සෞඛ්‍ය සම්පන්න පරිසරයක ජීවත්වීමට ඇති පරම අයිතිය අවිධිමත් කන්නියා කසළ අංගනය විසින් තමන්ට අහිමිකර ඇති බව අවට ජීවත් වන ජනතාව චෝදනා කරයි.
ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පිහිටි පළාත් පාලන ආයතන කිහිපයක හා කර්මාන්ත ශාලා, හමුදා කඳවුරු රැසක කසළ සහ අපද්‍රව්‍ය බැහැර කරනු ලබන්නේ කන්නියා පිහිටි කසළ අංගනය වෙතටයි. මෙම කසළ අංගනය පිහිටි භූමිය, කන්තලේ වන රක්ෂිතයට අයත් වන අතර, ඊට බැහැර කරනු ලබන කසළ ගිවිසුම් ගත ලෙස ප්‍රතිචක්‍රීයකරණය නොකිරීම ප්‍රධාන ගැටලුව වේ.
හිටපු සභාපති සඳුන් රත්නායක මහතා පවසන අන්දමට ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට අයත් පළාත් පාලන ආයතන මගින් බැහැර කරන කසළ යොදා ගනිමින් 2023 වසරේ දී මෙම ස්ථානයේ කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් ත්‍රිකුණාමලය නගර හා කඩවත් ප්‍රාදේශීය සභාව මගින් ආරම්භ කිරීමට පළාත් පාලන අරමුදල මගින් රුපියල් මිලියන 12 ක මුදලක් වෙන් කළ බවයි.
කෙසේ නමුත්, කසළ අංගනය පවත්වා ගෙන යනු ලබන සමාගමේ විරෝධය හමුවේ එම ව්‍යාපෘතිය හකුළා ගැනීමට ත්‍රිකුණාමලය නගර හා කඩවත් ප්‍රාදේශීය සභාවට සිදුවිය. රජය සහ අදාළ සමාගම අතර අත්සන් තබා ඇති අවබෝධතා ගිවිසුමේ පවතින දුර්වලතා එයට හේතු විය. නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යවරයෙකුගේ මැදිහත්වීම මත සී.ජී.එල්. ඉන්ටර්නැෂනල් ඉකෝ නමැති පුද්ගලික සමාගමක් වෙත මෙම අංගනය ලබා දී ඇති අතර එහිදී අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටියෙන් තොරව මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇති බව සඳුන් රත්නායක මහතා අවධාරණය කරයි.
මෙම කසළ අංගනය සදහා රජය විසින් ලබා දී ඇති භූමි ප්‍රමාණය අක්කර 32ට අධිකය. 2014 වසරේදී පමණ අදාළ පුද්ගලික සමාගම විසින් කසළ ප්‍රතිචක්‍රීයකරණ කර විදුලිය නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් ලෙස කසළ අංගනය ආරම්භ කළත් මේ වනවිට එය ක්‍රියාත්මක නොවන්නේ ඒ සඳහා පළාත් පාලන ආයතන මඟින් ලබාදිය යුතු මුදල් නොලැබී ඇති නිසාවෙනි. එයට හේතුව වශයෙන් පෙන්වා දෙන්නේ අදාළ අවබෝධතා ගිවිසුම්වල පවතින ගැටලුය.
දිනකට කසළ ට්‍රැක්ටර් 40ක පමණ කසළ ටොන් 190ක ප්‍රමාණයක් මෙම ස්ථානයට මුදා හරින නමුත්, ව්‍යාපෘතියේ සඳහන් අන්දමට මේ කසළ කිසිවක් එදා සිට මේ දක්වා ප්‍රතිචක්‍රීයකරණයට භාජනය නොකළ බව පරිසර හා තෙත් බිම් සුරකීමේ එකමුතුවේ කැදවුම්කරු නන්දික ලොකු ගලප්පත්ති මහතා පෙන්වා දෙයි. මෙම කසළ අංගනය ආරම්භ කිරීමට එරෙහිව ප්‍රදේශයේ පරිසර හා සමාජ සංවිධාන ආරම්භයේ සිටම කරුණු දැක්වුවද, එවකට පැවති රජයන් එය ගැන තැකීමක් නොකළ බව නන්දික ලොකු ගලප්පත්ති මහතා කියා සිටි.
මෙම අංගනයෙහි අයිතිය, වන සංරක්ෂණ දෙපාර්මේන්තුව සතුව පවතින බැවින් තම ආයතනයට මෙම කසළ අංගනය නියාමනය කළ නොහැකි බව නගර හා කඩවත් ප්‍රාදේශීය සභාවේ වත්මන් ලේකම් නුවන් රන්දික දේශප්‍රිය මහතා පවසයි. කසළ අංගනයේ ඉඩමේ අයිතිය කවර ආයතනයක් යටතේ පැවතියද, සිය බල ප්‍රදේශය තුල ජනතාව මුහුණ දෙන සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් කටයුතු කිරීම අදාළ පළාත් පාලන ආයතනයේ වගකීමකි.
ඕ.කේ.ඩී.ධර්මසිරි මහතා පෙන්වා දෙන අන්දමට මෙම කසළ අංගනය හේතුවෙන් වෙල්ගම් වෙහෙර හා කන්නියා ප්‍රදේශයන්හි ස්වභාවික ජල උල්පත් මෙන්ම භූගත ජලය ද භාවිතයට ගත නොහැකි මට්ටමින් අපවිත්‍ර වී ඇති බැවින් ඔවුන් කාලයක් මුළුල්ලේ භාවිතයට ගත් ළිං අතහැර දමා මුදලට ජලය ලබා ගැනීමට සිදුව ඇත.
තොරතුරු දැන ගැනීමේ පනත යටතේ කළ විමසීමකට අනුව තහවුරු කර ගැනීමට හැකි වු ප්‍රධානතම කාරණා වූයේ, අදාළ ආයතනය කසළ ප්‍රතිචක්‍රීයකරණය මගින් විදුලිය නිෂ්පාදනය කරන බවට ව්‍යාපෘති වාර්තාව හරහා පෙන්වා තිබුණද, 2016 සිට මේ දක්වා විදුලිය නිෂ්පාදනය කෙසේ වෙතත්, අඩුම තරමින් කසළ ප්‍රතිචක්‍රීයකරණය හෝ සිදු කර නොමැති බවයි.
වන සංරක්ෂණ දෙපාර්මේන්තුව මගින් කසළ බැහැර කළ හැකි ප්‍රදේශ ද උල්ලංඝනය කරමින් කසළ බැහැර කර ඇති අතර, එය කළමනාකරණය කිරීමට අදාළ ආයතනය එතරම් උනන්දුවක් දක්වා නැත.
විශේෂයෙන් වන සංරක්ෂණ දෙපාර්මේන්තුවේ නිළධාරීන්, මෙම ඉඩම නිකුත් කිරීමේදී ලබා දී ඇති නිර්දේශ ඒ ආකාරයෙන් ඉටු කරන්නේද යන්න හෝ මෙතෙක් කලක් අධීක්ෂණය කර නොමැති බවක් පෙනී යයි. මේ වන විට මෙම කසළ අංගනය වන අලීන්ගේ කෙම් බිමක් බවට පත්ව ඇති අතර, පොලිතීන් සහිත කසළ ආහාරයට ගැනීම හේතුවෙන් වන අලි රැසකගේ ජීවිත අහිමි වී ඇති බවත්, වන අලි පහරදීමෙන් මිනිස් ජීවිත ද අහිමි වී ඇති බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙති. තවද මැසි උවදුර කසළ අංගනයේ සිට කිලෝ මීටර් පහක පමණ දුරක ව්‍යාප්තව ඇත. කසළ අංගනයේ සිට කිලෝ මීටර් එකහමාරක පමණ දුරකින් පිහිටි කන්නියා උණු දිය ලිං ප්‍රදේශයට මෙය වඩාත් තීව්‍ර ලෙස බලපා ඇති බව පෙනී යයි.
සී.ජී.එල්. ඉන්ටර් නැෂනල් ඉකෝ පුද්ගලික සමාගමේ සභාපති බව කියන සී.කේතීෂ්වරන් හෝෆ්මන් මහතා පවසා සිටියේ තමා පළමු අදියර යටතේ කසළ අංගනය නිසි ලෙස සකසා, මිලියන 6.2 වැය කර විදුලි වැටක්ද ඉදි කොට කසළ භාර ගැනීම සිදු කළ බවයි. කසළ ප්‍රතිචක්‍රීයකරණය හා විදුලිය නිපදවීම දෙවන අදියරේදී සිදු කිරීමට නියමිත වුවත් ඉඩමේ අයිතිය පිළිබඳ පවතින ගැටලු හේතුවෙන් මෙය ආරම්භ කිරීමට නොහැකිවන බවයි.
කෙසේ වෙතත් ත්‍රිකුණාමලය වන සංරක්ෂණ දෙපාර්මේන්තුවේ අඩවි වන නිලධාරි එම්.කේ.කුමාරජීව මහතා පවසන්නේ වන රක්ෂිතයකට අයත් ඉඩමකට ඔප්පු ලබාදීම සිදු නොකරන බවත්, වන රක්ෂිත තුළ රජයේ මෙන්ම පුද්ගලික ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී වාර්ෂික බදු ඔප්පුවක් පමණක් නිකුත් කරන බවත් ය.
සුන්දර ත්‍රිකුණාමලය අසුන්දර කරන කන්නියා කසළ අංගනය මේ වන විට දිනෙන් දින මහා ගිනි කන්දක් බවට පත්වෙමින් පවතී. කන්නියා කසළ අංගනයේ මුඛ්‍යාර්ථය කසළ ප්‍රතිචක්‍රීයකරණය වුවද, සිදු නොවන්නේද එම කටයුත්ත බව රහසක් නොවේ. මේ හේතුවෙන් සෞඛ්‍ය ගැටලු මෙන්ම වන අලි ගැටලුවෙන්ද ප්‍රදේශයේ ජනයා මහත් පීඩාවට පත්ව සිටින අතර, වැඩි දිනක් ගතවීමට පෙර නැවත වරක් ගම් බිම් අතහැර යාමට සිදු විය හැකිය.