ඇමරිකාවෙන් ලංකාවට 30%ක තීරු බද්දක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර ඇත්තේ  ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන සියලු භාණ්ඩ සඳහා 30%ක අන්‍යෝන්‍ය තීරුබද්දක් පැනවීමටය. ඒ අනුව ඒ බව දැන්වීම සඳහා ඊට අදාළ ලිපිය ධවල මන්දිරය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිකුත් කර ඇත.

පසුගිය අප්‍රේල් දෙවන දින අමෙරිකානු ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා  44%ක අන්‍යෝනය තීරුබදු පැනවීමක් සිදුකළ අතර එය  ක්‍රියාත්මක කිරීමට  සහන කාලයක් ලබා දී තිබුණි. එම සහන කාලය ඊයේ (09) දිනයෙන් අවසන් වු අතර ඒ අනුව එළඹෙන අගෝස්තු මස පළමු දා සිට ක්‍රියාත්මක වන පරිදි 30%ක තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපතිවරයා තීරණය කර ඇති බව සඳහන් වේ.

තවද ශ්‍රී ලංකාව තම තීරුබදු ඉහළ දැම්මොත් එම ප්‍රතිශතයම දැනට පවතින 30% බද්දට එකතු කරන බව ඇමෙරිකානු ජනාධිපතිවරයා සිය ලිපිය මගින් වැඩිදුරටත් දැනුම් දී තිබේ. විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර සිටින්නේ  ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවේ අපනයන සඳහා පනවා තිබු  44%ක තීරුබද්ද 30%ක් දක්වා අඩු කිරීම ධනාත්මක ප්‍රවේශයක් බවත් අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පෙන්වාදෙන්නේ ලැයිස්තුගත කර ඇති සියලු රටවල් අතරින් විශාලතම තීරුබදු අඩු කිරීම සිදුකර ඇත්තේ ශ්‍රි ලංකාවට බවයි.

මෙය දෙරට අතර ද්වීපාර්ශවික සබඳතාවල  සහ රාජතාන්ත්‍රික මැදිහත්වීමේ ප්‍රතිඵලයක් බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි. ශ්‍රී ලංකාවට අමතරව තවත් රටවල් 6ක් සඳහා ඊයේ දිනයේ අමෙරිකානු ජනාධිපතිවරයා විසින් නව තිරූබදු පැනවිම සිදුකළ අතර ඒ අනුව ඇල්ජීරියාව, ඉරාකය සහ ලිබියාව සඳහා ද 30%ක තීරුබදු පැනවීමක් සිදුකරනු ලැබීය. බෲනායි සහ මෝල්ඩෝවා සඳහා 25%ක් ලෙසත්, පිලිපීනය සඳහා 20%ක් ලෙසත් අමෙරිකාව විසින් තීරුබදු පැනවීම සිදුකර තිබේ.

                                          

 

 

Social Sharing

ආර්ථික නවතම