දූෂණ විරෝධී ජාතික සැමරුමේ දී ජනාධිපතිගෙන් කොමිසමට දොස්මුරයක්..!

දූෂණය සහ අල්ලස සමාජ ඛේදවාචකයක් බවට පත්ව තිබෙන අතර 2013 ජාත්‍යන්තර දර්ශක අනුව 79 වන ස්ථානයේ පැවති ශ්‍රී ලංකාව 2023 වසර වන විට 115වන ස්ථානයට පැමිණීම නිසා ජාත්‍යන්තර දූෂණ විරෝධී දින සැමරීම සිදු කරනු ලබන්නේ මන්දැයි ජනාධිපතිවරයා ප්‍රශ්න කළේය. වසරෙන් වසර දූෂණය සහ වංචාව වැඩිවීමක් සිදුව ඇති බවත් එය ලබන වසරේදී අවම කර ගැනීමට නොහැකි නම් ජාත්‍යන්තර දින සැමරුම් පැවැත්වීමේ වටිනාකමක් නොමැති බවද ජනාධිපති අනුර කුමාර දිසානායක පෙන්වා දුන්නේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කරේ, “සුපිළිපන්න හෙටක් සඳහා තාරුණ්‍යය එකමුතු කරමු ” තේමාව යටතේ “2024 ජාත්‍යන්තර දූෂණ විරෝධී දින ජාතික සැමරුම”  වෙනුවෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ (BMICH) ඊයේ (09) පැවැති උත්සවයේදීය.

එහිදී වැඩිදුටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,

“නඩු ඉල්ලා අස්කරගන්නවා නම් අපි පැහැදිලි කළ යුතුයි. ඇයි අපි ඉල්ලා අස්කරගන්නේ කියලා. ලිපිගොනු හත, අට ලාච්චු අස්සේ හිරවෙනවා නම් අපි ජනතාවට පැහැදිලි කළයුතු නැද්ද ඇයි හිර වෙන්නේ කියලා. ඒ නිසා මම කියන්නේ අපේ මේ මුළු දේහය පද්ධතියක් ලෙස කඩා වැටිලා තියෙන්නේ. යළි අපේ රට ගොඩනගනවා නම් මේ සමස්ත පද්ධතියම ප්‍රතිස්ථාපනයට ලක්කළ යුතුයි. එහෙම නැතුව කුඩා නීතිමය ප්‍රශ්නයකින්, කුඩා ආයතයක් ප්‍රතිව්‍යුහගතකිරීමෙන් පමණක් මේ කාර්යය සම්පූර්ණ කරගන්න බැහැ. ඒකට මගේ අවුරුදු 05 ගත කරන්න පුළුවන්. නීති දෙකක් හදලා දීලා. ආයතනය ව්‍යුහයක් ප්‍රතිව්‍යුහගතකරලා දීලා මට අවුරුදු 05න් බැහැලා යන්න පුළුවන්. හැබැයි වෙනස් කරනවානම් මේ සමස්තය යළි ප්‍රතිෂ්ඨාපනය කිරීමෙන් තොරව මේ ජයග්‍රහණ අත්පත්කරගන්න බැහැ. මා උත්සාහ කරනවා මේ සමස්ත පද්ධතියම යළි ප්‍රතිෂ්ඨාපනය කරලා මේ රාජ්‍යය සුවපත් රාජ්‍යයක් බවට පත් කරන්න. එක තමයි මගේ අපේක්ෂාව.”

“එක අවුරුද්දක අල්ලස් කොමිසමෙන් දඬුවම් ලබාදීලා තිබුණේ PC මහත්වරු දෙන්නෙකුයි, එක ග්‍රාමසේවක මහත්තයෙකුටයි, SI මහත්තයෙකුටයි, ලිපිකරුවෙකුටයි. මගේ මතකෙන් මම කිව්වේ තව දෙන්නෙක් වගේ හිටියා. ඒ කියන්නේ මේ නීතිය ක්‍රියාත්මක වී තිබෙන්නේ මකුළු දැලක් වගේ පොඩි සත්තු පැටලෙනවා. ලොකු සත්තු මකුළු දැල බිඳගෙන යනවා. එහෙම නීතියක් තිබෙන බව, එහෙම නීතිය ක්‍රියාත්මක වෙන බව මේ රටේ පුරවැසියන් දන්නවා. හැබැයි අපි කවුරුත් දන්නවා නීතිය ක්‍රියාත්ම වෙනවා වගේම නීතිය සාධාරණව ඉටුවෙනවා කියලා ජනතාවගේ විශ්වාසයක් ගොඩ නැඟිය යුතුයි. මම කියන්නේ අද ජනතාව තුළ එහෙම විශ්වාසයක් නැහැ.”

මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ, බලය හොබවන පුද්ගලයින් සිය වගකීම හා යුතුකම නිසි ලෙස ඉටු නොකරන්නේ නම් නීති තීබීමෙන් ප්‍රතිඵලයක් නොමැති බවය.

අල්ලස් කොමිසමේ පසුගිය ක්‍රියාකාරීත්වය පිළිබදව අදහස් දැක්වූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා පවසා සිටියේ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකරනු ලබන විමර්ශන වලින් වැඩි අවධානයක් යොමුව තිබෙන්නේ පහළ මධ්‍යම හා පහළ ශ්‍රේණිවල නිලධාරීන්ගේ හා සේවකයින්ගේ  ක්‍රියාකලාප වෙනුවෙන් බවත්, එය අල්ලස සහ දූෂණය මැඩලීමේ සංග්‍රාමයට බලවත් පහරක් බවත් පවසීය.

2023 වසරේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ ප්‍රගති වාර්තාවේ සඳහන් වූ කරුණු ඉදිරිපත් කරමින් ඔහු පෙන්වා දුන්නේ, එම වසරේදී කොමිෂන් සභාව විසින් සිදුකළ අල්ලස් ලබාගැනීමේ විවිධ සිදුවීම්වලින් සැකකරුවන් 57ක් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි.

ඉන් රාජ්‍ය කළමනාකරණ හා නායකත්ව ධුරයන් දරූ සැකකරුවන් සංඛ්‍යාව 19ක් බව පැවසීය. මේ අතර 2023 වසරේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට, අල්ලස් හා දූෂණ පැමිණිලි හා තොරතුරු 3,431ක් ලැබී ඇති බව අනාවරණය කළේය.

එම පැමිණිලිවලින් 1,152ක් හා පෙර වසරවල සිදුකළ විමර්ශන ද ඇතුළුව 2023 වසරේ දී පමණක් විමර්ශන 3,219ක සිදුකර අවසන් බව පැවසීය. කෙසේ නමුත් එම විමර්ශනවලට අදාළව නඩු පැවරීම් සිදුකර ඇත්තේ 60ක් පමණක් බවත්, මෙය එළියේ සිට බලන නිරීක්ෂකයෙක්ට තරමක් දුරට ගැටලු සහගත තත්ත්වයක් බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා පැවසීය.

මෙහිදී ඔහු හෙළිකළ තවත් කරුණක් වූයේ, අල්ලස් හෝ දූෂණ සිදුවීමක් සම්බන්ධයෙන් නිශ්චිත පැමිණිල්ලක් කොමිෂන් සභාවට ලැබෙන්නේ නැතුව ස්වඋත්සාහයෙන් විමර්ශන ආරම්භ කිරීමට 2016 වසරේදී නීතියෙන් අවසර ලබාදුන් බවයි.

එහෙත් 2023 ප්‍රගති වාර්තාවේ ඒ ආකාරයෙන් කරන ලද විමර්ශන තිබුණේ නැද්ද..?, ඒවායේ තත්ත්වය කුමක්ද..? යන්න පිළිබඳ කිසිවක් සඳහන් නොවීම කනගාටුවට කරුණක් බව හෙතෙම පැවසීය.

කෙසේ නමුත් මෙම තත්ත්වයට හේතුව කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් සහ නිතී නිලධාරීන්ගේ මන්දගාමී ස්වරූපය බව තමන් මොහොතකට හෝ විශ්වාස නොකරන බව ඔහු පෙන්වා දුන්නේය. කොමිෂන් සභාව සතු වත්මන් මානව සම්පත් පමණක් භාවිත කර මෙම විමර්ශනවලට සාර්ථක ඉදිරි පියවර ගත නොහැකි බවද යසන්ත කෝදාගොඩ මහතා පැවසීය.

 

 

Social Sharing
අවකාශය නවතම