රටේ සංවර්ධන කටයුතු වෙනුවෙන් වැලි අවශ්‍ය වෙනවා. සම්ප්‍රදායිකව ඉදිකිරීම් සඳහා වැලි ලබාගත්තේ ගංගා, ඇල දොල පතුලෙන් ගොඩදැමීමෙනි. එහෙත්, අධික ලෙස වැලි කැනීම නිසා මේ වන විට ගංගා පතුල් ගැඹුරු වීම, ඉවුරු කඩා වැටීම, නියං සමයේ ලුණු ජලය ඉහළට ගලා ඒම, පානීය ජලයේ ලවණතාව ඉහළ යාම වැනි ගැටලු රැසක් නිර්මාණය වී තිබේ. එම නිසා ගංගා ඇල දොලවලින් වැලි ගොඩදැමීම සීමා කිරීම සඳහා රජය පියවර ගෙන තිබේ. ඒ සමගම වැලිවල ඉල්ලුම ඉහළ ගොස් මිල ද වැඩි වී ඇත. වර්තමානය වන විට වැලි කියුබ් එකක මිල රු. 20,000ට වැඩිය.
ඉදිකිරීම් සඳහා අවශ්‍ය වැලි වෙනුවට විකල්පයක් නැත. එබැවින් වැලි ගොඩදැමීම සඳහා විකල්ප ක්‍රම අවශ්‍යය. මුහුදු වැලි සෝදා පාවිච්චි කිරීම තරමක් මිල අධිකය. ඒ වෙනුවට මෑතක සිට වර්ධනය වී තිබෙන ප්‍රවණතාවක් වන්නේ කුඹුරු වැනි පහත් බිම්වලින් වැලි කැණ, සෝදා අලෙවි කිරීමයි.
එම වැලි ලබාගැනීම සඳහා සිදුකරනු ලබන නීතිවිරෝධී ක්‍රමවේදයන් නිසා අද වන විට ලංකාවේ විශාල පරිසර හානියක් සිදුවී තිබේ.
එම පරිසර හානිය කොතෙක්ද කිවහොත් අද වනවිට ඇතිවන ගංවතුර, නායයෑම්, මුහුදු වෙරළ ඛාදනය, සරුසාර කුඹුරු ඉඩම් විනාශ වීම මෙන්ම යළි ගොඩ නොකරන ලද වැලි වළවල් නිසා ඇතිවන පාරිසරික බලපෑම හේතුවෙන් එම ප්‍රදේශ තුළ ජනතාවට ජීවත්වීමට පවා නොහැකි තත්වයන් උදාවී ඇත.
කෙසේ නමුත් පරිසර අමාත්‍යාංශය මගින් ලබාගත් තොරතුරු වලට අනුව, ලංකාව තුළ 2012 වර්ෂයේ සිට 2021 මාර්තු මස දක්වා පමණක් කැනීම් බලපත්‍ර 3441ක් සඳහා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශ මගින් අවසර ලබා දී තිබෙන බව අනාවරණය කර ගැනීමට හැකිවූ අතර ඒ අතුරින් වැඩිම බලපත්‍ර ප්‍රමානයක් ලබාදී ඇත්තේ 2019 හා 2020 වර්ෂයන් තුළ බවද අනාවරණය කර ගැනීමට හැකි විය.
එමෙන්ම භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශ නීති රෙගුලාසි වලට අනුව යම් වැලි කැනීම් ස්ථානයක් සදහා බලපත්‍ර ලබාදෙන විට එම ස්ථානය නැවත පුනරුත්ථාපනය කිරීම සදහා අදාළ බලපත්‍ර ලාභියාගෙන් බැදුම්කරයක් ලබාගත යුතුවේ. නමුත් ඒ ආකාරයෙන් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශ මගින් බැදුම්කර ලබාගෙන තිබුනත් 2012 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා පමණක් නැවත පුනරුත්ථාපනය නොකරන ලද කැනීම් ස්ථාන 950ක් වාර්තා වන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශ මගින් පරිසර අමාත්‍යාංශයට ලබාදුන් පාරිසරික වර්තාවක සඳහන් වේ.
නමුත් පරිසර හානිය අවම කර ගැනීම උදෙසා බැදුම්කර ලබාගෙන මේ ආකාරයෙන් වසර ගණනක් යන තුරු එම ස්ථාන නැවත පුනරුත්ථාපනය කිරීමට කටයුතු නොකළ අදාළ කැනීම් බලපත්‍ර ලාභින්ට එරෙහි නිතිය ක්‍රියාත්මක කිරීමට භු විද්‍යා හා පතල් කාර්යාංශය මගින් කටයුතු නොකිරීමේ පසු බිම මත බොහෝ සරු සාර භුමි ප්‍රදේශ තුළ අද වනවිට ඉතිරිව ඇත්තේ වැවු මෙන් සමාන විශාල වළවල් පමණි.
මේ ආකාරයෙන් ගොඩ නොකරන ලද ස්ථාන රාශියක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වලේවන්ත, මාමඩල, ජන්සගම යන ග්‍රාම නිලධාරී කොට්ඨාස තුළ දක්නට ලැබෙන අතර බොහොමයක් වැලි කැනීම් කරන ලද ස්ථාන මිට වසර 12කටත් වඩා පැරණි ස්ථාන වේ. නමුත් පසුගිය කාලය තුළදී භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශ මගින් නිසි අයුරින් එම ස්ථාන අධික්ෂණය නොකර සිටීමේ පසුබිමක් තුළ හා ඒවා නැවත පුනරුත්ථාපනය කිරීමේ සම්බන්ධයෙන් නිතිය ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් අද වන විටත් එම ප්‍රදේශයේ එම වලවල් ජලයෙන් පිරි පවතින්නේ ප්‍රදේශයේ ජනතාවගේ ආරක්ෂාවට හා ජනජිවිතයටද තර්ජනයක් වන ආකාරයෙනි.
මෙම ප්‍රදේශයේ මාර්ගයන්ට යාබදව පවතින මෙම අනාරක්ෂිත වැලි වලවල් හේතුවෙන් එම මාර්ගයන්හි ගමන් ගන්නා ජනතාවට තරජනයක් විය හැකි බවයි ප්‍රදේශයේ ජනතාව කියා සිටින්නේ. මෙවැනි හේතුන් මෙන්ම ප්‍රදේශයේ පවතින අනෙකුත් පාරිසරික තත්වයන් හා වැලි කැණීම් කරන්නන්ගෙන් ප්‍රදේශයේ ඉඩම් සදහා ඉහල මුදලක් ලැබීමත් පදනම් කර ගනිමින් මේ වනවිට බොහෝ දෙනකු ඉඩම් විකුණා වර්තමානය වන විටත් ප්‍රදේශයෙන් ඉවත් වන බවයි ප්‍රදේශයේ ජනතාව පෙන්වා දෙන්නේ,
විශේෂයෙන්ම මේ ආකාරයෙන් වැලි කැනීම් කරන පුද්ගලයින් විසින් නිරන්තරයෙන් වැලි රැස්කිරීමේ මධ්‍යස්ථාන පවත්වාගෙන යන්නේ නගරයට ආසන්න ස්ථානයකය. මෙහිදී එම ස්ථානයට වැලි කැනීම් සිදුකරනු ලබන ස්ථානයේ සිට වැලි ප්‍රවාහනය කිරීමේදී සිදුවන මාර්ග හානිය හා ජනතාවට සිදුවන පිඩාව සුළු පටු නොවේ. එයට මුලික හේතුවක් වී ඇත්තේ නියමිත රෙගුලාසි වලට අනුව වැලි ප්‍රවාහනය නොකිරීමත්, තරඟකාරී වැලි ප්‍රවාහනය කිරීමයි. එහිදී රුපියල් මිලියන ගණන් වැයකර තනන ලද මාර්ග පවා මේ වනවිට අබලන් වෙමින් පැවතුනත් ඒ සිදුවන රාජ්‍ය දේපල හානිය සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන පනතේ රෙගුලාසීන් හෝ පොලිසිය මගින් ක්‍රියාත්මක කළ හැකි නීති පවා මොවුන් වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට බලධාරීන් සමත් නොවන්නේ කුමක් නිසාද යන්න බරපතල ගැටලුවකි.
එමෙන්ම ලංකාවේ අනෙකුත් ප්‍රදේශ තුළ මෙන්ම අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වලේවන්ත, මාමඩල, ජන්සගම යන ග්‍රාම නිලධාරී කොට්ඨාස ඇතුළු ප්‍රදේශ කීපයක දක්නට ලැබෙන අනෙකුත් බරපතල ගැටලුවනම් කුඹුරු ඉඩම්තුල වැලි කැනීම වේ.
මේ ආකාරයෙන් කුඹුරු ඉඩම් වෙනත් කාර්යයන් සඳහා යොදා ගැනීම නීතිවිරෝධී වුවත් ගොවි ජනසේවා නිලධාරීන් නිසාවෙන් මෙම ප්‍රදේශය තුළ පවතින කුඹුරු ඉඩම් අනවසරයෙන් ගොඩ කිරීම සදහා මෙන්ම සිදුකරන වැලි කැනීම් සම්බන්ධයෙන් ගොවිජනසේවා නිලධාරීන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බව මිට පෙර අවස්ථා කීපයකදීම තොරතුරු දැනගැනීමේ පනත මගින් ලබාගත් තොරතුරු මගින් අනාවරණය කර ගැනීමට හැකිවිය.
මෙවන් පසුබිමක තවදුරටත් මේ සම්බන්ධයෙන් සිදුකළ සොයා බැලීමකදී අනාවරණය කර ගැනීමට හැකි වූයේ හම්බන්තොට දිස්ත්‍රික් ගොවිජනසේවා සහකාර කොමසාරිස් කාර්යාලය මගින් කුඹුරු ඉඩම් තුළ වැලි කැණීමට පවා සූක්ෂම අයුරින් නිරිදේශයන් ලබා දී තිබෙන බවයි.
මෙම කුඹුරු විවිධ පුද්ගලයන් මිලට ගෙන පසුව සූක්ෂම ලෙස පුරන් කරමින් හෝ කෙසෙල් වගා කිරීමට කටයුතු කර හෝ වෙනත් කටයුතුවලට යොදාගැනීම සිදුවේ. පසුව එම කුඹුරු වගාකළ නොහැකි කුඹුරු සේ පෙන්වීමට වැලි කැනීම් සිදුකරන පුද්ගලයින් කටයුතු කරයි.
මේ සදහා කදිම වර්තමාන සාක්ෂියක් වන්නේ ලුණම ගොවිජනසේවා බලප්‍රදේශයට අයත් ජංසගම ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ ඇති අක්කර දෙකක වපසරියකින් යුත් ”දෙබරගස්මුල්ල නොහොත් ජංසගම කුඹුර ” තුළ වැලි කැනීම සඳහා නිර්දේශ ලබාදීමට දිස්ත්‍රික් ගොවිජනසේවා සහකාර කොමසාරිස්වරයා විසින් කටයුතු කර තිබීමයි.
එමෙන්ම 2020 වසරේ ජූලි 21 දින මේ සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත යොමු කරන ලද තොරතුරු ඉල්ලුමට අනුව 2020 අගෝස්තු 17 දින ලැබුණු තොරතුරු මගින් අනාවරණය වුයේ, ගොවිජනසේවා දෙපාර්තමේන්තුවේ හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාලයේ හිටපු ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස්වරයාගේ නිල මුද්‍රාව හා අත්සනින් යුක්තව 2020 ජූලි 02 දින ලිපි අංක 9/3/6/5/1 මගින් සඳහන් කර ඇත්තේ අදාළ කුඹුරු ඉඩම උසින් පිහිටීම හේතුවෙන් වතුර රඳවා ගැනීමට නොහැකි නිසා අදාළ ව්‍යාපෘතිය සදහා අවශ්‍ය කටයුතු වෙනුවෙන් නිර්දේශ ඉදිරිපත්කරන බවයි.
එමෙන්ම අදාල වැලි කැනීම අවසන් වන තුරුම තොරතුරු දීමට හම්බන්තොට ගොවිජනසේවා දිස්ත්‍රික් කාර්යාලයේ තොරතුරු නිලධාරියා හෝ අභියාචනා නිලධාරියා කටයුතු නොකර සිටියත් මේ අතරතුර අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් තොරතුරු දැනගැනීමේ පනතට අනුව ලබාගත් තොරතුරු අනුව මේ සම්බන්ධයෙන් වැඩිදුර සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වුයේ හම්බන්තොට ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලයේ ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරුවරයා විසින් 2020 මාර්තු 03 දින ලිපි අංක DIE/H/වW2/2020/36 මගින් නිකුත්කරන ලද ලිපියේ පැහැදිලිව සඳහන් කර ඇත්තේ ”මෙය කුඹුරු ඉඩමක් බැවින් ජලය ලබාගැනීමට කිසිදු අපහසුතාවයක් නොමැති අතර ගොඩ වැලි කැපීම් බලපත්‍රයක් ලබාදීම සදහා නිර්දේශ නොකරන බවයි”.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ හම්බන්තොට ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරුවරයා අදාළ කුඹුරු ඉඩම සඳහා ජලය ලබාගැනීමට කිසිදු අපහසුතාවයක් නොමැති බව සඳහන් කර තිබුනත් ගොවිජනසේවා ප්‍රාදේශීය ඉංජිනේරුවරයා එම කුඹුරු ඉඩම සඳහා ජලය ලබාගැනීමට නොහැකි බව දන්වා තිබේ. ආයතන දෙකක එකම කාර්යයන්ට අයත් නිලධාරීන් මේ ආකාරයෙන් වෙනස් නිර්දේශයන් ලබාදීම තුළ මෙම නිලධාරීන්ගේ දෙබිඩි පිළිවෙත මනාව වැටහී යනු ඇත. එමෙන්ම රාජ්‍ය නිලධාරීන් මේ ආකාරයෙන් වගකීම් විරහිතව හැසිරින්නේ කුමන වරප්‍රසාදයක් උදෙසා ද යන්න සම්බන්ධයෙන් ද ඇත්තේ බරපතල ගැටළුවකි.
එමෙන්ම 2014 අංක 46 දරන ගොවිජනසේවා සංවර්ධන (සංශෝධන ) පනතින් සංශෝධිත 2000 අංක 46 දරන පනතේ 30 වන වන්ගන්තියට අනුව මෙන්ම ගොවිජන සංවර්ධන කොමසාරිස්වරයාගේ අංක 01/2020 සහ 2020/01/01 දිනැති දෙපාර්තමේන්තු චක්‍රලේඛය අනුව යම් කුඹුරු ඉඩමක දීර්ග කාලින බෝගයක් වගා කිරීමට පවා ගොවිජන සංවර්ධන කොමිසාරිස්වරයාගේ අවසරය ලබා ගත යුතුය. එමෙන්ම ගොවිජන සංවර්ධන ජනරාල්වරයාගේ ලිඛිත අවසරයක් නොමැතිව අනවසරයෙන් කුඹුරු ගොඩකරන අවස්ථාවේදී එම ක්‍රියාව තවදුරටත් සිදුකිරීම වැලැක්වීම සදහා විෂයගත කුඹුරු ඉඩමට අදාලව 2011 අංක 46 දරන ගොවිජන සංවර්ධන (සංශෝධිත) පනතින් සංශෝධිත 2000 අංක 46 දරණ ගොවිජන සංවර්ධන පනතේ 33 වගන්තිය යටතේ එම ක්‍රියාව වැලක්වීම සදහා අතුරු ආඥාවක් ලබාගැනීමක් සහ එම ආඥාව ස්ථිර ආඥවක් බවට පත්කර ගැනීමට කටයුතු කරනු ලැබිය යුතුය.
මේ ආකාරයෙන් නීති පනවා ඇත්තේ හුදු කුඹුරු ඉඩම් ආරක්ෂා කරගැනීමට වුවත් මෙම නිලධාරීන් තමන්හට නිත්‍යානුකුලව ලැබී තිබෙන බලය අවභාවිත කරමින් මේ ආකාරයෙන් කුඹුරු තුළ වැලි කැණීමට අවසරදීමෙන් සිදුවන්නේ ප්‍රදේශයේ අනෙකුත් කුඹුරු ඉඩම් සදහා ද ජලය රඳවා ගැනීමට නොහැකි තත්වයකට පත්කිරීමය. එහිදී එසේ ජලය රඳවා ගැනීමට නොහැකි කුඹුරු තුළ ද වැලි කැණීමට බලපත්‍ර ඉල්ලා සිටියහොත් එය ලබාදීමට ගොවිජන සේවා නිලධාරීන් ඒ සදහා නිර්දේශ නිකුත් කළයුතු නොවේ ද? ගොවිජනසේවා නිලධාරීන්ගේ මෙම නීතිවිරෝධී අවසර ලබාදීම් තුළ අහිමි වන්නේ මෙරටේ මිනිසුන් හට අවශ්‍ය බත සපයන කුඹුරු වීම කණගාටුවට කරුණකි.
මේ ලෙසින් අම්බලන්තොට වලෙවත්ත, මාමඩල ඇතුළු ප්‍රදේශ තුළ පමණක් මීට වසර 14කට පෙර සිට වලවේ ගඟ පිහිටි ඉවුර ආසන්නයේම ගොඩ වැලි කපන ලද වැලි වලවල් තවමත් නිසි ලෙස ගොඩ නොකිරීම හේතුවෙන් එහි විශාල වලවල් පිහිටා ඇති අතර එම ස්ථාන කිහිපයක්ද දක්නට ලැබේ.
කෙසේ නමුත් මේ සිදුවන පරිසර විනාශය හමුවේ නීතිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් බලධාරීන් ඉබි ගමනින් කටයුතු කටයුතු කළහොත් සිදුවන්නේ මෙම පරිසර විනාශය තවදුරත් වර්ධනය වීම පමණි.