ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනත අනුව ලබා දෙන නිර්දේශ සඳහා නැවත අභියාචනා කිරීමේ ක්‍රමවේදයක් නොමැති බවත් අභියාචනා යොමු කරමින් නිර්දේශ ක්‍රියාත්මක නොකර සිටීමට නීතිමය හැකියාවක් නොමැති බවත් එම කොමිෂන් සභාව රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට අවධාරණය කර ඇත.
අභියාචනා යොමු කළ පසුබිමක වුවද මානව හිමිකම් කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක නොකර සිටීමට නීතිමය හැකියාවක් නොමැති බවට අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් සභා ප්‍රධාන ලේකම්වරු, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් යටතේ පවතින ආයතන හා නිලධාරීන්ට අභ්‍යන්තර චක්‍රලේඛ මගින් දැනුම් දෙන ලෙස මානව හිමිකම් කොමිෂන් සභාව නියෝග කර තිබේ.
1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනත ප්‍රකාරව සිදු කරනු ලබන විමර්ශන සම්බන්ධයෙන් කොමිෂන් සභාව ලබා දෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා සියලු වගඋත්තරකාර පාර්ශ්ව බැඳී සිටින බව එහි සභාපති විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණියගේ අත්සනින් නිවේදනයක් නිකුත් කර ඇත.
මේ අතර, මානව හිමිකම් කොමිෂන් සභාව ලබා දෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීමට 17/2005 සහ 2005 ඔක්තෝබර් 05 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය මඟින් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයද සියලු අමාත්‍යාංශ ලේකම්වරු, පළාත් සභා ප්‍රධාන ලේකම්වරු, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, සංස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් දැනුවත් කර ඇති බව එහි දැක්වේ.
එම නිර්දේශ බලාත්මක කිරීම පිණිස ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාවට ලිඛිත වාර්තා ඉදිරිපත් කරන ලෙස මානව හිමිකම් කොමිෂන් සභාව සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
උපුටා ගැනීම මව්බිම වෙබ් පිටුවෙන්