මට ඉන්දියාව ගම වගේ

සාහිත්‍යවේදී සුනේත්‍රා රාජකරුණානායක

මම ඉස්සර හිතුවේ හැමෝටම එහෙම ලියන්න පුළුවන් කියලා. නිසඟ හැකියාවක් තියන කොට එළියෙන් දේවල් වැඩිය ඕනෑ වෙන්නේ නැහැ. නමුත් තමන්ගෙ ජීවිතේ තමන් උකහා ගත් සමහර දේවල්, භාෂාව, සිරිත් විරිත්, භූගෝලීය ප්‍රදේශ ඒවා කෙනෙකුගේ ලියවිල්ලට, සිතුවිලි ආරට බලපානවා. දැන් මට ඉන්දියාව මගේ ගම වගේ. ඉන්දියානු පසුබිමේ කතා ලියන්න මට හරි ලේසියි. ශ්‍රී ශාන්ත් වගේ කතාවක්, ඒක හරි ලේසියි. ඒක සම්මාන වගේ දේවල්වට යෝජනා වුණේවත් නැහැ. මොකද ඒක විනිශ්චය මණ්ඩලවල ඉන්න අයට ගෝචර වෙන්නැති විෂයක්. ඒගොල්ලන්ට මෙහෙම හිමාලයේ ගිය ඒවා දැනෙන්නේ නැතුව ඇති. නමුත් ඒ පොත ලිවීමෙන් මම විශාල සතුටක් ලැබුවා. ඉන්දියාව, මම දන්නේ නැහැ, මට හිතාගන්න බැහැ, ඇයි අර නාඳුනන මිනිස්සු මට ගෙවල් දීලා ඒ තරම් සලකන්නේ. මම මේ බොරු කියනවා නෙමෙයි. මගේ ගෝලයෝ සමහරවිට මගෙත් එක්ක ගිහිල්ලා තියෙනවා. ඒ ගොල්ලො එතකොට දැකලා තියනවා මට ඔවුන් ඔවුන්ගේ සොහොයුරියකට වගේ සලකනවා. ඉතිං මේ ගමන් මගේ ලියවිල්ල සරසවනවා.

චීනයට ගියේ මම දෙදාහෙදි විතර. ඒ චීන ගුවන් විදුලියට. ඒක මම යන්න හිතපු ගමනක් එහෙම කිසිම දෙයක් නෙමෙයි. ඒ කාලේ මම සයිමන් නවගත්තේගම එක්ක සයිමන් සමග කියලා වැඩසටහනක් කරනවා. ඒකෙ පිටපතක් තිබුණෙ නැහැ. අපි දෙන්න ඒ වෙලාවට, උදේ මේකප් දානකොට මම හිතාගෙන එනවා මොනාද කරන්නේ කියලා? මම සයිමන්ට කියනවා අද මේක කරමු කියලා. ඊලඟට මම නිකන් කියනවා මම ඔයාගෙන් මෙහෙම අහන්නම්. එතකොට එයා කියනව මම මෙහෙම කියන්නම් කියලා. එහෙම තමා පිටපතක් නැතුව ඒක කෙරුණෙ. එහෙම කර කර ඉන්න අතරේ එක දවසක් මට අශෝක ඩයස් කිව්වා, “අක්කේ ඔයා ආස නැද්ද චීනෙ යන්න කියලා” මම කිව්වා, “මම ආසයි. මට හොඳ අත්දැකීමක්නෙ කියලා.” එහෙනම් අයදුම්පතක් දෙන්න කිව්වා. ඉතින් මම නිකන් මගේ බයෝ ඩේටා එකක් ලියලා දුන්නා. සම්මුඛ පරීක්ෂණයක්වත් නැතුව මාව තෝරාගත්තා. තෝරා ගෙන මම 2000දි චීනයට ගියා.

මම චීනයට යනකොට චීන ගුවන්විදුලියේ වැඩසටහන් තිබුණේ ඉතාම දුර්වල තත්වයක. ඒ නිසා මම මගේ නම කිව්වෙ නැහැ. මම නම කියන්නෙ නැතුව ප්‍රවෘත්ති කිව්වේ. වැඩසටහන් කළේ. අදට සමු ගන්නවා කියලා ඉවර කළා. හැබැයි මගේ නම, කවුද සමු ගන්නෙ කියලා කියන්නේ නැහැ. එතකොට අහන මිනිස්සු හිතන්න ඇති මේ චීන කෙනෙක් තමයි මෙච්චර චතුර විදිහට කතා කරන්නේ කියලා සිංහල. ඒක මට මහා වාසියක් වුණා. මම පොත් හතක් ලියාගත්තා ඒ අවුරුදු 4 ඇතුළත. අනිත් එක මට හොඳ සැප පහසු හොඳ තැනක, ආසියාවේ ලොකුම ගාඩ්න් හොටෙල් එකේ එපාර්ට්මන්ට් එකක ඉන්න ලැබුණා. මම හැම සතියෙම පොත් සාප්පු තියෙන වැන්ග්ෆුජිං වීදියට (Wangfujing Street) ගිහින් පොත් ගන්නවා. තව පෞරාණික වෙළඳපොලක් තියෙනවා. එයින් පරණ පොත් හොයාගෙන එනවා. එතකොට මම පොත් පරිවර්තනය කළා. නාඩගම් කතා දෙකක් අනුවර්තනය කළා නවකතා විදිහට. එහෙ දැකපු මාලිගා, කෞතුකාගාර වල දැකපු දේවල්. මම නිතරම කෞතුකාගාරයට ගියා. මොකද හොඳ ප්‍රදර්ශන තියෙනවා. ඒ කියන්නෙ සමහර ගෝබි කාන්තාරයේ වගේ තැන්වල තියෙන මමී එහෙමම පණ පිටින් තියෙනවා වගේ, සංරක්ෂණය වෙලා. දැන් ඊජිප්තු මමී කළු වෙලා. නමුත් මේවා කළු වෙලා නැහැ.

මම ලංකාවට එනකොට ගුවන් තොටුපළට පනිවිඩයක් එවලා තිබුනා රැකියාවක් සම්බන්ධව. ජනමාධ්‍ය අංශයේ. තිලක් ජයරත්න ඒක එවල තිබුනේ. මම පස්සෙ ඒ රැකියාව ගත්තෙ නැහැ. නමුත් මම වෙන තැනකට ඉල්ලුම් පත්‍රයක් දැම්මා කොහෙද කියලා දන්නේ නැතුව. බලනකොට ඒ ගොල්ලො උතුරේ වැඩ කරන ජාත්‍යන්තර ආයතනයක්. ඒකෙ වැඩ කරපු නිසා මට කිලිනොච්චියෙ, බිම්බෝම්බ නිෂ්කාශනය කරන තැන්වලට එහෙම යන්න ලැබුණා. එතකොට එල්.ටී.ටී.ඊ කාන්තා බලකාවල ඉඳලා ඒවායින් අයින් වෙලා ආපු අය බිම්බෝම්බ නිෂ්කාශන කණ්ඩායම් වල හිටියා. මගේ ඔය එස්.එම්.එස් කියන කෙටි කතාව ලියවුනේ ඒ අත්දැකීම් පදනම් කරගෙන. ඒක දැන් ඉන්දියාවේ විශ්ව විද්‍යාලයකත් උගන්වනවා සහ ඒක දෙමළ බසටත් පරිවර්තනය වෙලා තියෙනවා. ඒක හින්දු , කණ්ණඩ සහ වියට්නාම භාෂාවලටත් ඇවිත් තියෙනවා මම හිතන්නෙ.  ඒ අත්දැකීම මට හරි වාසියක්. වෙන කෙනෙකුට නොලැබෙන අවස්ථාවක්නෙ ඒක. ඒ කාලෙ සටන් විරාමයක් තිබුණට එල්.ටී.ටී.ඊ ය යන්න දෙන්නෙ නැහැ ඒ පැතිවලට. අපේ වීඩියෝ ටීම් එකක් අරගෙන ගියා මම රූගත කිරීමකට. ඒ හැම කෙනාවම එල්ටීටීඊ එක ප්‍රශ්න කළා හරියට. හැබැයි මාව ප්‍රශ්න කළේ නැහැ. නමුත් මට අර ඒ තැන්වලට ගිහින්, ඊළඟට මන්නාරමෙත් බිම්බෝම්බ ඉවත් කරන තැනකට ගිහින් ඒ අඳුර ගත් අය තාමත් මගෙත් එක්ක මිත්‍රයි. “පොදු පුරුෂයා” ලිව්වෙ බිම්බෝම්බ ඉවත් කරන ඒවා බලලා ඇවිත් ඒවත් ඉවර වෙලා. ඒකෙ තියන විදිහටම ඔය විදේශිකයො ඉන්න ගෙයක් තිබුණා. අපි ගිහාම ඒ ගෙදර නවතිනවා. හරිම රස්නෙයි. රෑට ඉන්න බැහැ. රෑ 12 – 1  වෙනකොට ආයෙ ගිහින් නාන්න ඕනෑ. ඒ තරමට රස්නය. මට හිතුණා කොහොමද යුද්ධ කළේ කියලා මේ තරම් උණ‍සුමක් මැද?

අපේ වාර්තා වැඩසටහනට ඕනෑ උනා සාකච්ඡාවක්. හැබැයි ඒකට දාන්න කෙනෙක් හිටියේ නැහැ. ඉතින් අපේ රියදුරෙක්ම තමයි අන්තිමට ඒකට පෙනී හිටියේ, ඒ මනුස්සයාගෙ අහිංසක කමට ඔහු එතන පෙනී සිටියා. දැන් වැඩසටහන කරද්දි මම තිරය දිහා බලන් ඉන්නවා. අනිත් අය ඉදිරිපත් කරනවා. ඒ නිසා මට ඔවුන් එක්ක කතා කරන්න ලැබුනෙ නැහැ. වැඩසටහන අවසානයෙදි මම එතැන හිටපු එල්.ටී.ටී.ඊ කණ්ඩායමේ කෙනෙකුට අතට අත දුන්නා. ඒ පුද්ගලයත් අත දුන්නා. අනේ! එක ඇඟිල්ලයි තිබුණෙ. මට අහු වුණේ ඒ තනි ඇඟිල්ල. ඉතින් කාන්තාවො එහෙම හිටියා පිරිමි අයගෙ ආරක්ෂාවටත්. පිස්තෝල එහෙම තියා ගෙන, කොන්ඩෙ ගොතලා උඩට ගැට ගහලා. ඒ අයගෙ කිසි කෙනෙක් අපිත් එක්ක හිනා වුණේ නැහැ. අර පිරිමි කෙනා විතරක් මම කතා කළාම ඉංග්‍රීසියෙන් කතා කර ගන්න පුළුවන් වුණා එයාට. මම ඔහුගෙත් නම දන්නෙ නැහැ. ඉතින් ඒ අත්දැකීම ලැබුණු නිසා තමයි “පොදු පුරුෂයා” ඒ ආකාරයට පටන් ගන්න පුළුවන් වුණේ. නමුත් ඒකට තව හේතුවක් වුණේ අපි දැක්කා 90 දශකයේ ජනමාධ්‍යය ක්ෂේත්‍රයට ආපු විවිධ ශිෂ්ටයන් මෙන්ම අශිෂ්ටයනුත්. රාජ්‍ය නොවන සංවිධානවල වැඩ කරපු ඉතා අවංක මෙන්න වංක අයවත් දැක්කා. ඉතින් ඒ සියල්ල පාදක වෙන්න ඇති මම හිතන්නෙ ඒ පොතට.

ශ්‍රී වික්‍රම රාජසිංහ වෙල්ලෝරයේ හිඳීම මට හරි සිත් ඇදගන්නාසුළු දෙයක්. මොකද මම කීප සැරයක් වෙල්ලෝරයේ ගිහින් තියෙනවා. ඔහු හිටපු ගෙදරට අදටත් කියන්නෙ කැන්ඩි මහල්. ඊට කලින් හිටපු විජය රාජසිංහගේ කට්ටිය තංජෝරයෙ සිටියේ. ඒකට අදටත් කියන්නේ කැන්ඩි ආරම්මනය. ඒක විකිණුවා, පස්සේ ණය වෙලා. ඒ කියන්නේ මේ අය එහේ ගිහිල්ලා රාජකීය ලීලාවෙන් ඉන්න ගියා. දුප්පත් නෑදෑයොත් එහෙට ආවා.

එතකොට රාජසිංහගෙ ගෙදරට ගියහම මට හරිම දුකක් හිතෙනවා. නිකන් අර එයා අපේ කෙනෙක් වගේ. මේක ඔස්සේ සිංහලයෝ කවුද? මේ අය මලබාර් නෙමෙයි. ඒ අය තෙළිඟු. නමුත් ලංකාවෙ සමහර අය හිතන්නේ මේ අය මලබාර් කියලා. එතකොට මේ දුර්මත. ඊළඟට ආමේනියන්වරු ගැන මම හොයන්න ගත්තා. මොකද ඒ චෙන්නායිවල මිනිස්සුත් ආමේනියන්වරු ගැන වැඩිය දන්නෙ නැහැ. ආමේනියන් පල්ලියක් තියෙනවා. එතකොට චෙන්නායිවල ගොඩක් සමාජ සේවය කලේ ආමේනියන්වරු මුල් කාලයේ. ශ්‍රී වික්‍රම රාජසිංහ වෙල්ලෝරයේ ඉන්නකොට මට එයාගේ කතාව ලියන්න පහසුයි. නමුත් පරිවාරයේ එයාව හිර කරගෙන හිටපු අය, එයාට නීති දාපු අය, එතකොට මදුරාසි ආණ්ඩුකාරයා, මේ ඔක්කොම බලපානවනෙ රාජසිංහගෙ කතන්දරයට. එතකොට මට රාජසිංහගෙ කතන්දරය භාවාත්මක ආදර කතා එක්ක ලියන්න තිබුණා. නමුත් එහෙම ලියන්න මට ඕනෑ වුණේ නැහැ. මට ඕනෑ වුණේ ඓතිහාසික සත්‍යය හැකි තරම් දුරට කිමිදෙන්න.

කැලිෆෝනියාවෙ ගියා ශිෂ්‍යත්වයක් ලැබිලා. ඒ කාලෙ එක පාරට වැඩක් නැහැනෙ මට වෙන. ඒ අවට තිබුණු පන්සල්වලට ගියා. ඒ හාමුදුරුවරු හමුවුණේ නැහැ. ඒ පන්සල් ඇරලා තිබුණා ඔය තායි පන්සල් එහෙම. ඉන්පස්සේ මට දැනුණා නිකන් මගෙ ඇඳ පිටින් පිටින් පාවෙනවා වගේ. මොකද මට කිසි බරක් නැහැ. උයන්න ඕන නැහැ. සල්ලි හෙවීමේ ප්‍රශ්නය නැහැ. එතකොට මම මෙහෙම නිස්කලංකව ඉන්න කොට මට ඒක දැනෙනවා. අතේ පවා එහෙම සංවේදනයක් තිබුණා. මේ ඇඟිලි තුඩුවලට ඒක දැනෙනවා. එතකොට තාත්තා මට පොඩි කාලෙ ඉංග්‍රීසි ධම්ම පදයක් ගෙනත් දුන්නා. අටේ පන්තියෙදි විතර. තාත්තා සල්ලි දීලා ගෙනාවා නෙවෙයි. කච්චේරියේ තාත්තා වැඩ කරන තැන මේසේ කලින් හිටපු කෙනාගේ ලාච්චුවෙ තිබුණු ධම්ම පදයක්. ධම්ම පදය කියවන කොට මට හිතුණා මෙන්න මම හොයපු දෙය. බඳින්න කලින් නිහාල්ට කිව්වා කවදාහරි මට ඕනෑ දේවල්. එකක් පීනන්න යන්න නිදහස ඕනෑ. පුස්තකාලවලට යන්න ඕනෑ. ඉතින් ඊළඟට මම කිව්වා මට කැලේ යන්න ඕනෑ. කවදාහරි මට හිමාල අඩවියට යන්න ඕනෑ. භාවනා කරගෙන ගල්ගුහාවක ඉන්න ඕනෑ. එයා ඒවාට හා කිව්වා. ඒත් එයා හිතන්න නැතුව ඇති කවදාවත් ඒවා කරයි කියලා. මමවත් හිතුවෙ නැහැ. ඉන්දියාවට යන්න ලැබුණම අජන්තා, එල්ලෝරාත් අහම්බෙන් යැවුණා මාව. ඒ තැන්වලට කියලා නොදැනම. අවුරංගබාද් ගිහින් බැහැලා තිබුණ පළවෙනි චාරිකා බසයෙ ගිහින් බලන කොට එල්ලෝරා. ඊළඟ දවසේ අජන්තා. මේ මගේ අත්දැකීම් සයුරෙන් දිය දෝතක් විතරයි. මේ විදිහට බැලුවාම ජීවිතේට ලැබුණ අත්දැකීම් ගිය චාරිකා වින්ඳ විඳීම් තමයි නැවතත් නවකතා කෙටිකතා විදිහට මාතුළින් එළියට ඇවිත් තිබෙන්නේ.

Social Sharing
නවතම විශේෂාංග