ප්‍රධාන ආහාරය වන සහල් නිෂ්පාදනය හා වී ගොවිතැන හා බැදුණු ප්‍රශ්න කෙලකෝටියක් පවතින බව නොරහසකි. නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග අපේ රටේ ආහාර නිෂ්පාදනයේ ද අර්බුද රාශියක් පැන නැගී ඇත. කොරෝනා ව්‍යසනය සමයේ මේ රටේ සහල් හිගයක් හිටි හැටියේ ඇති විය. මේ සහල් හිඟය ඇති වූයේ අර අප මුලින් සදහන් කළ වී හා සහල් නිෂ්පාදනය ආශ්රිත කර්මාන්තකරුවන්ගේ ගැටලුවක් ලෙසය. එල එලියට පැන්නේ මහා පරිමාණ සහල් නිෂ්පාදකයින් සහල් තොග සගවමින් වී තොග සගවමින් සහල් නිෂ්පාදනය අඩාල කර බොර දියේ මාලු බෑමට සැරසෙන බව කියමිනි.
මහ පරිමාණ සහල් ව්‍යාපාරිකයින්ගේ නැඟි සිටීම
සාමාන්‍යයෙන් අපේ රටේ සහල් මිල ඉහළ පහල යෑමත් වී මිල ඉහල පහල යෑමත් මේ මහා පරිමාණ මෝල් හිමියන් නැතිනම් මහ මෝල්ලුන් කිහිපදෙනෙකු අත රදා පවතින බව මුලු රටේම විශ්වාසයයි. එහි සත්‍යතාවක් නැත්තේ ද නොවේ.
මහා පරිමාණ සහල් නිෂ්පාදකයින්ගේ මේ සෙල්ලමටත් අද වන විට වසර 25ක් පමණ ගත වී ඇතැයි කිව හැකිය. ඒ කියන්නේ කන්න නම් 50ක් පමණය. අපේ රටේ සහල් ඒකාධිකාරය මහා පරිමාණ මෝල් හිමියන් කිහිප දෙනෙකු අතට පත් වීමට එතෙක් මෙතෙක් සිටි සියලු ආණ්ඩු වග කිව යුතු ය. 1971 සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ සමගි පෙරමණු ආණ්ඩුව දේශීය ව්‍යාපාර ආරම්භ කිරීමටත් ඊට රාජ්‍ය මැදිහත්වීම ප්රශස්ත මට්ටමක පවත්වා ගැනීමටත් විශාල පරිශ්‍රමයක් දැරීය. සහල් ප්රශන්යත් ගොවියා හා පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීමත් වෙනුවෙන් හිගුරක්ගොඩ, හසලක ,තිස්සමහාරාමය, ගල්ගමුව, පොලොන්නරුව වැනි ප්‍රදේශවල මහා පරිමාණ වී තොග රැස් කිරීම සදහා සහල් සයිලෝ ඉදි කළේ ය. මහා පරිමාණ සහල් නිෂ්පාදනාගාර ඇරඹීය. එහෙත් 1977 බලයට පත් එක්සත් ජාතික පක්ෂ රජය එය උඩු යටි කුරු කරමින් දේශීය නිෂ්පාදකයා හාන්සි කිරීමේ කාර්යයට මුල පිරුවේය. මරදගහමුල ආශ්‍රිතව ඇති කර තිබූ සහල් නිෂ්පාදන ගම්මානය ක්‍රමයෙන් බිදවැටෙන්නට ගත්තේ ය. සහල් අර්බුදයක් මතුවන බවට ඉව වැටුනු හැම මොහොතකම පාහේ පිට රටින් සහල් ගෙන්නුවේ ය. රට හාලේ බත් කන්නට පිරියක් නැතුව වුවත් මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවට රට හාල් කැව්වේය. ඒ අතර තැනින් තැන සුලුවෙන් පටන් ගත් වී තොග රැස් කිරීම් සහල් නිෂ්පාදනය කිරීම් දක්වා දියුණු කර ගැනීමට දේශීය කර්මාන්තකරුවෝ කෝටි ගණනින් ණය ඉල්ලුම් කර වැඩේට අත ගැසූහ.
නිපුන / අරලිය සහල් ආරම්භය
බැරලයෙන් වී තම්බා ටිකෙන් ටික ව්‍යාපාරය දියුණු කළ නිපුන සහල් වැනි සහල් නිෂ්පාදකයින් ක්‍රමයෙන් දියුණු විය. ඒත් සමගම නිපුනගේ ගුරුහරුකම් ලබා ගනිමින් 1990 දශකයේ මුල භාගයේ දී අරලිය සහල් ආරම්භ කරන්නට ඩඩ්ලි සිරිසේන නැතහොත් විජයානන්ද සිරිසේන මහතා ට හැකියාව ලැබුණේ ය. ඉතාම කුඩාවට ආරම්භ කළ සිය සහල් ව්‍යාපාරය මේ වන විට අපේ රටේ සහල් නිෂ්පාදනයේ ප්‍රමුකයා බවට පත් වීමට ද ඔහුට හැකි විය. ක්‍රමයෙන් මරදගහමුල හා අනෙකුත් සහල් මෝල් අඩපන කර දමන්නට එකල සිටම මේ ව්‍යාපාරික දෙපලට හැකියාව ලැබුණේ අපේ රටේ සමස්ත වී නිෂ්පාදනයෙන් සියයට 40ක් පමණ පොලොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කළ බැවිනි. අසූ ගණන්වල අනූ ගණන්වල මෙරට පාරිභෝගික ජනතාවගේ සිත් තුළ පැලපදියම් වී තිබූ සහල් නාමයන් ආගිය අතක් නැති වෙලා ය. ඒ තරමට ම ඒ සහල් නිෂ්පාදන කර්මාන්ත පොලවට සමතලා වී ගියේ ය. අනූ ගණන්වල අග භාගය වන විට පොලොන්නරුව ට වී මිලදී ගැනීමට පිටින් පැමිණි ව්‍යාපාරිකයන්ට තහංචි වැටුණේය. මරදගහමුල පමණක් නොව අනෙකුත් ව්‍යාපාරිකයනට ද පොලොන්නරුවේ වී මිලට ගැනීමට ලොරි ගෙන එන්නට තහංචි වැටුනේ ය. පොලොන්නරුව, ත්‍රිකුණාමලය, මඩකළපුව අම්පාර ඇතුළු දිස්ත්‍රික්කවලට වෙනත් ප්‍රදේශවලින් පැමිණෙන වී තොග මිලට ගැනුම්කරුවන් ක්‍රමයෙන් නැති වී ගියේ ය. එහි අදිසි හස්තය මේ මහා පරිමාණ මෝල් හිමියන්ගේ ම බැව් ඕනෑතරම් මාධ්‍යවල කතා කළ හ.
සහල් නිෂ්පාදකයින්ට රජයෙන් ණය
මහා පරිමාණ සහල් නිෂ්පාදකයින් කිහිප දෙනාට අභියෝග එල්ල කිරීමට හැකි ඊළග ව්‍යාපාරික ප්‍රජාවක් ගොඩ නැංවීමට රාජ්‍ය මැදිහත්වීම පෙනෙන්නට තිබුණත් සැබැවින් ම වූයේ එය නොවේ. මධ්‍ය පරිමාණ හා සුළු පරිමාණ සහල් නිෂ්පාදන කර්මාන්ත ආරම්භ කිරීමට විශාල වශයෙන් ණය සහන ලබා දුන්නේ ය. ඉන් බොහොමයක් ව්‍යාපාර ආරම්භ කිරීමට පෙර ම තම තමන්ට සුපිරි නිවාස සාදා ගත් හ. තවත් සමහරෙක් සුපිරි වාහන මිලට ගත් හ. ව්‍යාපාරික ආයතනය ගොඩනංවා එහි ප්රගතියෙන් පසු කළ යුතු දේ කිරීම වෙනුවට සිදු කළේ සැප ගැනීම ය. ණය උගුලක හිර වෙන තරමට ම මේ සුළු හා මධ්‍යපරිමාණ සහල් නිෂ්පාදකයින්ගෙන් බොහෝ දෙනෙකු කම්සැප පසු පස හඹා ගියෝ ය. නම් වශයෙන් වූව ද ඔවුන් ගැන කිව හැකි වුවත් එකල මේ ගැන ඕනෑතරම් මාධ්‍ය තුළ කතා බහ වී තිබුණි. එපමණක් නොව විශාල වශයෙන් ණය ලබා ගැනීම නිසා තම ව්‍යාපාර බංකොලොත් වීමෙන් වලක්වා ගැනීම සදහා ණය කපා හැරීමේ යෝජනා කරලියට ගෙන දේශපාලනයක නිරත විය. චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුවෙන් විශාල වශයෙන් බොල් ණය ලෙස මේ ණය කපා හැරුණ හැටි ද අපේ මතකයට නැගේ. එයිනුත් සිදු වූයේ ඒ ව්‍යාපාරිකයන් ඔලුව ඉස්සීම නොවේ. තව තවත් අගාදයට තල්ලු වීමයි. එහි වාසිය අර මහා පරිමාණ සහල් නිෂ්පාදකයින් කිහිපදෙනා අතට ගිය හැටි අපට හොදට මතකය. අපේ රටේ මේ සහල් ඒකාධිකාරය නිර්මාණය වීමේ මූල බීජයන් මේ හැම තැනකම රෝපණය වෙමින් තිබුනේ ය. එහි දැවැන්තම අර්බුදය ආරම්භ වන්නේ චන්ද්‍රිකා රජයෙන් පසුව ය. එකල ගොවීන් වී වලට සාධාරණ මිලක් ඉල්ලා මහ මග විරෝධතා දියත් කළා පමණක් නොව වස පානය කොට මිය යන්නට ද පටන් ගත්තේ ය. කුප්‍රකට හිගුරක්ගොඩ ගොවි උපවාසය දක්වා එය විහිදී ගියේත් අර මරදගහමුල හා වෙනත් ප්‍රදේශවල සිට පැමිණ වී තොග මිලට ගත් ව්‍යාපාරිකයන් ට එන්නට නොදී මග සිට පහර දී පළවා හැරීමෙන් පසු ඒකාධිකාරය පතුරුවන්නටත් තුට්ටු දෙකට වී මිලට ගන්නටත් ඔවුන්ට අවස්ථාව සැලසුවේ ත් එකළ පාලකයෝ මය. ගොවි අරගලය ජයග්‍රහණය කර ගොවියාට සහතික මිලක් වී වලට නියම කළ පසු එතෙක් කරට කර වී මිලට ගත් ව්‍යාපාරිකයන්ගේ නොපැමිණීම නිසා වී මිල දින පතාම උච්ඡාවචනය වුණේ ය. රුපියල් 5ට 6 ට පවා වී කොලෝව අලෙවි වූ හැටි අපේ මතකයට නැගෙයි .එකලද ඊට එරෙහිව රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කරනවා යැයි කියමින් සිදු වූයේ අනෙකකි.බොර දියේ මාලු බෑ දේශපාලකයිනුත් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල කූඨ ව්‍යාපාරිකයිනුත් සිදු කළේ රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත් කිරීම වෙනුවට කොමිස් කුට්ටි බලාපොරොත්තුවෙන් රට හාල් ගෙන්වීමට අවසර දීම ය. ඒ හමුවේ සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ගේ අර්බුදය තවත් උත්සන්න්න විය.
අර්බුදයේ කේන්ද්‍රීය සාධකයක් වූ රාජ්‍ය මැදිහත්වීම ද දියාරු වෙන්නට පටන් ගත්තේ ය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පළමු ආණ්ඩු සමයේ එවකට අභ්‍යන්තර වෙළද අමාත්‍යවරයාව සිටි ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයා හිගුරක්ගොඩ සතොස හාල් මෝලට යලි පණ දෙන්නට පැමිණියත් එයත් මාධ්‍ය සන්දර්ශනයක් ම පමණක් විය. ඉන් පසු සතොස හරහා සහල් සැපයීම තුළින් රටේ විටින් විට ඇතිවන සහල් මිල ඉහළ යාම හා සහල් ඒකාධිකාරයේ බලය බිද හෙළීමේ කාර්යය ද අකුළාගනු ලැබිණ. නැවත සිදු වූයේ ද පෙර පරිදිම සහල් හිගයක් මවා පෑ ගමන් රට හාල මෙරටට ගෙන්වීමයි. ඊට අමතරව තවත් දෙයක් සිදු විය. ඒ වී අළෙවි මණ්ඩලය හරහා වී මිලට ගෙන ගොවියාව සූරා කෑමට මහ මෝල්ලුන්ට ඉඩ නොදීමේ කාර්යයයි. මුල් කාලයේ එය තරමක විනිවිද බවකින් යුක්ත වූ අතර ගොවීන් ගේ ඉතාම පිරිසිදු වේලන ලද වී තොග රජයේ සහතික මිලට ගණු ලැබිණ. එහෙත් එසේ වී තොග රැස් කර ආරක්ෂිත තොග ලෙස ගබඩා කිරීමේ නිසි ක්‍රමවේදයක් හා යාන්ත්‍රණයක් ක්‍රියාවට නොයෙදීම නිසා රට පුරා ගබඩාවල වී තොග විනාශ වන්නට පටන් ගත්තේ ය. ඉන් වාසිය ගත්තේ කුකුළු කෑම හා බියර් නිෂ්පාදනයට එම වී තොග ඉතා අඩු මිල ගණන්වලට ගෙන නම් දැරූ ආණ්ඩුවට ම සම්බන්ධකම් කියූ ඇතැම් ව්‍යාපාරිකයන් හා දේශපාලකයන් වී ටික බෙදා ගැනීමයි. එවකට සහල් අර්බුදය උත්සන්න වී තිබිය දීත් පොලොන්නරුවෙන් පවා වී තොග ගණනින් පීකොක් නමින් කුකුලු කෑමවලට හා බීර නිෂ්පාදනයට ගෙන ගියහ. .ඉන් ද වාසිය ලැබුණේ මහා පරිමාණ මෝල් හිමියන්ට ය. ඔවුන් කෙසේ හෝ රැස් කළ වී තොග හැරෙන්නට රාජ්‍ය මැදිහත්වීම හැමදාම දියාරු වන බව දත් මේ සහල් මෝල් හිමියෝ ඊළගට සිදු කළේ තමන් ට අභියෝගයක් වන වී තොග රැස් කරන්නන් හා සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට වැටෙන්නට පහර දීමයි. එය සිදු වූයේ රාජ්‍ය අනුග්‍රහයෙන් යැයි කෙනෙකුට තර්ක කරන්නට ද හැකිය. මන් ද වී නිෂ්පදනය ආරම්භ වන විට නැතහොත් යල හෝ මහ කන්නයේ අස්වනු නෙලන්නට ආසන්න වන විට රාජ්‍ය බැංකු විශේෂයෙන් ම නිවෙස්වලටම ගොස් අර මහ මෝල් හිමියන්ට අත දිග හැර ණය ලබා දුන් හ. පළමු ණය නිදහස් කර ගැනීමෙන් පසු ඔවුන් වී මිල පවත්වා ගැනීමට සිය ව්‍යාපාරික දැල එලූහ. මුලින් ම සාමාන්‍ය වෙළදපළේ ඇති මිලට වඩා රුපියල් 2ක් පමණ මිල වැඩි කර වී මිල්ට ගන්නේ ය. මුල් රවුමේ මෙසේ රුපියල් 30 ට පමණ ලබා ගත් වී රුපියල් 32 දක්වා වැඩි කරන්නේ ය. එවිට තමන් සමග තරගයට වී මිල දී ගත් සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට ඒ මිල දරා ගත නොහැකි වෙයි. ටික දිනක් මෙම සෙල්ලමේ නිරතවල මහ මෝල්ලු ඊළගට කරන්නේ නැවත කිසියම් සරල කරුණක් ඉස්සරහට දමා යලි වී මිල පහත හෙළන්නේ ය. එසේ පහත හෙළා යලි සෑහෙන වී තොගයක් මිලට ගත් පසු අර පසුව අනුමත වූ සුළු හා මධ්‍යපරිමාණ මෝල් හිමියන්ගේ ණය මුදල් කොටස් වශයෙන් ලැබෙයි.එසැනින් යලි වී මිල රුපියල් 2ත් 5ත් අතර මිලකට ඉහල යන විට ඔවුන්ට සිදු වන්නේ වැඩි මිලට වී තොග රැස් කිරීමට ය. එතැනින් එහාට මහ මෝල්ලු වී මිල පහළ දැමීමට ඉඩ නොදී ඔවුන් ගේ ඒකාධිකාරයට නතු කර ගන්නට උත්සාහ කළහ. එහි ප්‍රතිපලයක් ලෙස විශාල වී තොගයක් ඉතා අඩු මිලකට මහා පරිමාණ මෝල් හිමියන් ගබඩා කර ගනිද්දී වැඩි මිලකට ඉතා අඩු වී තොගයක් සුළු හා මධ්‍යපරිමාණ මෝල් හිමියන්ගේ ගබඩාවලට ගාල් වෙයි. දැන් සෙල්ලම පටන් ගන්නේ ය.
සහල් නිෂ්පාදකයින්ගේ තරඟය
මහා පරිමාණ මෝල් හිමියන්ගේ දෛනික සහල් නිෂ්පාදනය අද වන විට නම් සහල් කිලෝ ලක්ෂ 4 ,ක් 5 ක් ද ඉක්මවයි. සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් දිනකට සහල් කිලෝ 7000 සිට 25000 දක්වා නිෂ්පාදනය කරයි. මේ නිෂ්පාදන ධාරිතාව හා ශ්‍රමය යන්ත්රසූත්ර ආදිය සදහා යන පිරිවැය ද ගණනය කිරීමෙන් පසු සහල් නිෂ්පාදනයට වැයවන මිලක් වන අතර ඊට ප්‍රවාහන වියදම් ද එක් කළ විට වෙළද පළේ සහල් තොග හා සිල්ලර මිල නියම කෙරෙයි. සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ගේ සංගමයේ සම සභාපති රොෂාන් ජානක ද සිල්වා මහතා කියන්නේ වී රුපියල් 50 මිලට ගෙන තමන්ගේ යන්ත්රසූත්ර හා ශ්‍රමය යොදවා රුපියල් 87 ට පමණ නිෂ්පාදන පිරිවැයක් ද තවත් රුපිය 3 ක පමණ ප්‍රවාහන පිරිවැයකුත් සමග සහල් වෙළදපළට නිකුත් කළ හැකි බවයි. ඔහු පසුගියදා මේ බව පොලොන්නරුවේ පැවති මාධ්‍ය හමුවක දී ද අනාවරණය කලේ ය. එහෙත් මහා පරිමාණ මෝල් හිමියනුත් මධ්‍ය පරිමාණ ඇතැම් මෝල් හිමියනුත් ඒ මිලට දිය නොහැකි බව පවසා සහල් හිගයක් ඇති වීම දක්වා එය දිගැස්සුවේ ය. මේ මෙවර සිදු වූ සන්තෑසියයි. නමුත් සහල් තොග සැගවීමට හෝ වී තොග සැගවීමට හෝ අවස්ථාවක් තිබුණේ නැත. මන්ද අස්වනු නෙලා අවසන්ව වී තවමත් තොග වශයෙන් වෙළදපලට ලැබෙමින් තිබියදීම සහල් හිගයක් ඇති වීම කාගේත් කතා බහට හේතු විය.
මිනිස් ශ්‍රමය වෙනුවට භූතයා
නව කොරෝනා වෛරසය ව්‍යාප්තියත් සමග රටේ අර්බුද රැසක් නිර්මාණය කළ අතර ඉන් එකක් වූයේ කෘෂිකාර්මික දිස්ත්‍රික්කවල පසුගිය මාස් කන්නයේ අස්වනු නෙලීමේ දී මිනිස් ශ්‍රමය ලබා ගැනීමේ ගැටලුවයි. බොහෝ ගොවීන්ට සිදු වූයේ භූතයා නැතිනම් කොම්බයින් හාවෙස්ටර් යන්ත්‍රයෙන් ගොයම් කැපීමට ය .පසු අස්වනු තාක්ෂණ ආයතනයේ නිරීක්ෂණ අනුව මෙවැනි බහුකාර්ය යන්ත්‍ර මගින් අස්වනු නෙලීමේ දී සියයට 30 කට ආසන්න ප්‍රතිශතයක් අස්වනු විනාශ වන බව ද සදහන් ය. භූතයා ගෙන් ගොයම් කැපීමේ දී ගොයම් ගස් ඇබරීගොස් වී ඇටවලට උරන ජලය ප්‍රමාණයද ඉහළය. තෙතමනය ඉහල වී තොග කුඹුරෙන් ම ලොරිවලට පටවා ගත් වී තොග රැස් කරන්නෝ රජයේ සහතික මිලට වඩා වැඩි මිල ගණන්වලට පවා වී මිලට ගත් හ. කුඹුරෙන් කැපූ ගමන් ම මෙවර තෙත වී කිලෝව රුපියල් 44 සිට 48 දක්වා මිල ගණන් දක්වා ඉහළ ගියේ ය. තෙතමනය 14% ට අඩු වී සදහා රුපියල් 53ක් 54 ක් ගොවියාට දුන්නේ ය. මේ ගේම ගැසුවේ ද අර මහා පරිමාණ වී මෝල් හිමියන් විසිනි. සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් වී මිලට ගන්නට පෙර සාම්ප්‍රදායිකව වසර ගණනාවක් තිස්සේ කළ ක්‍රියාදාමයම මෙවර ද දියත් කලේ ය. එහෙත් කොරෝනා වසන්ගත තත්ත්වය නිසා පිට පළාත්වල වී තොග රැස් කළ තොග රැස් කරන්නනේ වී තොග ප්‍රවාහනයට බාධා ඇති විය. ඔවුන් එවා ගබඩාවල අසුරා තැබූහ.රුපියල් 98 ක් ව එතෙක් මිල නියමව තිබූ සහල් මිල හිටි ගමන් ආණ්ඩුව රුපිය 90 දක්වා පහළ හෙළුවේ මේ අර්බුද පිළිබදව කිසිවක් නොසොයා කොරෝනාවෙන් විපතට පත් ලක්ෂ 220ක් වූ පාරිභෝගික ජනතාවට සහන ලබා දෙන්නට ය. එයින් කිසිවක් සිදු වුයේ නැත. රාජ්‍ය යාන්ත්‍රණය ට සහල් මිල පාළනය කිරීම සදහා කිසිදු ප්‍රායෝගික වැඩපිළිවෙලක් ද නැතුව ම හිටි අඩියේ ගත් මේ තීරණයෙන් මහ මෝල්ලු කළබල වූයේ නැත. ඔවුන් සිදු කළේ සහල් නිෂ්පාදනය කිරීම අඩු කිරීමත් බෙදා හැරීම නතර කර දැමීමත් ය. සහල් හිගයක් මවා පෑම අස්සේ තවත් පිරිසක් සිටියි. ඒ අප මුළින් සදහන් කළ රට හාලට හිතැති කොමිස් කාරයන් අතලොස්ස ය. තවත් පිරිසක් වූයේ සහල් තොග රැස් කරන්නන් ය. සහල් තොග රැස් කරන්නන් සිය ප්‍රධාන ගබඩාවල නොව වෙනත් ගබඩාවල ඒවා සැගවීමට උත්සාහ ගත් බවට ද අනාවරණය විය. කෙසේ වෙතත් සහල් අර්බුදය හමුවේ රටේ ජනගහනයෙන් සැලකිය යුතු පිරිසක් තවත් සතියක් දෙකක් පැවති තත්ත්වයෙන් ම පැවතියා නම් බත් කනවා බොරු ය. ඒ තරමට ම වැඩේ උග්‍ර විය.
සහල් මෝල් වැටලිම
පාරිභෝගික සේවා කටයුතු අධිකාරියේ කණ්ඩායමක් කෙලින් ම හාල් අර්බුදය ඩඩ්ලි නිපුන ඇතුළු මහා පරිමාණ මෝල් හිමියන්ගේ වැඩක් යැයි සිතා වැටලීමට 50 ක පමණ බැටෑලියන් එකක් ද සමග පොලොන්නරුවට පැමිණියේ ය. අඩි බිම හප්පමින් හතර වටේ ඇවිද්දේ ය. වී මෝල් අටක් සෝදිසි කර බැලූ ඔවූහු වීරයින් සේ පොලොන්නරුවෙන් නික්ම ගිය හ. ඩඩ්ලි සිරිසේන සිය සහල් මෝල් සංකීර්ණයේ දීම සිය අනසක පැතිරෙව්වේ ය. ඔහුගේ අභියෝගයට මුහුණ දෙන්නට කිසිවෙකුට හැකියාවක් නැත. ඔහුගේ බසින් ම කියනවා නම් ඩඩ්ලි සිය මෝල් සංකීර්ණයේ දී පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතා ඇතුළු කණ්ඩායමට මෙසේ කීය.
මාධ්‍ය සංදර්ශනය
“අපිට වගකීමක් තියෙනවා රටේ ප්‍රශ්නවලට උත්තර හොයන්න.අපිට ණය තුරුස් ටික බේරලා පිළිවෙලක් කරන්න.මගේ ලග සියයට හැත්තෑපහක් තියෙන්නේ කීරි සම්බා .නාඩු තියෙන්නේ සියයට 25යි. මගේ මෝලේ කැපෑසිටි එක වී මිටි 10 000යි. පැය තිහකින් තමයි හාල් එකක් අවුට් වෙන්නේ. පැය 24ක් කියලා ගත්තාම තමයි 10 000 එන්නේ. නාඩු මිටි 245000 යි. මෙතන නාඩු මිටි තියෙන්නේ. 5000 න් බෙදුවත් කෙටුවම මේ තියෙන නාඩු ටික දවස් 45කට තියෙන්නේ. ඒත් මේක විතරක් නෙමෙයි අනිත් ඒවත් එක්ක කෙටුවාම. අපට මේක විතරක් කොටලා මෝල දුවන්න බෑ. හාල් 98 ට තියෙද්දි කවුරුවත් කීවද හාල් අඩු කරන්න කියලා. අපි රුපියල් 50 ට ගත්ත වී කොහොමද හාල් දෙන්නෙ 90 ට නමුත් ආණ්ඩුව කියන නිසා දෙනවා.එහෙම දෙන්න බෑ. අද වී කීයද මෙතන අර තියෙන ලොරි අම්පාර, කිලිනොච්චියේ , යාපනේ , තිරිකුණාමලේ, හම්බන්තොට හැම තැනින්ම එන ඒවා. අපි කියන්නේ අපිට මේ ණය තුරුස් බේරන්න තියෙනවා. මේවා පවත්වාගෙන යන්න ඕන. අපිට රුපියල් 98 දෙන්න. හෙට මේ ප්රශ්නය ඉවරයි. මේ ප්‍රශ්න ඇති කරන්නේ අර රොෂාන් රණසිංහයි නාමල් කරුණාරත්නයි. නාමල් කරුණාරත්න තප්පුලනවා. රොශාන් රණසිංහ උඩබුරනවා. මං මේ ලොරි ටික ආපහු හරවලා යවනවා රොශාන් රනසිංහගෙ ඔෆිස් එකට එයාට ගන්න කියලා. මේ ඔබතුමාලා හොයන හෙවිල්ලට වෙලෙන්දෝ හාල් තොග හංගනවා. වෙළද පලේ හාල් තියෙනවා. එක කඩේකවත් හාල් පේන්න නෑ. හාල් පේන්න නැති වෙනකොට ඔබ තුමාලා අපි පස්සේ එලවනවා. වෙළද පොලේ බඩු නැත්නම් ඔබතුමාල හිතනවා මෝල් හිමියෝ නිශ්පාදනය කරලා එවන්නෙ නෑ කියලා. ඒකනෙ මේ ප්රශ්නය. අපි රජයත් එක්ක එකග වුණු මිලක් තියෙනවා. රුපියල් 98 ට දෙන්න පුළුවන් නම් හෙට මේ ප්රශ්නය විසදන්න පුළුවන්. නමුත් අපි ඔබතුමාල නියම කරපු මිලට මේ දැනුත් අපේ හාල් යවනවා. මන් මේ මට අභියෝග කරන නරින්ට රිලවුන්ට කියන්නේ. මේ රටේ නැති ප්‍රශ්න ඇති කරලා මිනිස්සුන්ගෙ මානසිකත්වය විනාශ කරලා වෛරය ද්වේශය ඇති කරලා රට බංකොලොත් කරලා ආණ්ඩුව නැති කරලා ජනාධිපහිතුමාව අපහාසයට ලක් කරලා මේවාගේ මිනිස්සු ද මේ රටේ දේශපාලනය කරන්නේ. මං ඒ දෙන්නට අභියෝග කරනවා ඔ්නෑම රූපවාහිනි නාලිකාවක විවාදයක ට එන්න මාත් එක්ක.ඕනෑම වෙලාවක. මම කොලකෑල්ලක් පෑනක්වත් නැතුව එන්නේ ඔක්කොම රෙකෝඩ් අරගෙන එන්න කියන්න. වී මිලට ගැනීම සදහා ගත්ත බැංකු ණය කවුරුන් හෝ ගෙවනවා නම් එයාල කියන මිලකට අපි හාල් දෙන්න සූදානම්. මේ රටේ දවසක හාල් අවශ්‍යතාව ලක්ෂ 50යි මේ ප්‍රධාන මෝල් 4 හදන්නෙ ලක්ෂ 8යි .මම කියන්නම් වැඩි මිලට වී ගන්න එක නතර කරන්නම්. අපිට කියන මිලට දෙන්න බැරිනම් පාරිභෝගික අදිකාරිය මේ මෝල බාර ගන්න.මගේ බැංකු ණයත් ගෙවලා මාව නිදහස් කරන්න. මම හොරකං කරන්නේ නෑ මං මෝල වහනවා. එහෙම නැත්නම් හිරේ යනවා. පාරිභෝගික අධිකාරියෙන් කියනවා නම් ඓ හෙට ඉදලා වී ගන්නේ නෑ. මේ සැරේ තමයි වී අලෙවි මණ්ඩලය පිහිටවපු එකේ හරිම ප්‍රයෝජනය ලැබුණේ. රජය නියම කරපු මිලට වී ගන්න පුද්ගලික වෙළදපොලේ තරගයක් ඇති කරන්න. අපි කවුරුවත් ඊට අඩුවෙන් වී අරං නෑ. තමන් යටතේ සේවකයින් දහස් ගණනක් සේවය කරන බවත් ව්‍යාපාරික ආයතන 19 ක් පමණ පවත්වාගෙන යන දේශීය ව්‍යාපාරිකයෙක් මේ විදිහට හාන්සි කර දැමීම උචිත නැහැ යැයි ඔහු කීවේ ය.
රුපියල් බිලියනකය ණය වාරික අදටත් රජයට ගෙවන බව කී ඩඩ්ලි සිරිසේන මහතා කීවේ මෝල වහලා හිරේ යන බවයි.මේ කතාවෙන් රටේ සමාජ ජාල මාධ්‍ය ඔස්තාර්ලා හා දේශීය කැක්කුම ඉස්මතු කරගත් පිරිස් දේශීය ව්‍යාපාරිකයා හාන්සි කීරීමේ වෑයමක දිගුවක් ලෙස මෙය දකින්නට විය. සමාජ ජාල මාධ්‍ය හරහා පාරිභෝගික සේවා අධිකාරියේ ක්‍රියා කලාපය අගයනු වෙනුවට සිදු වූයේ මහා පරිමාණ වී මෝල් ආරක්ෂා කර ගැනීමේ මෙහෙයුමකට අවතීර්ණ වීමයි. මේ සෝෂල් මීඩියා ගේම් එකෙන් ද ඩඩ්ලි ඇතුළු මහා පරිමාණ මෝල් හිමියෝ මෙවරත් දිනූහ. රජයට කොච්චර සද්ද දැම්මත් අවසානයේ මේ මෝල් හිමියන්ගේ හඩට කන් දෙන්නට සිදු විය.
සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් අඩු මිලට සහල් දෙන්නට පුළුවන් කියා කිව් අදහස ද යටට තල්ලු වී ගියේ ය. ඔවුන් මුලින් පොලොන්නරුවේ සතොස හරහා බෙදා හැරීමට සහල් කිලෝ 25000ක් ලබා දීමට ද කටයුතු කලේ ය. ඒ සියල්ල සමාජ මාධ්‍යයෙන් නැගුණු දේශීය ව්‍යවසායකයා සමතලා කිරීමේ වෑයම පරදවන්නැයි නැගුණු හඩ හමුවේ යටපත් විය. එහෙත් ඒ හර හාම සුළු හා මධ්‍ය පරිමාණ සහල් ව්‍යාපාරිකයා සමතලා වීමේ ඛේදවාචකය නිමාවට පත් කරන්න නම් කිසි දෙයක් සිදු වූ බවක් නොපෙනෙයි. මේ අනාවරණයද ඊට නිදසුනකි.
“මම පොලොන්නරුව දිස්ත්‍රික් සහල් නිෂ්පාදකයින්ගේ සමුපකාර සංගමයේ අධ්යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙක්. ජනාධිපතිතුමා බලයට පත් වෙච්ච වේලාවේ සහල් මිල ඉහල ගියා. ඒ වේලාවේ ජනාධිපති ලේකම්තුමා හරහා අපෙන් ඉල්ලීමක් කළා ආණ්ඩුවේ තිබෙන වී තොග කොටලා මේ සහල්වල මිල පාළනය කරලා දෙන්න කියලා. අපි ඇත්තටම ඒක කරලා දුන්නා. ජනාධිපතිතුමා මුදල් අමාත්‍යංශ ලේකම්තුමා. ඇතුළු නිලධාරින් එක්ක සාකච්චා කරලා ගොවි ජනතාවගේ වී ටික තෙත වී රුපියල් 44 ට අරගෙන ආණ්ඩුවට ඒ පහසුකම් සලසා දුන්නා. ඒත් තෙක්කම අපේ මෝල් ටික ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. ඒ හරහා වී රුපියල් 50 ට අරගෙන හාල් 90 න් පහල තියා ගත්තා. ඇත්තටම මේ සම්බන්ධයෙන් මහා පරිමාණ සහල් මෝල් හිමියෝ ඒ මිලෙන් එහාට ගිහිල්ලා ඒ ගොල්ල ගාව මහා තොග තියෙනවා. ඒ අයට මේක දැනෙන්නෙත් නෑ. නමුත් මේ කුඩා හා මධ්‍යපරිමාණ කියන එක නැති කරලා දාන්නද දන්නේ නෑ. ඒ අය රුපියල් 50 න් උඩට වී මිලට අරගෙන හාල් 98 ට දක්වා මිල අරන් ගිහින් රටේ හාල් අර්බුදය ඇති කළා. මම කියන්න කැමතියි පට වී මිල 50 තියෙනවා නම් හාල් 90 ට දීමේ කිසිම ගැටලුවක් නෑ. ඇත්තටම නිෂ්පාදන පිරිවැය ඇවිත් තියෙන්නේ රුපියල් 87ක ට වගේ මිලකට. අපට කොළඹට හරි රජයේ ඕනෑම ආයතනයකට ගිහින් භාරදෙන්න පුළුවන්.
ශක්ති සහල් ව්‍යාපෘතිය
විශේෂයෙන් ම පසුගිය රජය අපට ලබා දුන්නා ශක්ති කියන සහල් ව්‍යාපෘතිය. ඒ ව්‍යාපෘතිය ගැනත් මං කියන්න ඕන. ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී හර්ෂ ඇමතිතුමා ගොඩාක් විශ්වාසය තියලා තමයි මේක ලබා දුන්නේ. නමුත් ඒකේ නියමුවා විදිහට වැඩ කරපු මධ්‍ය පරිමාණ මෝල් හිමියා පොලොන්නරුව සමිතියට විතරක් මේ වනවිට රුපියල් කෝටි හත හමාරක් වංචා කරලා තියෙනවා. රිෂාඩ් බදුර්දීන් ඇමතිතුමාගේ මැදිහත් වීමෙන් හදපු ස.මු.62 කියන සමිතිය යටතේ තමයි එයා දැන් සභාපති වෙලා ඉදගෙන නැවත වතාවක් ඒ සමිතිය හරහා සල්ලි අරගන්න නැවත වතාවක් පිඹුරුපත් හදලා තියෙනවා කියලා අපට ආරංචියි. මම මේ ගැන ඉහළ නිලධාරින්ව දැනුම්වත් කළා. මේ වනවිට උතුරු මැද පළාත් සමුපකාර කොමසාරිස් නිකුත් කරපු ඒ පුද්ගලයාට විරුද්ධව නෛතික ක්‍රියාමාර්ග ගන්න කියලා තියෙන නියෝගය තිබෙනවා. අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නේ ස්මස්ත ලංකාවෙම වීමෝල් හිමියෝ අපිත් එක්ක ඉන්නවා. මේ වී මිල පාළනය කරලා දෙන්න අපි ලෑස්තියි ඕනෑම වෙලාවක රජයට අවශ්‍ය ඒ සහල තොග ලබා දෙන්න ලෑස්තියි. දැනුත් අපි ඒකට දායක වෙමින් තියෙනවා. අපට ජනාධිපතිතුමා එක්ක අගමැති තුමා එක්ක චමල් රාජපක්ෂ ඇමතිතුමා එක්ක සාකච්ඡාවක් දෙන්න. අපිට මේ මාෆියා කල්ලි දෙකක් එක්ක හැප්පෙන්න බෑ. මේ රටේ මහා පරිමාන මෝල් හිමියන් ට අමතරව සතොස ආක්‍රමණය කරලා තියෙන මධ්‍යම පරිමාණයේ සහල් මෝල් මාෆියාව වහාම නවත්වන්න ඕන .මේ අය රජයේ නිලධාරින් කොටසක් අල්ලාගෙන ජනාධිපතිතුමාගේ ප්‍රතිරූපයට හානි කරන්න යන්නේ ඒක නිසා මේකට වහාම පියවර ගන්න.
මේ සියල්ලෙන් ම ගම්‍ය වන එක දෙයක් තිබේ.ඒ මේ රටේ සහල් ඒකාධිකාරය බිද දැමීමට එක්කෝ ආණ්ඩු බියක් දක්වති. නැතිනම් ඒ ඒකාධිකාරය පවත්වාගෙන යාමට අනුබල දෙති. කලින් කලට ජන කැළඹිලි පාලයන කිරීම සදහා පැලැස්තර අලවනු විනා වෙන යම් දෙයක් නොවන බව නම් පෙනෙන්නට තිබේ. දැන් වසර 30 කට ආසන්න කාලයක් සැම වසරකම සහල් ඒකාධිකාරය ගැන කන්න දෙකකට වතාවක් කතා කරන්නේ ය. විසදුම් සෙවීමේ සැබෑ වුවමනාවක් කිසිවෙකුට ඇතැයි ද සිතිය නොහැකි තරටම එය ජරා ජීර්ණ වී තිබේ .රජය කළ යුතු වන්නේ ඊට මුහුණ දීමට සුදුසු වටපිටාවක් නිර්මාණය කිරීමත් දේශීය ව්‍යාපාරිකයා එය මහා පරිමාණ වී මෝල් හිමියාට පමණක් නොව සුළු හා මධ්‍යපරිමාණ ව්‍යවසායකයාද ගමේ සිල්ලර කඩ හිමියාද බැරලයෙන් වී තබ්බා ජීවත් වන ගැමියාද ආරක්ෂා වන වැඩපිළිවෙලකි. හැම මැතිවරණයක දීම පාහේ එවැනි කතා නම් ගොඩක් ඇසෙයි . එහෙත් සහල් මාෆියාවෙන් වසර 30ක් පමණ බැට කෑවත් තාමත් එය එතැනම ය. දේශීය කුඩා මෝල් හිමියා පොලවටම සමතාලා කොට ඒකාධිකාරයට ම ඉස්මතු වීමට ඉඩ දී හමාරය. සැබෑව එයයි.
ඊෂා මුදියන්සේ