වර්තමානයේදී මෙරට කෘෂි අංශය අභියෝගාත්මක ගැටලු රැසකට මුහුණ දෙයි. ඒ අනුව මෙරට ගොවි ජනතාව දෛනිකව සිය ගොවිතැන් කටයුතුවල නියැළීමේ දී විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දෙති. ගොවිතැන් සඳහා අවශ්‍ය වන ජලය සහ පොහොර හිඟතාව මෙන්ම වන සතුන්ගෙන් හා කෘමි සතුන්ගෙන් සිදුවන හානි, දේශගුණික විපර්යාස ආදී ගැටලු රැසකට ඔවුහු දෛනිකව මුහුණ දෙති. එවැනි බාධක රැසක් මධ්‍යයේ පවා ඔවුහු මෙරටට අවශ්‍ය ආහාර සපයති.
2024 වසරේ මහ බැංකු වාර්තාවට අනුව දළ දේශීය නිෂ්පාදනයේ කෘෂි නිමැවුම් (මූර්ත නිමැවුම වෙනස්වීම) 1.6% සිට 1.2% දක්වා පසු බැස ඇත. එනම් 2024 වසරේ කෘෂි කර්මාන්ත අංශයේ පසුබෑම 2.2% කි. අතීතයේදී කෘෂිකර්මාන්තය පාදක කරගත් අප රටට වර්තමානය වනවිට අත් වී ඇති ඉරණම මෙවැනි තත්වයකි. එනම් රට තුළ කෘෂි කර්මාන්ත අංශය සෘජුවම පසුබෑමකට ලක්වී ඇති බව පෙන්වා දෙයි.
මෙවැනි ජාතික මට්ටමේ අර්බුදයන්ට අමතරව, ගම්මානවල ගොවීන් ප්‍රදේශීය වශයෙන් ද විවිධ ගැටලු සඳහා මුහුණ දෙති.
කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහොපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 59 බී තියඹරාහේන ග්‍රාම නිලධාරී වසමේ ගොවින් වසර ගණනාවක් තිස්සේ භාවිතා කළ “මානා වෙල්යාය” නමින් හැඳින්වෙන අක්කර 18ක කුඹුරකට පිවිසීම සඳහා යොදාගන්නා මාර්ගයක් 2001 වසරේ සිටම කෑගල්ල ප්‍රාදේශීය සභාවේ ලියාපදිංචි වී ඇත. එම මාර්ගය ඔවුන්ගේ කුඹුරු, බෝගල ගම්මානය, ඇඹිලියාව පන්සල, ගනේගල පුරාණ විහාරය සහ උදුගොඩ සත්ව ගොවිපළ යන ස්ථාන වෙත පිවිසීමට අත්‍යවශ්‍ය වන ආගමික, සමාජ හා ආර්ථික වශයෙන් වටිනාකමක් සහිත පොදු දේපළක් වේ.
පුරන් වී ගිය කුඹුරු
මෙවැනි පසුබිමක 2024 වසරේ අගෝස්තු මස 12 වෙනි දින සිට තනි පුද්ගලයෙක් විසින් මෙම මාර්ගය වසා දමා තිබේ. මාර්ගය වසා දැමීම හේතුවෙන් ගොවීන්ට ඔවුන්ගේ කුඹුරු නඩත්තු කිරීමට, සත්ව ගොවිපළවලට ජලය ගෙනයාමට, කෘෂි උපකරණ රැගෙනයාමට සහ අස්වැන්න ප්‍රවාහනය කිරීමට නොහැකි වී තිබේ.
මෙම තත්ත්වය පිළිබඳව ගම්වාසීන් විසින් ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය සභාව, පොලිසිය සහ ජනාධිපති කාර්යාලය ඇතුළුව විවිධ ආයතන දැනුවත් කර ඇතත් මේ වනතෙක් කිසිදු නීතිමය හෝ පරිපාලන ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.
මෙවැනි තත්ත්වයකින් ගොවි ජීවිත අඩාල වීම පමණක් නොව, කුඹුරු පුරන් වී යෑම, වගා අහිමිවීම, ආදායම් අහිමිවීම, ආහාර හිඟය වැනි තවත් බලපෑම් රැසක්ද ඇති වේ. කෘෂි නිෂ්පාදන අඩුවීම රටේ ආහාර ආරක්ෂාවට දැඩි තර්ජනයක් වන අතර, ගොවියන් ගොවිතැන් කටයුතු අත්හැරීමක් ද ඊට ප්‍රතිචාර වශයෙන් නොබෝ දිනයකින් සිදු වීමට ඉඩ තිබේ.
මෙම තත්ත්වය සාධාරණ ලෙස සලකා බැලීම රජය හා පළාත් පාලන ආයතනවල වගකීමකි. එක් පුද්ගලයෙකුගේ අවශ්‍යතාවක් හේතුවෙන් මුළු ගම්මානයක් ආර්ථික වශයෙන් ගැටලු රැසකට මුහුණ දෙනු ලැබේ. ඒ නිසාවෙන්ම මෙම ගැටලුව සඳහා නීතිමය හා පරිපාලනමය විසඳුමක් මෙම ගම්වැසියන්ට ලබා දිය යුතුය.