උඩින් උඩින් එන ඩ්‍රෝන් වලින් යතුරු සිදුරෙන් බැලීම

Drone Camera use Army for COVID-19 Control

නිරෝධායන නීති උල්ලංඝණය කරන්නන් හඳුනා ගැනීම සඳහා යයි පවසමින් නොවැම්බර් 12  සිකුරාදා  සවස සිට ගුවන් හමුදාවේ සහය ඇතිව  ශ්‍රී ලංකා පොලීසියද ඩ්‍රෝන යොදා ගැනීම ආරම්භ කළ අතර  ශ්‍රී  ලංකා යුද්ධ හමුදාවද එදිනම නියමුවන් රහිත සැහැල්ලු ගුවන් යානා රෙජිමේන්තුවක් ස්ථාපිත කළ බව  යුද හමුදාව නිවේදනය කර තිබේ.

ඩ්‍රෝන යානා උපයෝගි කරගනිමින් සිදු කළ පළමු මෙහෙයුමේදීම නිරෝධායන නීති කඩ කිරීමේ චෝදනාව මත පුද්ගලයන් 15 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මාධ්‍යවේදීන්ට  පවසා තිබුනි.

“ලොක්ඩවුන්” නීතිවලට ජනතාව ගරු කරන්නේද යන්න නිරීක්ෂණය කිරීම සඳහා පොලිසිය විසින් ඩ්‍රෝන යානා භාවිත කිරීම වහාම නතර කළ යුතු බවට ප්‍රංශයේ ඉහළම පරිපාලන අධිකරණය විසින් පසුගිය මැයි මාසයේදී නියෝග කර තිබුනේ එය පෞද්ගලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් යැයි තීන්දු කරමිනි.

වසංගත තත්වය හමුවේ  සමාජ දුරස්ථ භාවය පිලිබද උපදෙස් උල්ලංඝනය කරන පුද්ගලයන් සොයා ගැනීම සඳහා ප්‍රංශය මාර්තු මුලදී කැමරා සහිත ඩ්‍රෝන යානා යොදා ගෙන තිබුනි. එයට  විරුද්ධව  මානව හිමිකම් සංවිධාන විසින් දක්වන ලද කරුණු පිළිගත් අධිකරණය විසින් ගුවන් ඔත්තු බැලීම වළක්වමින් තීන්දුවක් ලබා දී තිබේ.

ඩ්‍රෝන යානා මිනිසුන් හඳුනා ගැනීම සඳහා භාවිතා නොකරන අතර, හුදෙක් අගුලු දැමීම බලාත්මක කිරීම සහ විශාල ජන සමූහයක් විසුරුවා හැරීම සඳහා මහජන රැස්වීම් හඳුනා ගැනීමට පමණක් යොදා ගන්නා බව එහිදී ප්‍රංශ රජය අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.

ඩ්‍රෝන කැමරාවෙන් ලැබෙන රූප ඒ වේලාවට විධාන මධ්‍යස්ථානයට සම්ප්‍රේෂණය කරන ලද අතර, එමඟින් ඩ්‍රෝන ශබ්ද විකාශන යන්ත්‍රය හරහා අදාල ස්ථානයේ සිටින පුද්ගලයන්ට පණිවිඩ විකාශනය කිරීම වැනි තීරණ ගැනීමට ඔවුන්ට හැකියාව තිබු බව පොලීසිය විසින් අධිකරණය ඉදිරියේ ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දී තිබේ.

එයට  ප්‍රතිචාර දක්වමින්  ප්‍රංශ අධිකරණය සඳහන් කර ඇත්තේ  ඩ්‍රෝන යානා වලට ලං කර බැලීමේ හැකියාව (zoom) ඇති අතර අවශ්‍යතාවය ඇති වුවහොත් මීටර 80 ට වඩා අඩු උසක්  පියාසර කළ හැකි බැවින් මිනිසුන්ගේ පුද්ගලික දත්ත රැස් කිරීම වැළැක්වීමට තාක්ෂණික ක්‍රමයක් නොමැති බවයි.

බලධාරීන් විසින් පුද්ගලික දත්ත පරිහරණය සම්බන්ධයෙන් 2016 අප්‍රේල් යුරෝපා සංගම් නියෝගය මත පදනම් වෙමින්, මෙම ක්‍රියාවලියේ කොටසක් ලෙස එකතු කරන ලද දත්ත – පුද්ගලික දත්ත යැයි සැලකිය යුතු බවට අධිකරණය තීන්දු කර තිබේ.

එබැවින් “දත්ත සුරැකීමේ ජාතික කොමිෂන් සභාවේ (31 වන වගන්තිය අනුව) තර්කානුකූල හා ප්‍රසිද්ධ කරන ලද මතයට අනුව”, දත්ත ආරක්ෂණ පනත යටතේ, නිසි ඇමතිවරයාගේ හෝ ඇමතිවරුන්ගේ නියෝගයකින් පසුව පමණක් මෙසේ දත්ත පරිහරණය කිරීමට බලය පැවරිය හැකි බව අධිකරණය වැඩි දුරටත්  ප්‍රකාශ කර තිබේ.

එසේ දත්ත පරිහරණය කිරීමට රජයට බලය පවරන රෙගුලාසියක් නොමැති අවස්ථාවකදී, රජය වෙනුවෙන් එවැනි දත්ත සැකසීම සිදු කිරීම “පුද්ගලික ජීවිතයට ගරු කිරීමේ අයිතියට එරෙහි නීති විරෝධී ප්‍රහාරයක්” ස්ථාපිත කරන බව ප්‍රංශ  අධිකරණය එහිදී  තීන්දු කර තිබේ.

වසංගත අවදානමට මුහුණ පා සිටින ලක්වාසීන්ට හිඟ වී පවතින PCR යන්ත්‍ර හා ඇඳන් ඇතුළු ආම්පන්න සඳහා වියදම් කරනු වෙනුවට අධි තාක්ෂණික ඔත්තු බැලීමේ ගුවන් කැමරා වලට මුදල් යෙදවීම සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දැඩි කතාබහට ලක් වී තිබුණි.

කොරෝනා මැඩීමට යැයි පවසමින් ඩ්‍රෝන යොදා ගැනීම පෞද්ගලිකත්වය, ආචාර ධර්ම, දත්ත රඳවා තබා ගැනීම සහ අදාල නීතිමය රාමුව ඇතුළු ගැටළු රාශියක් මතු කරන බව නවසීලන්තයේ ඔටාගා විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක සංජන හත්තොටුව අවධාරණය කරයි.

මාධ්‍යකරණයේදී ඩ්‍රෝන භාවිතයට ගන්නා ආකාරය සම්බන්ධයෙන් රාජ්‍ය අන්‍රග්‍රහය යටතේම ගුරු හරුකම් දී ඇති සංජන හත්තොටුව,  පෞද්ගලික රූපවාහිනී නාලිකාවක විනාශනය වු වීඩියෝ දර්ශනයක් උපුටා දක්වමින් ට්විටර් පණිවුඩයකින් පෙන්වා දී ඇත්තේ  හමුදාව විසින් තාප සංවේදන සහිත රාත්‍රී දර්ශන හැකියාවන්ගෙන් යුක්ත,  සෙන්මුස් එච් 20  (Zenmuse H20) වර්ගයේ කැමරා මෙම ඩ්‍රෝන යොදා රූගත කිරීම් සඳහා යොදාගෙන ඇති බවයි.

ඔස්ට්‍රේලියාවේ මධ්‍යම ක්වීන්ස්ලන්ඩ් විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පර්යේෂණ වල නිරතව සිටින ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අමන්ත පෙරේරා පවසන්නේ ශ්‍රී ලංකාව චීනයේ ආදර්ශය අනුගමනය කරමින් සිටින බවයි.

“පොලිස් අගුලු දැමීම බලාත්මක කිරීම සඳහා ඩ්‍රෝන යානා භාවිතා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව චීනයේ ආදර්ශය අනුගමනය කරමින් සිටී,” යි ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට ඩ්‍රෝන කැමරා ශිල්පය හඳුන්වා දීමේ පුරෝගාමියකු වූ අමන්ත සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පවසා සිටී.

ඩ්‍රෝන යානා බොහෝ විට රාජ්‍ය විරෝධී සැකකරුවන්ට එරෙහි ආයුධයක්, සෝදිසි කිරීමේ උපකරණයක් හෝ ආහාර බෙදා හැරීම වැනි කටයුතු සදහා නව මෙවලමක් ලෙස ලොව පුරා යොදා ගැනුනද කොරෝනා වෛරසය  පුපුරා යාමේ ආරම්භයේ සිටම  නව භූමිකාවක් අත්පත් කරගනිමින් සිටී.

රුවන්ඩාව, ඝානාව සහ චිලී වැනි රටවල අවදානමේ වැටී ඉන්නා සහ බොහෝ විට හුදෙකලා වූ පුද්ගලයන්ට සහ ප්‍රජාවන්ට වෛද්‍ය සැපයුම් ලබා දීම සඳහා ඩ්‍රෝන යානා භාවිතයට ගන්නා අතර  චීනයේ සහ ඉන්දියාවේ ඩ්‍රෝන යානා පොදු ස්ථාන විෂබීජහරණය කිරීම සදහා  යොදා ගෙන තිබේ.

Related posts

One Thought to “උඩින් උඩින් එන ඩ්‍රෝන් වලින් යතුරු සිදුරෙන් බැලීම”

Comments are closed.