිටපු හමුදාපතිවරයෙකු වන ෆීල්ඩ් මාෂල් ජනරාල් සරත් ෆොන්සේකාට එරෙහිව තිබු සියලු චෝදනාවලින් ඔහුව නිදොස් කොට නිදහස් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ක්‍රියා කළේය.

**ජනාධිපති පොදු සමාව යටතේ 71 කැරැල්ලේ ප්‍රධාන විත්තිකරුවා වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීරට ජනාධිපති සමාව ලැබීම.

**නැක්සලයිට් චෝදනාව යටතේ සිරගත කෙ‍රුණු විජය කුමාරතුංග ජේ ආර් ජයවර්ධන ජනාධිපති සමාව යටතේ නිදහස් වීම.

දුමින්ද සිල්වාටත් ලැබෙයිද?

ජනාධිපති සමාව ලබා දීමේ ඉතිහාසය මෙන්ම වර්තමානය දෙස බැලීමේදි ඉදිරියේදි දුමින්ද සිල්වාටත් ජනාධිපති සමාව හිමි විය හැකි බවට සැක මතු වෙමින් ඇත. පහුගිය වසරේදි පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුවේදි අත්සන් පෙත්සමක්ද ජනාධිපතිවරයාට ලබා දි තිබුණේ දුමින්ද සිල්වාට නිදහස ලබා දෙන ලෙස ඉල්ලමිනි.

මේ අතර පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ද කියා ඇත්තේ දුමින්ද සිල්වා දුප්පත් ජනතාව වෙනුවෙන් පෙනි සිටි නායකයෙක් බැවින් ඔහුට සමාව දිම ගැන රජයේ අවධානය යොමු විය යුතු බවය.

Related posts