ලිපිනයක අයිතිය ඉල්ලා සටන් කරන වතුකරයේ ජනතාව

 

මීට වසර 200කට පෙර මෙරටට වතු කම්කරුවන් ලෙස ඉන්දියාවෙන් සිට පැමිණි වතු කම්කරුවන් ලංකාවේ තේ කර්මාන්තය ඇතුළු වැවිලි අංශය සඳහා සිය ශ්‍රම දායකත්වය වසර ගණනාවක් තිස්සේ අඛන්ඩව ලබා දෙති. දීර්ඝ ක්‍රියාවලියකින් පසු මෙරට ඉතිරිව සිටි සියලු ඉන්දීය සම්භවයක් සහිත වතු කම්කරු ප්‍රජාවට පුරවැසිභාවය හිමි විණි.

යටත් විජිත පාලකයන් විසින් තැපැල් සේවය මෙරටට හඳුන්වා දීමේදී වතු පාලකයන්ට ප්‍රමුඛතාව ලැබිණි. වර්තමානය වන විටත් තැපැල් සේවය වතු ජනයාට හිමි වී නොමැත. 2017 වසරේ තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ කාර්‍ය සාධන වාර්තාවට අනුව ලංකාවේ තැපැල් ස්ථාන 4691ක් පවතින අතර වතු තැපැල් ස්ථාන පවතින්නේ හතරකි. වතු කම්කරු ජනතාවට අද වනතෙක්ම ලියුම් ලැබෙන පිළිවෙලක් හෙවත් ලිපිනයක් නොමැත. ඔවුන්ගේ ලිපි තවමත් ලබාදෙන්නේ වතු කාර්යාලවලටය.

මේ හේතුව නිසා ඔවුහු දෛනිකව විවිධ ගැටලුවලට මුහුණ දෙති. වර්තමානය වනවිට එම වතු ආශ්‍රිතව ජීවත්වන තරුණ පිරිස් උසස් අධ්‍යාපනයට, වෘත්තීය පුහුණුවට හා වත්තෙන් පිට රැකියා සඳහා යොමු වීමේ ප්‍රවණතාවයක් පවතින අතර ඒ සඳහා වතු පාලකයන් අතර යම් විරෝධයක් පවතී. වතු සඳහා ලාභ ශ්‍රමය ලබාගැනීමට නොහැකි වීම එයට හේතුවයි. එබැවින් වතු පාලකයන් විසින් හිතාමතාම ලිපි ලබා නොදීම් හා ප්‍රමාදව ලබා දීමේ සිදුවීම් වාර්තා වේ.

ස්ථිර ලිපිනයක් නොමැති ගැටලුව නිසාවෙන් එම ජනතාවට ලැබිය යුතු වැදගත් ලිපි අහිමි වීම් නිතරම වාර්තා වේ. රැකියා සඳහා සම්මුඛ පරීක්ෂණයට කැඳවන ලිපි, විවිධ ශිෂ්‍යත්ව ලිපි, විභාග අයදුම් පත්‍ර, සේවක අර්ථ සාධක අරමුදල් හා සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් සඳහා ඉල්ලුම් කිරීමේ අවස්ථාව ආදිය මේ හේතුවෙන් ඔවුන්ට අහිමි වී යයි. ඒ අනුව පුරවැසිභාවය ඔවුන්ට සම්පූර්ණයෙන්ම හිමි වූවාද යන ගැටලුව පවා මතු වේ.

අනෙක් වතුයායන්වල දිවිගෙවන ජනතාවට සේම හැටන් වතුයායේ දිවිගෙවන වතු කම්කරු පවුල් ද මෙම ගැටලුවට මුහුණ දෙති. විදෙස් තානාපති කාර්යාලයකින් ශිෂ්‍ය‍යෙකුට ලබා දුන් ශිෂ්‍යත්වයක් සම්බන්ධ වූ ලිපියක් නියමිත දිනට පසුව ලැබීමෙන් එම ශිෂ්‍යයාට අධ්‍යාපනික අවස්ථාව අහිමි වී ගොස් ඇත. තවද එක් පදිංචිකරුවෙකු පොලිසියට කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන්  විමර්ශනය සඳහා කැඳවන ඔහුට ලැබුණේ ලිපිය මසකට පසුවය. එවැනි සිදුවීම්වලදී පුද්ගලයන්ට සිරගත වූ අවස්ථා ද වාර්තා වේ. තවද ඔවුන් බොහෝමයකට ඔවුන්ගේ රන් භාණ්ඩ අහිමි වී ගොස් ඇත්තේ බැංකුවෙන් එවූ ලිපි නිසි කාලය තුළ නොලැබුණු නිසාවෙනි. තැපැල් ගැටලුව ඔවුන්ගේ ජන ජිවිතය අඩාල වීමට ද ඍජුවම බලපානු ඇත.

මෙම තත්ත්වය සඳහා වහා අවධානය යොමු කළ යුතු අතර තැපැල් දෙපාර්තමේන්තුව මෙන්ම අදාළ අමාත්‍යාංශයන් විසින් අවධානය යොමු කළ කරමින් වහා ක්‍රියාමාර්ග ගත යුතුය. ලිපිලේඛන ප්‍රමාද වීම ඔවුන්ගේ මානව අයිතිවාසිකම් සඳහා ද බලපාන අතර තැපැල් ලිපියක් ප්‍රමාද වීම ජන ජීවිතයක් බිඳවැටීමට හේතුවක් නොවිය යුතුය.

Social Sharing

අවකාශය නවතම