අතීතයේ සිට මෙරට වධ හිංසනයන් ක්‍රියාත්මක වූ අතර මෙරට ඉතිහාසයේ වධ හිංසනයන් 32ක් තිබු බවත් එකල රාජ පුරුෂයින් මෙම වධ හිංසනයන් ක්‍රියාත්මක කළ බවත් වාර්තා වේ. එහෙත්, ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරීමෙන් අනතුරුව ශ්‍රී ලාංකික සමාජය වධහිංසනය හෙළාදකින්නට පටන් ගත්තේය. වධහිංසනයට එරෙහි නීති සම්මත කරගත්තත්, වධහිංසනය අවසන් වූයේ නැත. තවමත් එය පොලීසි, හමුදා කඳවුරු, බන්ධනාගාර ආදියෙහි පමණක් නොව, පාසල්, විශ්වවිද්‍යාල ආදියෙහි ද පවතී. පවුල තුළ ද ගෘහස්ථ හිංසනය සුලබය.
1984දී එක්සත් ජාතීන් වධ දීම හා අනෙකුත් කෲර,අමානුෂික හෝ අවමන් සහගත සැලකීම හෝ දඩුවම් වලට එරෙහි වූ සම්මුතිය සම්මත කරන ලදි.
මෙම සම්මුතිය ඔස්සේ වධ හිංසාව සිදුවන රටට පමණක් නොව වෙනත් රටකට වූවද එයට එරෙහිව ක්‍රියාකිරීම සඳහ විශ්වමය අධිකරණ බලය හිමි වී ඇත. එනම් වධ හිංසාව සිදු කරන්නෙකුට එරෙහිව ඕනැම රටකට නඩු පැවරීමේ හැකියාව පවති.
මෙරට රාජ්‍ය අංශය තුළ දක්නට ලැබෙන වධ හිංසනයන් වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ පොලිසිය, බන්ධනාගාරය සහ පාසල් පද්ධතිය තුළයි. ඉන් වැඩි වශයෙන් පොලිසිය තුළ වධ හිංසනයන් දැක ගැනීමට හැකියාව තිබේ. වසරකට මෙරට පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් පොලිස් වධ හිංසනයන්ට ගොදුරු වන අතර, වධහිංසනය හේතුවෙන් ඇතැමුන්ට ඔවුන්ගේ ජීවිත ද අහිමි වූ අවස්ථාවන් දහස් ගණනකි.
2012 අගෝස්තු මස මුලදී , අනුරාධපුර දිස්ත්‍රික්කයේ තඹුත්තේගම නගරයේදී පොලිසියට එරෙහිව පාගමනක් පැවැත්විණි. එයට හේතු වූයේ, හදිසි අනතුරකදී සිදු වූ මරණයක් පිළිබඳ පොලිසිය කටයුතු කළ ආකාරය වැරදි බවට ඇතැමුන් අතර පැවති අදහසයි. උද්ඝෝෂණයට පසු දින තඹුත්තේගම රැජින හන්දියේ සිය සන්නිවේදන සාප්පුවක් පවත්වාගෙන යන එක් තරුණයෙක් හදිසියේ අත්අඩංගුවට ගැනිණි. මොහු එකල 27 හැවිරිදි සුසිල් ප්‍රියංකර සෙනෙවිරත්න නැමැති තරුණයෙකි.
මෙම තරුණයා මෙලෙසින් අත්අඩංගුවට ලක්වන්නේ ඔහු පෙර දිනයේ පැවති විරෝධතාවකට සහභාගී වූ බවට ඇති වූ සැකයක් මතයි. ප්රජාතන්ත්රවාදී ලෙස විරෝධය පෑම පුරවැසියන්ගේ අයිතියකි. විරෝධතාවකදී කුමක් සිදු වුණත්, නීතිමය ක්‍රියාමාර්ග ගැනීම මිස එයට එරෙහිව පළිගැනීම් කිරීමට පොලිසියට අයිතියක් නොමැත. එහෙත්, මෙම තරුණයා තමන් නිර්දෝෂී පුද්ගලයකු බව පොලිසියට දිගින් දිගටම පවසද්දී පොලිසිය ඔහුට පහර දුන්නේය.
පසුව, මෙම වධහිංසනයට එරෙහිව එම තරුණයා විසින් මූලික අයිතිවාසිකම් නඩුවක් පවරන ලදි. එය දිගු කාලයක් තිස්සේ විභාග විය. විනිසුරු තුරෙයිරාජා මහතාගේ හා යසන්ත කෝදාගොඩ මහතාගේ එකඟතාවෙන් යුතුව විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා විසින් වසර 13කට පසුව මෙම නඩුවේ තීන්දුව 2025 මැයි 23 දින නිවේදනය කළේය. ඒ අනුව, අදාළ තරුණයාට රුපියල් ලක්ෂ 12ක වන්දියක් ගෙවන ලෙස වැරදිකාර පොලිස් නිලධාරීන් හයදෙනෙකුට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. ඒ අනුව අදාළ වන්දි මුදල පොලිස් නිලධාරීන්ගේ පෞද්ගලික මුදලින් ගෙවිය යුතු බවට ද නියම කරන ලදි.
ඊට අමතරව, වගඋත්තරකාර පොලිස් නිලධාරින්ට එරෙහිව 1994 අංක 22 දරණ කෲර අමානුෂික අවමන්හ සහගත සැලකිල්ලට හා දඬුවම්වලට එරෙහි ජාත්‍යන්තර සම්මුති පනත යටතේ නඩු පැවරීමට ඇති හැකියාව අධ්‍යනය කර අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියෝග කළේය.
මේ අයුරින් රට පුරා සිදුවන මර්දනයන්ට එරෙහිව පුරවැසියන්ගේ වගකීම වන්නේ නිහඬව සිටීමද? තමන්ට අයුක්තියක් සිදු වී නම්, එයට එරෙහිව නැගී සිටින්නට හැකියාවක් තිබිය යුතුය. තමුන්ට එරෙහිව සිදුවන ඕනෑම මානව හිමිකම් කඩවීමකට හා අයුක්තියට එරෙහිව ජාතික පොලිස් කොමිෂන් සභාවටත්, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවටත් පැමිණිලි කළ හැකි අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් පවා ගොනු කළ හැකිය.
ඔබටත්, මානව හිමිකම් උල්ලංඝනයකට මුහුණ දෙන්නට සිදු වුණොත්, නිහඬව විඳ දරාගන්නට එපා. අපි එක්ව යුක්තිය වෙනුවෙන් සටන් කරමු.