මෙරට ජනතාව නීතිය හා සාධාරණත්වය පිණිස අධිකරණයට යාමට බොහෝවිට මැලි වන්නේ නඩු විභාගයේ දැඩි ප්‍රමාදය නිසාය. අධිකරණය ඔස්සේ යුක්තිය බලාපොරොත්තු වීම යනු කාලය කා දැමීමක් බවට පත්වී ඇති බව සමාජය තුළ පවතින සාධාරණ අදහසකි.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ජනතාවට නීතියේ සමාන ආරක්ෂාවක් සහ සාධාරණ නඩු විභාගයක් සඳහා අයිතිය ලබා දී ඇති නමුත් එම අයිතිය තහවුරු කිරීම සම්බන්ධයෙන් මතු වන ගැටලුවක් වන්නේ නඩු විභාගය සඳහා ගතවන දීර්ඝ කාලයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, මූලික අයිතිවාසිකම් නඩුවක් මාස දෙකක් ඇතුළත විභාග කොට අවසන් කළ යුතු වුවත් යථාර්තය ඊට හාත්පසින්ම වෙනස් ය.
විධිමත් නඩු විභාග පද්ධතියක් නොමැති වීම, විනිශ්චයකරුවන් හා අධිකරණ කාර්ය මණ්ඩලයේ පිරිස ප්‍රමාණවත් නොවීම, නීතිපති දෙපාර්තමේන්තුවේ ගැටලු, තාක්ෂණික පහසුකම්වල අඬුලුහුඬුකම්, නීතීඥවරුන්ගේ ගැටලු වැනි කරුණු හේතුකොටගෙන නඩු විභාග කටයුතු අවසන් වීම සඳහා ඇතැම් විට වසර 10කටත් වැඩි කාලයක් ගත වේ. ඇතැම් නඩු වසර 20ක් 25ක් පුරා ඇදීගොස් ඇති අයුරු ද දැකිය හැක. මෙම තත්වය මූලික අයිතිවාසිකම් නඩු සම්බන්ධයෙන් ද තිබේ.
2012දී තඹුත්තේගම සුසිල් ප්‍රියංකර නම් තරුණයෙකු පොලිසිය විසින් වධහිංසනයට ලක්කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ පොලිස් නිලධාරීන් 06 දෙනෙකු විසින් රුපියල් ලක්ෂ 12ක වන්දියක් වින්දිත තරුණයාට ගෙවීමට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා නියම කළේය. එහෙත් වින්දිතයාට අදාළ තීන්දුව ලැබුණේ වසර 13කට පසුවය. තවද අදාළ වින්දිතයාට විරුද්ධව ව්‍යාජ නඩුවක් පවරා ඇති අතර එය ද තවමත් විභාග වෙමින් පවතී.
2010 වසරේදී පූගොඩ පොලිස් නිලධාරීන්ගේ පහර දීම් හමුවේ මියගිය කිරිඳිවැල ඩේවිඩ් අමරසිංහගේ මරණය සම්බන්ධයෙන් පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති ලඝුනොවන නඩු විභාගය පවත්වාගෙන යාම වළක්වාලන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොනුකර තිබු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2023දී නිෂ්ප්‍රභ කරන ලදි. එය සිදු වූයේ වසර 13කට පසුවය. ඒ අනුව, මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු විභාගය යළි ආරම්භ කිරීමට සිදුවුණේ 13 වසරකට පසුවය. අවිවාහක විශ්‍රාමික හමුදා නිලධාරියකු වූ ඩේවිඩ් අමරසිංහ සිය මවට හා ඔහුට රාත්‍රි ආහාරය සඳහා පාන් ගෙඩියක් ගෙන ඒමට අසළ වෙළඳසැළකට ගොස් සිටියදී ඔහු අධිකව බීමතින් සිටියැයි කියමින් ව්‍යාජ චෝදනාවක් එල්ලකරමින් ඔහුව පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් නිලධාරීන් ඔහුට එල්ල කරන ලද පහරදීම් හමුවේ ඔහු මියගොස් ඇත. මේ වන විට ඩේවිඩ් අමරසිංහගේ මව ද මියගොස් ඇති අතර එම සිදුවීම ඇසින් දුටු එකම සාක්ෂිකරුද මේ වන විට මියගොස් ඇත. ඔහුගේ එකම සහෝදරයා ද 65වන විය ඉක්මවා ගොස් ඇත. මෙවැනි පසුබිමක වසර 15කට අධික කාලයක් ඉක්මවා ගොස් ඇති මොහොතක ඔහුට සාධාරණයක් ඉටු වේ යැයි බලාපොරොත්තු විය හැකිද? මහේස්ත්‍රාත් විභාගය යළි ආරම්භ වී මිනීමැරුම මහේස්ත්‍රාත් අධිකරණය වෙත යොමු වීමට තව කෙතරම් කාලයක් ගත වේද?
2000 වසරේදී පයාගල පොලිසියේ නිලධාරීන්ගේ පහරදීම් හමුවේ මියගිය ලසන්ත ජගත් කුමාර යන අයට වසර 25ක් තිස්සේ තවමත් සාධාරණයක් හිමි වී නැත. ඔහු හමුදාවෙන් පලා යෑමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන සිටි අතර අත්අඩංගුවට ගෙන දින පහකට පසු බන්ධනාගාරය තුළ දී මියගියේය. ඔහුගේ වැඩිමහල් සහෝදරිය වන අමිතා ප්‍රියන්ති විසින් ඇයගේ බාල සොහොයුරුට යුක්තිය ඉටු කිරීම සඳහා වසර 25ක් තිස්සේ සටන් කරන අතර එම නඩු විභාගය ද තවමත් සිදුවන්නේ ලොව දීර්ඝතම වද හිංසා නඩුවට හිමිකම් කියමිණි.
වදහිංසාවට ලක්වී මියගිය පිරිසට නීතියෙන් යුක්තිය ඉටු වුවද, ගතවන කාලය සහ දැඩි ප්‍රමාදය නිසා එම යුක්තිය කල් ඉකුත් වුණු, අර්ථ විරහිත දෙයක් බවට පත්වේ.
අවසාන වශයෙන් වදහිංසාවෙන් තොර සමාජයක් ගොඩනැගීම සඳහා නීතියේ වේගවත්බව සහ සාර්ථකව ක්‍රියාත්මක වීම, වගකිවයුතු නිලධාරීන්ට වගකීම් පැවරීම සහ වින්දිතයාට සහ එම පවුලේ උදවියට සාධාරණය ඉටු වීමට නීතිමය පද්ධතිය හැකි උපරිම වේගයෙන් ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය වේ. එසේ නොකළහොත්, නීතියේ නමින් සිදුවන ක්‍රියාවලිය සමාජයට යුක්තියක් ලබාදීම වෙනුවට, වදහිංසාව ආවරණය කරන අලූත් ආකාරයක් ලෙස ඉස්මතු වීම වැළැක්විය නොහැකිය.