දරුවන් යනු රටක සම්පතක් මෙන්ම අනාගතයයි. එබැවින් දරුවකු මවගේ කුසට පැමිණි දා සිට දරුවා සහ මවගේ වගකීම එම පවුල්වල සමාජිකයන්ට පමණක්ම නොව රජයට ද අදාළ වේ. කාන්තාවක් ගර්භණී වූ තැන් පටන් එම මවටත් දරුවාටත් අවශ්‍ය සියලුම සෞඛ්‍ය පහසුකම් රජය විසින් සපයනු ලබන්නේ එබැවිනි.
ඔවුන්ට අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාවන් නොමිලේ සැපයීම සඳහා සෑම ප්‍රදේශයකම සායනික මධ්‍යස්ථාන පිහිටුවා ඇත. මෙම මධ්‍යස්ථාන ඔස්සේ ගැබිනි මවගේ හා දරුවාගේ වෛද්‍ය පරීක්ෂණ, එන්නත්කරණය, දරුවාගේ වැඩීම අධීක්ෂණය කිරීම, පෝෂණ වැඩසටහන් ආදිය සිදු කරනු ලබයි.

මෙවැනි පසුබිමක, කෑගල්ල දිස්ත්‍රික්කයේ, මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දෙල්ගහගොඩ ග්‍රාම නිලධාරී වසමේ 1998 වසරේ මහජන මුදලින් එහි ප්‍රදේශවාසින් වෙනුවෙන් ඉදිකර ඇති සෞඛ්‍ය මධ්‍යස්ථානය අකර්මන්‍ය තත්වයකට පත්ව ඇති බව වාර්තා වේ. මෙම සෞඛ්‍ය මධ්‍යස්ථානය ආරම්භ කළ මුල් අවස්ථාවේදී ගැබිණි මව්වරුන්ගේ හා දරුවන්ගේ සියලු සායන කටයතු මෙම මධ්‍යස්ථානය හරහා සිදු වී ඇත. එහෙත් මේ වනවිට සායන කටයුතු අකර්මන්‍ය වී ඇති අතර වර්තමානය වනවිට එම මධ්‍යස්ථානය හරහා සිදුවන්නේ මසකට වරක් දරුවන්ගේ බර කිරීමේ කාර්යය පමණකි. සෙසු සියලුම සායන සේවාවන් සඳහා ගැබිනි මව්වරුනට හා අලුත උපන් දරුවන්ට නගරයට යෑමට සිදුව ඇත. ඒ සඳහා ප්‍රවාහනය සඳහා අධික මුදලක් යෙදවිය යුතු බවත් එපමණක් නොව මධ්‍යස්ථානය වෙත පැමිණෙන පිරිස් ප්‍රමාණය ඉහළ බැවින් එම මව්වරුන්ට පෝලිම්වල දරුවන් සමග විශාල කාලයක් වැය කරමින් ලොකු අපහසුතාවයකට පත් වීමට සිදුවන බවත් එම මව්වරු පවසා සිටිති.
මේ ආකාරයට සෞඛ්‍ය මධ්‍යස්ථානයක් වසා දමමින් එම ප්‍රදේශයේ මව්වරු හා දරුවන් මෙම සේවාවන් ලබා ගැනීම සඳහා වෙනත් නගරයන් කරා යෑම මුදල් නාස්තියක් පමණක්ම නොව එම ගැබිනි මව්වරුන්ගේ හා දරුවන්ගේ ජීවිත අවදානමේ හෙළීමකි. මහ බැංකු වාර්තාවට අනුව 2020 වසරේ වාර්තා වී ඇති පරිදි ළඳරු මරණ අනුපාතය සජීවි උපත් 1,000කට 6.4ක් වේ. මෙවැනි පසුබිමක තවදුරටත් සෞඛ්‍ය මධ්‍යස්ථාන වසා දමමින් මෙරට අනාගත දරුවන්ගේ ජිවීත අවදානමක දැමීම මහජන මුදල් අපතේ දැමීමකි.
එබැවින් මෙම සෞඛ්‍ය මධ්‍යස්ථානය අලුත් වැඩියා කර දෙල් ගහගොඩ ග්‍රාමසේවා වසමේ ගම් හයක පමණ ජීවත්වෙන ජනතාව මුහුණදෙන ගැටලුකාරි තත්ත්වයට අස්වැසිල්ලක් වනු ඇත.
