විජය අද හිටියනම්….

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට අද (16) විශේෂ දිනයක් වුණා. ඒ ඇයගේ ආදරණිය සැමියා, ලොවක් වසඟ කළ කලාකරුවා වූ විජය කුමාරතුංග මිය ගොස් අදට තිස් තුන් වසරක් පිරීම නිසාය.

සීදුව, 18 කණුව පිහිටි විජය කුමාරතුංග සමාධිය අසල අද විජය කුමාරතුංගයන් සිහිකර කෙටි ගුණසමරු උත්සවයක් පැවැත්වුනේ හිටපු ජනාධිපතිනියගේ ප්‍රධානත්වයෙන්.

සමාධියට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව විජය  සිහිකර ආගමිකවතාවත්,  පැන් වැඩීමක් හා පුජ්‍ය පක්ෂයේ කෙටි අනුශාසනාවකින් අනතුරුව ගණසමරු උත්සවය නිමාවට පත් විය.

මෙහිදී පැමිණ සිටි මාධ්‍යවේදියෙකු හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගෙන් විමසා සිටියේ විජය බලාපොරොත්තු වු රට දැන් පවතිනවාද යන්නය.

මෙහිදි ඇය කියා සිටියේ එයට දැන් ඇත්තේ සිනාසීම පමණක් බවත් රටට අවශ්‍ය දේශපාලනය බිස්නස් එකක් කර නොගත් පුද්ගලයෙකු බවය.

සිය පාලන සමයේ ජීවිතය පරදුවට තබා නිර්මාණය කළ රට යළි ආපස්සට ගොස් ඇති බව පෙන්වා දුන් හිටපු ජනාධිපතිනිය පවසන්නේ මේ වනවිට රට සම්පූර්ණයෙන්ම චීන යටත් විජිතයක් බවට පත්ව ඇති බවය.

විදේශ සබඳතා පිළිබඳව හරිහැටි අවබෝධයක් නොමැතිව කටයුතු කරන නායකයන්ගෙන් ඊට වඩා වැඩි යමක් බලාපොරොත්තු විය නොහැකි බව පවසන ඇය සිහිපත් කරනු ලැබුයේ එදා තමාට ‘කොන්ඩෙ බැඳපු චීනා’ යනුවෙන් අපහාස කළ බවත්  ‍අද වනවිට සැබෑ චීනුන් කවුරුන්ද යන්න පැහැදිලි වී ඇති බවය.

යම් හෙයකින් අද විජය කුමාරතුංග මහතා ජීවත්ව සිටියේ නම් රටට සිදුව ඇති ඛේදවාචකය පිළිබඳව කළකිරී මුහුදට පනිනු ඇති බවද  ඇය වැඩිදුරටත් කියා සිටියාය.

-ශානි-

Social Sharing
නවතම