ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ උප්පුවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කරුමලෛයුත්තු ජුම්මා පල්ලිය වසර 400කට වඩා ඉපැරණි මුස්ලිම් පල්ලියකි. ලන්දේසි පාලන සමයේදී කරුංගල් කන්දේ ඉදිකරන ලද මෙම පල්ලියේ අත්තිවාරම යටින් නොසිඳෙන උල්පතක් ගලා යයි. නොසිඳෙන උල්පත නිසා මෙම ගම්මානය කරුමලෛයුත්තු ලෙස නම් කර ඇති බවට ජනප්රවාදයෙන් එන්නකි.
වසර 1800කට පෙර ලන්දේසි යුගයේදී ඉදිකරන ලද මෙම පල්ලිය, යුද්ධය අවසන් වීමෙන් පසු 2009 වසරේදී හමුදාව විසින් මෙහි තාවකාලිකව කඳවුරක් ස්ථාපිත කරන ලද බව මෙම ප්‍රදේශයේ ජනතාව පවසති.
එම කාලයේදී ජනතාවට පල්ලිය සහ සාන්තුවරයන් සිටින බව විශ්වාස කරන සිද්ධස්ථාන නැරඹීමට ද අවසර ලැබුණි. එහෙත් පසුකාලීනව ප්‍රදේශවාසීන් පවසන ආකාරයට හමුදාව විසින් පල්ලිය වටා කටු කම්බි සවි කොට ඇති අතර ඉන් අනතුරුව පල්ලියට ඇතුළුවීම හා වන්දනාමාන කිරීම එම ජනතාවට සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.
වර්ෂ 1942ට පෙර මෙම පල්ලිය නීරොට්ටුමුනේ, මක්කීලුට්ටු, නාචිකුඩා, වෙප්පන්ගුඩා, තිරුක්කයිගුඩා සහ සීනිකුඩා යන ගම්මාන සඳහා තිබූ එකම ජුම්මා පල්ලිය විය. මෙම ප්‍රදේශවල වාසය කරන ජනතාව ලන්දේසි පාලන සමයේදී මැලේසියාවෙන් මෙරටට ශ්‍රමිකයන් ලෙස පැමිණි පුද්ගලයන් වේ.
කරුමලෛයි උඩු පල්ලියේ පරිපාලන ලේකම් එම්.අයි. ජවාහිර් පවසන ආකාරයට 2007 වසරේ ඔක්තෝබර් 26 වන දින මුහම්මද් නබිතුමාගේ උපත වෙනුවෙන් මෙම පල්ලිය ඉදිකිරීම සඳහා එවකට රජය රුපියල් ලක්ෂ 5 ක් ලබා දී තිබෙන අතර එම මුදලින් පල්ලිය ප්‍රතිසංස්කරණය කරන ලදි. ඊට අමතරව, මහින්ද රාජපක්ෂ ජනාධිපතිව සිටි කාලයේ සහ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යවරයාව සිටි කාලයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්. තව්ෆික්ගේ ඉල්ලීම වූයේ මෙම ඉඩම ජනතාවට භාර දෙන ලෙසයි. එහෙත් හමුදාව මෙම ඉඩම ජනතාවට භාර දීම ප්‍රතික්ෂේප කර ඇත.
මෙයින් පසුව, හමුදා පාලනය යටතේ පැවති කරුමලෛයි උඩු පල්ලිය 2014 අගෝස්තු මස කඩා දමා බිමට සමතලා කර ඇති බවට කරන ලද පැමිණිල්ලක් හේතුවෙන්, කඩා දැමූ පල්ලිය වෙනුවට කුඩා පල්ලියක් හමුදාව විසින් පිළිස්සූ ගඩොල් භාවිතයෙන් ඉදි කර 2017 වසරේ මැයි මස භාර දී ඇත.
කෙසේ වෙතත්, අදාළ ස්ථානය යාඥා කිරීමට සුදුසු නොවූ බැවින්, ප්‍රදේශවාසීන් විසින් තාවකාලික පැල්පතක් අතිරේකව ඉදිකර එහි යාඥා පවත්වා ඇත. එහෙත් 2019 වසරේ රට තුළ සිදු වූ පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසුව හමුදාව විසින් ආරක්ෂිත ප්‍රදේශවල පල්ලිවලට ඇතුළුවීම සම්පූර්ණයෙන්ම තහනම් කරන ලද අතර, එදින පනවන ලද තහනම අද දක්වාම හමුදාව විසින් ක්‍රියාත්මක කරන බව ප්‍රදේශවාසීහු පවසති.
ප්‍රදේශවාසීන් පවසන ආකාරයට නැවත පල්ලිය තුළ යාඥා කිරීම සඳහා ඔවුන් විසින් නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයාගෙන් සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගෙන් අවසර ඉල්ලා සිට ඇත. ත්‍රිකුණාමල නගර ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් සිදුකරන ලද විමසීමකදී ඔහු පවසා සිටියේ ඒ පිළිබඳව විමර්ශනය කර මෙම ගැටලුව සම්බන්ධව ඉක්මනින් පියවර ගන්නා බවයි.