2018 වසරේදී, අලි ඇතුන් ගම් වැදීම වැළැක්වීමට බලධාරීන් පියවර නොගැනීමට විරෝධය පළ කරමින්, පොළොන්නරුව – මහියංගනය මාර්ගයේ පිහිටි ‘කළු කැළේ’ ප්‍රදේශයේදී උද්ඝෝෂණයක නිරත වූ ගොවීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම තුළින්, පොලීසිය විසින් ඔවුන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
ඒ අනුව, අධිකරණය නියෝග කොට ඇත්තේ අරලගංවිල පොලීසියේ එවක ස්ථානාධිපති ලෙස කටයුතු කළ එස්.එම්.එල්.ආර්. බණ්ඩාර යන අය විසින් ඔහුගේ පෞද්ගලික මුදල්වලින් පෙත්සම්කරුවන් වෙත රුපියල් 30,000 බැගින් වන්දි ගෙවිය යුතු බවයි. ඒ අනුව වින්දිතභාවයට ලක් වූ පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි ආර්.ඒ. ගාමිණී ජයරත්න සහ එච්.ආර්. එරන්ද යන අය විසින් ඉදිරිපත් කළ මූලික පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව, අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයි රාජා යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත.
මහජන උද්ඝෝෂණ විසුරුවා හැරිය යුත්තේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය නොවන ආකාරයට බවත්, ඒ සම්බන්ධයෙන් පොලිස් නිලධාරින් දැනුවත් කිරීම අවශ්‍ය බවත් විනිසුරුවරයා සිය තීන්දුව මගින් ප්‍රකාශ කර ඇති අතර ඊට අමතරව වල් අලි ගම් වැදීම වැළැක්වීමට අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කරන ලෙස වනජීවි අධ්යක්ෂ ජෙනරල්වරයාටද නියෝග කර ඇති බවට වාර්තා වේ.
පොලීසිය ඉල්ලා සිටි පමණින් යම් පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරු කටයුතු නොකළ යුතු බවයි අදාළ නඩු තීන්දුව තුළින් විනිසුරුවරුන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.