යටත් විජිත පාලකයන් විසින් වසර 200කට පෙර 19 වන සියවසයේ මුල් අවධියේදී කෝපි හ තේ වතුවල සේවය කිරීම සඳහා ඉන්දියාවෙන් දමිළ ශ්‍රමිකයන් මෙරටට රැගෙන ඒන ලදි. ඒවක් පටන්, ලංකාවේ වතු වෙනුවෙන් ශ්‍රමය වගුරමින් ජීවත් වූ ඔවුන්ට නිදහසින් පසු පුරවැසි අයීය පිළිබයඳ ගැටලු රැසකට මුහුණ දෙන්නට සිදු විය. ඔවුන්ගේ පුරවැසි අයිතිය පිළිබඳ ගැටලුව විසඳුනේ තරමක් මෑතදීය. පුරවැසිභාවය ලැබුණු පමණින් ඔවුන්ට රටේ සෙසු පුරවැසියන් භුක්ති විඳින අයිතිවාසිකම් හිමි වුණේ නැත. වතු සමාගම්වලට අයත් නිවාසවල ජීවත් වන මෙම කම්කරුවන්ට තමන් පාරම්පරිකව ජීවත් වූ ඉඩමේ අයිතිය පවා නැත. රජයේ තැපැල් සේවය ඔවුන්ගේ ලියුම් ලබාදෙන්නේ වත්තේ කාර්යාලයටය. ඔවුන්ගේ නිවාවලට ‘ලියුම් ලැබෙන පිළිවෙලක්’ නැත. එනම්, ලිපිනයක් නැත.
බොහොමයක් වතු කම්කරුවන් දෛනිකව දැඩි ජීවන අරගලයන්ට මුහුණ පාන අතර බහුතරයක් ජනයා පානීය ජල පහසුකම්, සනීපාරක්ෂාව, පෝෂණය, අධ්‍යාපනය, නිවාස, දරිද්‍රතාව වැනි ගැටලු සමග පොරබදමින් ජීවත් වෙති.
වතු නිවාස
ශ්‍රී ලංකාව පුරා වතු කම්කරුවන් බහුතරයක් තවමත් දිවි ගෙවන්නේ පිරිසිදු වාත්‍රාශයක් සහ ආලෝකයක් පවා නොමැති අඳුරු ලයින් කාමරවලය. මෙම නිවාස බොහෝමයක් වර්ග අඩි 300ක පමණ කුඩා කාමර වන අතර මෙම නිවාසවල ඇතැම් අවස්ථාවල පවුල් කිහිපයක් ජීවත් වේ. අතීතයේදී මෙම ලයින් කාමර අලුත්වැඩියා කිරීම රජය විසින් සිදු කළ ද 1992 වසරේ මෙම තේ වතු පෞද්ගලික සමාගම් සඳහා පවරා දීමෙන් අනතුරුව මෙම ලයින් කාමර අලුත් වැඩියා කිරීම ක්‍රමයෙන් අකර්මන්‍ය විය. 2012 ජන හා නිවාස සංගණනයට වාර්තාවලට අනුව වතු අංශයේ නිවාස ඒකක ප්‍රමාණය 227,362ක් වන අතර එම නිවාසවල ජීවත්වන ජනතාව 901,647ක් වේ.
2024 වසරේ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1700ක් ලෙස ගැසට් පත්‍රයක් නිකුත් වූව ද තවමත් වතු කම්කරුවන්ට හිමිවන්නේ රුපියල් 1350 කි. 2025 වසරේ අප්‍රේල් මස ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති නිල දරිද්‍රතා රේඛා සංඛ්‍යාලේඛනවලට අනුව එක් පුද්ගලයෙකුට මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා අවම වශයෙන් මසකට 16,342ක මුදලකි. ඒ අනුව එක් වතු කම්කරුවෙක් මුළු මාසයම සේවයේ නිරත වූවත් ඔහුට හිමිවන මුදලින් ජීවත් විය හැක්කේ පුද්ගලයන් දෙදෙනෙක්ට පමණි. සත්‍යය නම් මෙම පවුල් තුළ සාමාජිකයන් විශාල ප්‍රමාණයක් සිටින අතර කුඩා දරුවන් ද විශාල ප්‍රමාණයෙන් ජීවත් වේ.
ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නාදෙණිය ග්‍රාම සේවා වසමේ බටුපිටිය වත්ත ප්‍රදේශයේ ලයින් කාමරවල වාසය කරන දමිළ ජනතාව ද ගත කරනු ලබන්නේ එවැන් දුක්ඛිත ජීවිතයකි. මෙම ලයින් කාමරවල ද පවුල් කිහිපයක් ජීවත්වන අතර ඔවුන්ගේ නිවාස බොහොමයක් අබලන් තත්ත්වයේ ඇත. දිරාගිය තහඩු, ලී දොරවලින් සැකසුණු මෙම නිවාස පැල්පත් ස්වරූපයක් ගනී. බොහෝ විට මෙම ලයින් කාමර කිහිපයකටම පවතින්නේ එක් වැසිකිළියක් පමණි. මේ නිසාවෙන්ම ඔවුන්ට දැඩි දුෂ්කරතා සඳහා මුහුණ පෑමට ලක් වේ. විශේෂයෙන් වර්ෂා කාලවල දී මෙම නිවාස ජලයෙන් පිරෙන අතර සනීපාරක්ෂක පහසුකම් නොමැතිවීම නිසා ලෙඩ රෝග සීඝ්රයෙන් පැතිරීම ද බහුලව දක්නට ලැබේ. අධ්‍යාපන කටයුතුවල නියැළෙන දරුවන් ද ගෙවන්නේ ඉතා කටුක ජීවිතයකි. එපමණක් නොව පවුල් කිහිපයක් මෙම ලයින් කාමර තුළ ජීවත් වීම සමඟ ළමා අපයෝජන ද බහුලව සිදුවේ.
මැතිවරණ කාලවකවානුව තුළදී නව බලාපොරොත්තු ගොන්නකින් රැවටෙන ඔවුන් තවමත් ජීවත් වන්නේ මේ ආකාරයට මිනිස් වාසයට නුසුදුසු වටපිටාවකය. ඔවුන් පවසන්නේ මැතිවරණ කාලවකවානු තුළ ඔවුන්ට පවතින මෙම ගැටලු විසඳන බවට පොරොන්දු වූවත් ඔවුන්ට හිමිවන්නේ දිරාගිය වහලයට අලුත් තහඩුවක් පමණක් බවයි.
බටුපිටියවත්ත වතු නිවාස
එබැවින් ඔවුන්ට ජීවත් වීමට සුරක්ෂිත වටපිටාවක් ලඟා කර දීම වතු පාලකයින්ගේත් මෙරට රාජ්‍ය නිලධාරින්ගේත් වගකීම නොවන්නේ ද? මෙරට ආර්ථිකයට විශාල දායත්වයක් සපයන ඔවුන්ට ජීවත් වීමට අවශ්‍ය අවම පහසුකම් සපයා දීම අවශ්‍යයෙන්ම කළ යුත්තකි.