වස විෂ නැති ආහාර ඕනෑ නම් මිනිස්සු ඒ ගැන හඬ නැඟිය යුතුයි!

aflatoxin foods Sri Lanka Standards Institution SLS

වෛද්‍ය සංකල්ප මාරසිංහ

විස පොල්තෙල් පිළිබඳව ප්‍රමිති ආයනයත් රජය පාර්ශවයත් නිසි වගකීම සහගත ප්‍රතිචාරයක් නැහැ. එක එක කතා කියන්නේ…

මේකෙදි වෛද්‍යවරයෙක් විදියට මට කියන්න පුලුවන් කාරණාව තමයි අපි මහජනතාව සහ වෘත්තිකයන් හැටියට මේ කාරණාවදී ආහාරවල සුරක්ෂිතතාවය, එනම් ආහාරවල පෝෂණය සහ ඒ අහාර කොතරම් දුරකට වස විෂෙන් තොරයිද කියන එක සෑහෙන්න වැදගත් බව කිවයුතුයි.   අපිට ආහාරයකින් පෝෂණය ලැබෙනවාත් සමගම අපි එම ආහාර නිසා යම් රෝගයක් කරදරයක් නැතිවෙන්න ඕන. ලංකාවේ ගොඩක් අයට මේ පිළිබඳව නිසි අවබෝධයක් නැහැ. පාරිභෝගිකයන්ට මේ පිළිබඳව අවබෝධය නැති නිසාම කාලයක් තිස්සේ වෙළඳ ව්‍යාපාරිකයන් හරහා හෝ වෙනත් නොදැනුවත්කම නිසා හෝ සමහරවිට තක්කඩිකමක් නිසා අපි ඇගට ගන්න ආහාරවල සමහරවිට ඇගට නුසුදුසු විෂ සහ අන්තරායකර ද්‍රව්‍ය ඇතුලත් කර ගත්තා වෙන්න පුලුවන්.

ඇෆ්ලාටොක්සීන් කියන පළිකාකාරක විෂද්‍රව්‍ය පොල්තෙල් තොගයක තිබිලා අහුවුනා කියන මේ පුවත සමග ලොකු ආන්දෝලනයක් ඇතිවෙන්නේ මෙන්න මේ තත්ත්වය අස්සේ. පැවති මාධ්‍ය හමුවකදී විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂා අංශය, ඉතා පැහැදිලිවම කිව්වා මේ ඇෆ්ලාටොක්සීන් පරීක්ෂාව එහෙම නැත්නම් පොල්⁣තෙල් සම්බන්ධයෙන් කරන පරීක්ෂාව අද ඊයෙක පැවති දෙයක් නෙවෙයි සෑහෙන කාලයක් තිස්සේ තියෙන එකක් කියලා. ඒ වගේම රේගුවේ ප්‍රධානියා සමග ඒ විද්වත් මණ්ඩලය සාමූහිකව එකග වුනා විශාල වශයෙන් ලංකාවට පොල්තෙල් තොග ආනයනය කරන්න පටන් ගත්තේ ගියවසරේ සැප්තැම්බර් මාසයට පස්සේ කියලා. ඒ සමග තමයි ඇෆ්ලාටොක්සීන් වැඩි වශයෙන් මෙරටට එන්නේ. නමුත් ඇෆ්ලාටොක්සීන් පොල්⁣තෙල් වැනි ධාන්‍ය ආශ්‍රිතව කෙරෙන තෙල් නිස්සාරණය තිබෙනවා කියන එක විද්‍යාත්මකව සහ වෛද්‍ය විද්‍යාත්මකව ගත්තත් අද ඊයේ හොයාගත් දෙයක් නෙවෙයි.  ඒක අපි දන්නවා  කාලාන්තරයක් තිස්සේ දන්න දෙයක්. විශේෂයෙන්ම මේ ඇස්ෆජිලස් ෆ්ලේවස් කියන දිලීරයෙන් තමයි මේවා නිස්පාදනය වෙන්නේ. රටකජුවල තමයි ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ. සෝයා බෝන්චි සහ තෙල් නිස්සාරණ ඇටවල මේ දිලිරය තියෙනවා. ඒකෙන් අපිට ඇෆ්ලාටොක්සීන් කියන විෂ ශරීරගතවන්න පුලුවන්. උදාහරණයක් වශයෙන් 2019 පල කරපු  වෛද්‍ය විද්‍යාත්මක ප්‍රකාශනයක් තියෙනවා, ඒකෙදී නීරීක්ෂනයක් ලෙස වෙළදපොළ ඇති ඔවුන් පරීක්ෂාවට ලක් කරපු නියදිවලින් 38%ක ඇෆ්ලාටොක්සීන් තිබෙන බව තියෙනවා කියලා හොයාගෙන තියෙනවා.

වගකිවයුතු රටක් අස්සට මෙහෙම විෂ රසායන අඩංගු ආහාර ද්‍රව්‍ය එන්න පුලුවන්ද?

අපේ වගේ රටක් අස්සට විෂ රසායන එන්න පුලුවන් ඉඩක් තියෙන බව තමයි මේ සිද්ධිය අපිට කියන්නේ. රට ඇතුලට විතරක් නෙවෙයි දැන් අපේ කඩවල් වලටත් ගිහින් තියෙනවා. එහෙම වෙන්න පුලුවන්ද. මේකෙන් කියවෙන්නේ රටක් විදිහට අපි කොතරම් දුරකට අසාර්ථකයිද කියන කතාව. අපේ සිස්ටම්ස් හරියට වැඩකරන්නේ නැහැ කියන එක. ඕස්ට්‍රේලියාවට ගිහින් තියෙන කෙනෙක් දන්නවා අඳුරන කෙනෙක්ටවත් කෑම ටිකක් යවන්න බැහැ. යවනවා නම් පරීක්ෂණ කීපයකට ලක් කරලා සීල් කරලා, ලේබල් කරලා, පැක් කරලා යවන්න ඕන. නැත්නම් කොහෙත්ම යවන්න බෑ. ඒ වගේ ඒ රටවල් තුළ ඉතාම දෘඩ ආරක්ෂක ක්‍රමවේදයන් තියෙනවා. විශේෂයෙන්ම අහාරවලට. ලංකාවේ ඇත්තටම ඒම ක්‍රමවේද නැත්තටම නැ කියන්න බැ. අපි බැලුවොත්  ආහාර ආරක්ෂක අංශයක් විශේෂයෙන්ම පවත්වගෙන යනවා. ඒවයේ වි⁣ශේෂඥවරු සහ රජයේ නිලධාරීන් වැඩ කරනවා. ඒ අයගේ දෛනික රාජකාරිය හැටියට මේවා කරනවා. නමුත් ඒ කරන දෙයින් ප්‍රතිලාභ මහජනතාවට ගලා යනවාද කියලා බලන්න ඕන. මේ වෙනකොට විශාල ව්‍යාකුලතාවක් තියෙනවා කියලා පේනවා පොල්තෙල් ගත්තාද, ආපහු යැව්වාද, කඩවලට නිකුත් කරාද  නැද්ද කියලා. මහජන විශ්වාසය බිදවැටිලා. මහජනතාව අපෙන්, දන්න අයගෙන් අහන්නේ මේ පොල්තෙල් හොඳයි ද කන්න පුලුවන්ද කියලා.

දැන් කවුරුත් කිව්වට විස සහිත පොල්තෙල් වෙළඳපොලේ නෑ කියලා කවුරුත් විශ්වාස කරනවද?. විශ්වාස කරන්නේ නෑ. විශ්වාස කරන්න මිනිස්සුන්ට බැහැ. මොකෝ ඒ විශ්වාසය ගොඩනැඟීම නැහැ. මම මීට ටික මොහොතකට පෙර දැකපු දෙයක් තමයි සුපර්මාකට් එකේ තෙල් තියෙන සෙක්ෂන් එකේ කාන්තාවක් තෙල් රාක්ක දිහා නිකං භාවනා කරනවා වගේ බලාගෙන ඉන්නවා. විශ්වාසයක් නෑ කියන එක තමයි ඒකෙන් පේන්නේ. ජනතාව ආරක්ෂා කරන යාන්ත්‍රණය පිළිබඳ මහජන විශ්වාසය නැත්තං එම ආයතන පැවතීමෙන් පවා තේරුමක් නෑ.

දියුණු රාජ්‍යක නම් මම හිතන්නේ නැහැ, ප්‍රමිතිය ආයතනය වගේ ලොක්කන්ට ඔය තනතුරුවල ඉන්න හම්බෙයි කියලා. ඒකෙම අනිත් පැත්ත තමයි සාමාන්‍ය ව්‍යාපාරිකයෙකුට සදාචාරාත්මක අයිතියක් තියෙනවද මෙහෙම විස සහිත භාණ්ඩ ගේන්න.

ඇත්තටම එතන තමයි ගැටලුව තියෙන්නෙ. වගකීම සහ වගවීම අතර ප්‍රශ්නයක් මෙතන තියෙන්නේ.  මේ දේ ඇතිවෙන්න නම් යම් ආයතනයක් හෝ තැනැත්තෙක් වැරැද්දක් කළොත් ඒ වැරැද්දට දෙන දඬුවම මොකද්ද කියන දේ. යම්කිසි ව්‍යාපාරිකයෙකු පරිභෝජනයට නුසුදුසු යම් දෙයක් ආනයනය කළොත් ඒ ව්‍යාපාරිකයාට දිගුකාලිනව බලපැවැත්වෙන යම්කිසි දඬුවමක් පැනවිය යුතුයි. විශේෂයෙන්ම මහජනතාවට පොදුවේ බලපාන සෞඛ්‍ය ගැටලු ඇති කරන දේවල් ආනයනය කළොත්, වසර පහළොවක් විස්සක් හෝ ආහාර වැනි දේ ආනයනය කිරීම තහනම් කරන ක්‍රමවේදයක් තිබිය යුතයි.  ඒ තුළින් තමයි ඒ හික්මීම ලැබෙන්නේ. නැත්නම් අද පරිභෝජනයට නුසුදුසු ලූනු ගෙනල්ලා හදිස්සියේ එය යම් වැටලීමකට ලක් වුණොත් හෙට ඒ අය කරවල ගේනවා.  නැත්නම් අනිද්දට පරිප්පු  ගේනවා. මේ දඬුවම් කිරීමේ ක්‍රමවේදයට සමහරවිට පොඩි මනුස්සයෙක් මොන හරි ගෙනාවම ඒ මනුස්සයා අහු වෙනවා. නමුත් විශාල ව්‍යාපාරිකයෙක් ලේසියෙන්ම ගැලවිලා යනවා. අපි මේ එස්එල්එස් හරි ISO හරි දෙන්නේ ඇයි. මෙහි වගකීමක් යම් කිසි ආයතනයක් ගන්නවා කියලා මහ ජනතාවට එයින් දන්වන්න. නමුත් ආයතනයකින් එහෙම කිව්වට ඒ වගකීම ගන්නවා කියලා  අපි විස්වාස කරන්නෙ නැත්තං, විශ්වාස කරන්නේ නැති තැනට එක ෆේල් වෙලා නම් එවැනි ආයතන පැවතීමේ ඇති වැඩක් නෑ. එතකොට සම්පූර්ණ සිස්ටම් එකම කඩා වැටෙනවා.

නුවරඑළිය ගත්තොත් එහි ගොවියා තමන්ටම කියලා පොඩි කොරටුවක් නඩත්තු කරනවා, ඒකට වස විෂ මොකවත් යොදන්නේ නැහැ, මේ කතාව කියන්නේ අපි රට අස්සේ නිශ්පාදනය කරගන්න ආහාරවලත් මේ ප්‍රශ්නය තියෙනවා කියන දේ නේද?

ආහාරවල තියෙන සුරක්ෂිතතාව සම්බන්ධයෙන්, වස විෂෙන් තොර වීම සම්බන්ධයෙන් පසුගිය කාලෙ රට අස්සේ ලොකු සාකච්ඡාවක් තිබුණා උනාට අපි මහජනතාව වශයෙනි තවමත්, සෞඛ්‍යාරක්ෂිත ආහාරයක් ලැබෙන්න ඕන කියන එක ගැන නැඟී සිටිනවා මදි කියලයි මගේ අදහස. අපි මහජනතා වශයෙන් ඉල්ලා සිටින්න ඕන රජයෙන්, අදාළ ආයතනවලින් පොදුවේ අපට ලැබිය යුතුයි සහ සුරක්ෂිත කළ යුතුයි කියලා අපිට ලැබෙන ආහාරය. එක තමයි රජයක වගකීම. ජනතාවට සේවය කරන රජයක වගකීම එක තමයි.  උදාහරණයකට අඹ ගෙඩි 10යක් කඩෙන් ගත්තොත් ගෙදර අරන් ගියාම ඒකෙන් කීයක් අපිට කන්න පුලුවන් තත්ත්වයක තියෙනවද? පහක්වත් කන්න බෑනේ අපිට හුඟක් වෙලාවට. සාමාන්‍යයෙන් කර්තකොලොමබන් වර්ගය අඹ ගෙඩියක් රුපියල් දෙසීයකට ආසන්නයි මිලත්. ඇපල් ගෙඩියක් රුපියල් 80යි. ඉතින් ඔබ ගත්තොත් ලංකාවේ එක ඇපල් ගෙඩියක්වත් හැදෙන්නෙ නෑ. ලංකාවේ සුපර් මාර්කට්වල ඕනම දවසක වෙලාවක ඇපල් තියෙනවා.  ඇපල් ගැන විවිධ කතා තිබ්බට ඇපල් ගෙඩි පහක් අරන් ගියොත් බොහෝ වෙලාවට අපිට ඇපල් ගෙඩි පහම කන්න පුළුවන්. එතකොට ඇපල් නිෂ්පාදනය කරන රටවල් දියුණු තාක්ෂණය භාවිතා කරලා එය අපනයන කටයුතු කරන්නේ. ඉතින් ඒ හරහා ඒ ආහාරය සුරක්ෂිතභාවය ඇති කරලා තියෙනවා.  අල්පෝන්සු කියන අඹ වර්ගය ලංකාවේ වෙළෙඳපොළ තියෙනවනේ. ඒවා වෙළඳ නාමයක් සමග එන්නේ. ඉතින් කරත්ත කොලොම්බන් අඹ ගෙඩියයි අල්පොන්සු අඹ ගෙඩියයි ගත්තොත් විශේෂම සුරක්ෂිතභාවය සහ කොලිටි එක සලකද්දි අල්පොන්සු අඹ ගෙඩිය වඩා හොඳයි කියන එක කියන්න වෙනවා. මොකද ඒක යම්කිසි ප්‍රමිතිකරණයකට යටත්ව තමයි නිශ්පාදනය සහ ඇසිරීම ප්‍රවාහනය කරලා තිබෙන්නේ. එතකොට ඇයි අපි  ඉල්ලන්නේ නැත්තෙ අපිට කර්තකොලම්බන් අඹ ගෙඩියකුත් මෙහෙම දෙන්න කියලා. අපි ආහාරවල විතරක් නෙවෙයි කිසිම දෙයක ප්‍රමිතිය එතරම් තකන්නේ නැති ජාතියක්. මගෙ අදහස මහජනතාව හැමවෙලේම ඒ සඳහා නැගී සිටින්න ඕන කියන එකයි මගේ අදහස.

යම්කිසි ආහාර නිෂ්පාදනයක එම අදාළ සංඝටක සහ දේවල් නැත්නම් ඒක හොර බඩුවක්. එය තහනම් වෙළඳ වෙළෙඳ භාණ්ඩයක් බවට පත් වෙන්න ඕන. අන්න ඒ මට්ටමට රටේ නීතිය තහවුරු වෙන්න ඕන.  උදාහරණයක් වශයෙන් යම් ආහාරක ඇති කල්තබා ගැනීමේ දේවල්, රසකාරක යම් රාමුවක් ඇතුලේ නාමකරණය කරන විදිහක් තියෙනවා. දැන් අපි කීයෙන් කී දෙනෙක් බලනවද සැකසු ආහාරයක් ගන්නකොට පැකට්ටුවේ තියෙන රසකාරක, වර්ණකාරක සහ කල්තබා ගැනීමේ කාරක කොහොමද කියලා. අපි ඒ පිළිබඳ අඩුම ගානේ සැලකිලිමත් වෙනවාද? දැනුවත්ද.  දේශපාලනයෙන් තොරව පසුගිය රජය සමයේ පැවති සෞඛ්‍ය අමාත්‍යාංශය ගත්ත තීරණයක් තමයි ආහාරවල තියන සීනි ප්‍රමාණය සළකුණු කිරීම, සම්පූර්ණයෙන්ම නැති උනත් හුඟක් ආහාරවල පවතින සීනි ප්‍රමාණය පිළිබඳ අවධානයක් දීලා තියෙනවා. මොකද ශරීරයට අධික සීනි ප්‍රමාණය අහිතකරයි. ඉතින් ඒ වගේ දේවල් අපි ඉල්ලන්න ඕන.

නිශ්පාදකයා විසින් කියන දේ ආහාරය තුළ නැත්නම් සහ නිශ්පාදකයා විසින් කියන දේට අමතර දෙයක් ආහාරය ඇත්නම් ඒ පිළිබඳ දැඩි විරෝධයක් එල්ල වෙන්න ඕන. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් කිරිපිටි වර්ගවල, වෛද්‍යවරුන් විදියට අපි ජීවිතේට අහලා නැති විටමින් වර්ග සහ අංශු ගැන වෙළඳ ප්‍රචාරයන් යනවා. එහෙම ඒවා ලෝකෙ හොයා ගෙනත් නෑ තාම. ඒ වාගේම මොලේ වර්ධනය, වෙනවා අස්ථි වර්ධනය වෙනවා වාගේ විවිධ ඒවා කියනවා. ඉතින් මේ වගේ විවිධ දේවල් කරන්න ඉඩ දෙන්න බැහැ. ඉතින් ඒකට නීතිය රජයෙන් ගෙනාවේ නැත්නම් ජනතාව ඉල්ලලා හරි ගන්න ඕන. එහෙම කරන්න බෑ. හුඟක් අය හිතන් ඉන්නවා පොඩි අයට දෙන කිරිපිටි වල මොලේ වර්ධනය වෙන විශේෂ දෙයක් තියෙනවා කියලා. ඇත්තටම හුඟක් වෙලාවට කරන්නේ කිරි ආහාරයක තියෙන සංඝටකයකට ඒගොල්ලො වෙන නමක් දෙනවා. හැබැයි ඒකත් අනික් ඒවා වගේම තමයි.

පොඩි අයට දෙන ඇස්ට්‍රා පිළිබඳ ප්‍රසිද්ධ නඩු තීන්දුවක් තියෙනවා. හැබැයි ඒක අපි කවුරුත් දන්නෙත් නෑ. ඒ තීන්දුවට අනුව ඒ සමාගම කටයුතු කළාද කියලා දන්නෙත් නැහැ..

ඒක හොඳ උදාහරණයක්, මං හිතන්න අනුරාධපුරේ දිස්ත්‍රික් අධිකරණයේ දාපු නඩුවක් එක. මම දන්නෙ නෑ ඒ දාපු පුද්ගලය කවුද කියලා. නමුත් මට හරි සන්තෝසයි. එක පුරවැසියෙක් ඉඳලා තියෙනවා ඒ පුරවැසියාගේ අයිතිවාසිකම් පිළිබඳව බැරෑරුම්ව හිතන. ඒ පුරවැසියෙක් නිසා තමයි අපි හැමෝටම එකේ ප්‍රතිලාභය ලැබෙන්නේ. එක පුරවැසියකුට පුළුවන් උනා ඒ ක්‍රියාවලිය කරන්නේ. ඔය වගේ උදාහරණ ගොඩක් තියෙනවා නමුත් මේක ඉතා ප්‍රචලිත උදාහරණයක්.  වෙළෙඳ ව්‍යාපාරිකයන් විසින් පාරිභෝගිකයාට කරන ඒ වගේ තක්කඩිකම් තියෙනවා. අපි ඒවා නෑසූ කනින් ඉන්නවා. ඉතින් එහෙම ඉඩ තියන්න බෑ. මම දැකලා තියෙනවා බොහෝ අය ඔය ආහාර පැකට්ටුවල වෙනත් අපද්‍රව්‍ය තිබිච්ච අවස්ථාවල සෝෂල් මීඩියාවල වගේ දේවල්වල හඬ නගනවා.  සමහරු එක එහෙම විසිකරලා දාලා වෙන එකක් අරන් කනවා බොනවා. පුරවැසියාගේ වගකීම වෙන්ඩ ඕන ඒ අවස්ථාවලදී පෙනී සිටීම.

Social Sharing

Related posts