ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යය යටතේ ජනතාවට හිමිවිය යුතු සාධාරණත්වය, යථාර්ථයේදී ලැබෙන ආකාරය පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතු ය. නීතිය ක්‍රියාත්මක වන කොතෙක් මාර්ග තිබුණද, ඒවායෙන් හිමි වන ප්‍රතිඵලවලින් පෙන්නුම් කරන්නේ විශාල ප්‍රමාදයන් හා ප්‍රමාණවත් නොවන ස්වභාවයන්ය. අසාධාරණය සිදුවූ පසු සාධාරණය ලැබීම වෙනුවෙන් වසර ගණනාවක් බලා සිටිමට සිදුවන අතර ලැබෙන ප්‍රතිඵල මගින්, එම වින්දිතයන්ට ආපසු කිසිවක් නොලැබෙනවා සේම, පවුල්වලට වූ විනාශය, මානසික හා ශාරීරික වේදනා ආදිය කිසිවකින් නිවිය නොහැක.
ශ්‍රී ලංකා ව්‍යවස්ථාවේ 13 වන වගන්තිය මගින් ජනතාවට නීතියේ සමාන ආරක්ෂාවක් සහ සාධාරණ පරිදි නඩු විභාග කිරීමේ අයිතියක් දී ඇති නමුත් එම අයිතිය ක්‍රියාත්මක වීමේදී මතුවන ගැටලුවක් වන්නේ නඩු විභාගය සඳහා ගතවන දීර්ඝ කාලයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ඉදිරිපත් කරන ලද යම් පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබු නැතහොත් යොමු කිරීම කරනු ලැබු දින සිට මාස දෙකක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාග කොට කටයතු නිම කළ යුතුය. එහෙත් එය ව්‍යවස්ථාවටම පමණක් පවතින නීතියක් වනවා පමණකි. ඒ අනුව මෙරට නඩු විභාග කටයතු සඳහා දීර්ඝ කාලයක් ගතවනවා පමණක්ම නොව එලෙස දීර්ඝ කලක් විභාගවන නඩු අවසානයේදී හිමි වන වන්දි මුදල් ප්‍රමාණය කිසිසේත් ප්‍රමාණවත් වන්නේ ද නැත.
විශ්‍රාමික ගුරුවරයකු වූ මාතර පදිංචි කේ.ඒ. හේමසිරි මතතාට 2009 වසරේ හක්මන පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයතු කළ කමල් අමරසිංහ මහතා සිදු කළ පහර දීමකින් ඔහුගේ දත් තුනක් කැඩී තුවාල සිදු විය. ඔහු මෙලෙස පහර කෑමට ලක්වන්නේ 2009 වසරේ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ප්රචාරක කටයතුවල නියැළෙමින් සිටින අවස්ථාවකදීය. ඒ අනුව ඔහු විසින් 2010 වසරේදී මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ අතර දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව 2024 මැයි මස එම පෙත්සමට අදාළ නඩු තීන්දුව ලැබිණි. ඒ අනුව, රුපියල් 150,000ක මුදලක් හා රජයට 100,000 මුදලක් ඇතුලුව රුපියල් 250,000ක වන්දියක් මාස හයක් ඇතුළත ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම පහර දීම සිදුකළ ස්ථානාධිපතිට නියෝග කරන ලදි. වසර 14ක් වැනි දීර්ඝ කාලයක් තිස්සේ සිදු කළ නඩු විභාගයකින් අනතුරුව වින්දිතයාට හිමි වූ 250,000 මුදල ප්‍රමාණවත් වේද යන්න ගැටලුවකි. වින්දිතයාට සිදු වූ තුවාල සඳහා ප්‍රතිකාර කිරීම, වසර 14ක් පුරාවට නඩු කටයුතු සඳහා උසාවි යෑමට ඇතුළුව වින්දිතයා මුහුණ දුන් මානසික හා ශාරීරික පීඩනයන් සඳහා ලැබුණු මෙම වන්දි මුදල කිසිසේත් ප්‍රමාණවත් යයි අපේක්ෂා කළ නොහැක.
කේ. ඒ. හේමසිරි මහතා
තවද තල්පිටීයේ ධීවරයෙකු ලෙස කටයතු කළ නිමල් චන්ද්‍රසිරි යන අය වාද්දුව පොලිසිය විසින් 2012 වසරේදී සැක කටයුතු තත්ත්වයක් යටතේ අත්අඩංගුවට ගැනුණු අතර ඔහු පොලිස් සිර මැදිරිය තුළම මිය යන්නේ පොලිස් පහර දීම් හා වධ හිංසාවන් හමුවේය. ඔහුගේ පවුලේ අය ඔහුව වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකරන ලෙස ඉල්ලා සිටිය ද එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අතර පසුව ඔහු සිර මැදිරිය තුළම මිය ගියේය. මෙම අවාසනාවන්ත ඉරණමෙන් වසර 12කට පසුව 2024 වසරේ නොවැම්බර් මස ඔහු වෙනුවෙන් පවරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබුණී. එහිදී වරදකරුවන් වූ පොලිස් නිලධාරීන් දෙපළ විසින් පෞද්ගලිකව රුපියල් 125,000 බැගින් සහ අතිරේකව රජය විසින් රු. 250,000ක් බැගින්, රු. 500,000ක් වින්දිතයාගේ පවුලට වන්දි මුදල් වශයෙන් ගෙවීමට නියම කරන ලදි. ඒ අනුව පොලිස් නිලධාරීන් විසින් නියමිත අවස්ථාවේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඔහු යොමු නොකිරීම නිසා ඔහුගේ ජීවිතය බේරා ගත නොහැකිවූ බව මෙම නඩු තීන්දුවෙන් අවධාරණය කරන ලදි. පොලිස් ම්ලේච්ඡත්වය පිළිබඳ චෝදනාවලින් වැසී ගිය මෙම නඩුව දිගුකාලීන ප්‍රමාදයන්ට මුහුණ දුන් අතර, වසර 12කට අධික කාලයක් ඔහුගේ පවුලේ අයට යුක්තියෙහි සරණ පැතීමට සිදු විය. ඒ අනුව චන්ද්‍රසිරිගේ බිරිඳට හා ඔහුගේ පවුලේ අයට ලැබුණු මෙම රුපියල් 500,000ක මුදලින් ඔවුන්ට අහිමි වූ සැමියාගේ, පියාගේ අඩුව පිරවිය හැකිද? ඔවුන්ට අත්වූ ඉරණම රුපියල් 500,000ක වැනි මුදලකින් වැසිය හැකිද යන්න ගැටලුවකි.
මියගිය නිමල් චන්ද්‍රසිරි වෙනුවෙන් යුක්තිය ඉල්ලීම
සඳුන් මාලිංග බදුල්ල කන්දකැටිය ප්‍රදේශයේ ජීවත් වූ පුද්ගලයකු වන අතර ඔහුද පොලිස් වදහිංසාවන් හමුවේ මියගිය වින්දිතයෙකි. මිය යන විට ඔහු 17 හැවරිදි වියේ පසු වූවෙකි. ඔහු 2014 වසරේ මිය යන්නේ පොලිස් අත්අඩංගුවේ පසුවන අවස්ථාවකය. ඒ සිය මිතුරන් කිහිප දෙනෙකු සමඟ ත්‍රී රෝද රථයක් මිලට ගැනීම සඳහා ගිය අවස්ථාවේදී ය. එහිදී එම පිරිසව අත්අඩංගුවට ගන්නා කන්දකැටිය පොලිස් නිලධාරීන් එල්ල කරන ලද පහර දීම් හා පොලිස් වදහිංසනයන් හමුවේ සඳුන් මාලිංග අවාසනාවන්ත ලෙස බන්ධනාගාරයේදී මිය ගියේය. දීර්ඝ මූලික අයිතිවාසිකම් නඩු විභාගයකින් අනතුරුව 2021 වසරේ මැයි මාසයේ දී ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හිමි වූ අතර එහිදී වින්දිතයාගේ මවට රුපියල් 540,000ක වන්දියක් හා රුපියල් 180,000ක නඩු ගාස්තුවක් ගෙවන ලෙසට තීන්දු විය. දරුවෙකු අහිමි වූ මවකට සහ පවුලකට මෙවැනි වන්දි මුදලක් ගෙවීමකින් ඔවුන්ට සිදු වූ විනාශය පියවිය හැකි ද?
මියගිය සඳුන් මාලිංග වෙනුවෙන් යුක්තිය ඉල්ලීම
විශේෂයෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ විට, වින්දිතයෙකුගේ ජීවිතයට හා ඔහුගේ පවුලට සිදුවන විනාශය කිසිදු වන්දි මුදලකින් පිරවිය නොහැකි ය. ප්‍රමාද වූ නඩු විභාග, ප්‍රමාණවත් නොවන වන්දි මුදල් හේතුවෙන් ලැබෙන යුක්තිය ද අභියෝගයට ලක්ව තිබේ.