මෙම වසරේ (2025) පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා ආර්ථිකය 4.8%ක වර්ධන වේගයක් පෙන්නුම් කර තිබෙනවා. “බල සුබ නිමිති පෙර මග නැකතටත් වැඩි” කියලා කියනවනේ. පළමු කාර්තුවේ මේ වර්ධන වේගය මේ වසරේ සමස්ත ආර්ථික වර්ධන වේගය පිළිබඳව සුබ පෙර නිමිත්තක් ලෙස හඳුනා ගන්න පුළුවන්.
ලංකාවේ ආර්ථිකය තවමත් අර්බුදයට පෙර පැවති මට්ටමට පැමිණ නැහැ. මේ වැඩි වෙන්නේ ආර්ථික අර්බුදය හමුවේ අඩු වූ ප්‍රමාණයෙන් කොටසක්. පළමු කාර්තුව පමණක් සැලකුවොත් තවමත් ඉන්නේ 2021 සිටි මට්ටමට වඩා 2.5%ක් පහළින්. නමුත් පසුගිය (2024) වසරේ පළමු කාර්තුව තුළ 5.1%කින් වර්ධනය වීමෙන් පසුව, එම වර්ධනය මත තවත් 4.8%ක වර්ධනයක් වාර්තා වෙනවා කියන්නේ හොඳ තත්ත්වයක්. ඉදිරි (2026) වසරේ පළමු කාර්තුවේදී ආර්ථික අර්බුදයට පෙර සිටි මට්ටමට සාපේක්ෂව වුවද යම් ප්‍රගතියක් වාර්තා වෙන්න පුළුවන් බව දැන් පෙනෙන්න තිබෙනවා.
මේ විදිහට 4.8%ක වර්ධනයක් ලබා ගැනීමට දායක වුනේ ආර්ථිකයේ කවර අංශද? පහත තිබෙන්නේ ඒ පිළිබඳ විශ්ලේෂණාත්මක සාරාංශයක්.
ඇඟලුම් නිෂ්පාදන – 0.77%
ඉදිකිරීම් – 0.69%
මූල්‍ය හා රක්ෂණ – 0.62%
ආහාරපාන හා නවාතැන් පහසුකම් – 0.35%
ප්‍රවාහන සේවා – 0.27%
ආහාරපාන හා දුම්කොළ නිෂ්පාදනය – 0.47%
තොග හා සිල්ලර වෙළඳාම – 0.18%
නිවාස හා ඉඩකඩම් සේවා – 0.14%
අනෙකුත් සියලු අංශ – 0.75%
අගය එකතු කිරීම් එකතුව – 4.24%
බදු වල ශුද්ධ බලපෑම – 0.53%
ආර්ථික වර්ධනය – 4.77%
ආසන්න ලෙස – 4.8%
මෙම අංශ අතරින් ඇඟලුම් නිෂ්පාදන පිළිබඳව වැඩිපුර විස්තර කළ යුතු නැහැ. එයින් අදහස් වන්නේ කුමක්ද කියන එක කාට වුනත් පැහැදිලියි. නමුත් සංචාරක කර්මාන්තයේ බලපෑම මෙම බෙදීම තුළ සෘජුව දැකිය නොහැකියි. එම දායකත්වය තිබෙන්නේ ආහාරපාන හා නවාතැන් පහසුකම් සහ ප්‍රවාහන සේවා යන කාණ්ඩ තුළයි. ඇඟලුම් නිෂ්පාදන වගේම සංචාරක කර්මාන්තයද බාහිර සාධක මත තීරණය වෙනවා.
ඉහත අංශ දෙකට සාපේක්ෂව, මූල්‍ය හා රක්ෂණ, ඉදිකිරීම්, තොග හා සිල්ලර වෙළඳාම, නිවාස හා ඉඩකඩම් සේවා ආදී කාණ්ඩ වලින් පෙනෙන්නේ දේශීය ඉල්ලුම ඉහළ යාම සහ ඊට අනුරූප ලෙස ආර්ථිකය ප්‍රසාරණය වීම. ආහාරපාන හා දුම්කොළ නිෂ්පාදනය තුළ වුනත් වැඩි වශයෙන්ම නිරූපණය වෙන්නේ දේශීය ඉල්ලුම. ඒ වගේම, සංචාරක කර්මාන්තයේ බලපෑම නිරුපණය කරන ආහාරපාන හා නවාතැන් පහසුකම් සහ ප්‍රවාහන සේවා යන කාණ්ඩ දෙක ගත්තත් එයින් කොටසක් හැදෙන්නේ දේශීය ඉල්ලුම නිසා.
මම හිතන්නේ මේ වෙද්දී රටේ ආර්ථික අර්බුද මානසිකත්වය ඉවරයි. දැන් නැවතත් රටේ මිනිස්සු කලින් විදිහටම වියදම් කරන්න පටන් අරගෙන. ආනයන කොටසේ පමණක් යම් පාලනයක් දකින්න පුළුවන්. මේ තත්ත්වයන් එක්ක දේශීය ඉල්ලුම ඉදිරි කාර්තු තුනේදී තවත් වැඩි වෙනවා මිසක් අඩු වෙන්න හේතුවක් නැහැ.
සංචාරක කර්මාන්තය ගත්තත් පළමු කාර්තුව තුළ දැකිය හැකි වූ ප්‍රවණතාව වසර පුරාම ඒ විදිහටම තියෙන්න පුළුවන්. කුමක් හෝ විශේෂ නරක සිදු වීමක් සිදු නොවුනහොත් එම අංශයේ දායකත්වය තවත් වැඩි වෙන්න මිසක් අඩු වෙන්න හේතුවක් නැහැ.
ප්‍රශ්නයකට තියෙන්නේ ඇඟලුම් නිෂ්පාදන අංශය. ඇමරිකාවේ බදු ප්‍රතිපත්තිය නිසා එම අංශයට යම් බලපෑමක් වෙන්න පුළුවන්. ඒ ගැන හරියටම කියන්න තවමත් කල් වැඩියි.
පසුගිය වසර අවසන් වුනේ 5.0%ක ආර්ථික වර්ධනයක් එක්ක. මේ අවුරුද්ද තුළත් ඒ කිට්ටුවට යන 4.5%-5.0% සීමාවේ ආර්ථික වර්ධනයක් වාර්තා වෙන්න වැඩි ඉඩක් තිබෙනවා. තීරුබදු නිසා ඇඟලුම් කර්මාන්තයේ කඩා වැටීමක් සිදු වුනොත් වර්ධනය 4.0-4.5% මට්ටමෙන් එහාට නොයන්න පුළුවන්. නමුත් දේශීය ඉල්ලුම දෙස බලද්දී, නරක තත්ත්වයක් යටතේ වුනත්, වර්ධනය 4.0% මට්ටමෙන් පහතට වැටීමේ ඉඩක් පෙනෙන්න නැහැ. ඒ කියන්නේ ජාත්‍යන්තර ආයතන විසින් පුරෝකථනය කර තිබෙන මට්ටමට වඩා හොඳ මට්ටමක්.
තීරු බදු ප්රශ්නය ඒ තරම්ම අවුලක් නැතිව විසඳෙන්න පුළුවන්. එහෙම වුනොත් ඇඟලුම් කර්මාන්තයේ දායකත්වය අඩු වෙන්නේ නැහැ. ඒ වගේම, රාජ්‍යමූල්‍ය කළමනාකරණය යහපත් ලෙස සිදු වන නිසා පෞද්ගලික අංශයට ප්රාග්ධනය විතැන් වීමක් සිදු වෙනවා. ඒ එක්ක පොලී අනුපාතික පහළ ගිහින් දේශීය ඉල්ලුම ඉහළ යනවා.
මේක වෙන්නේ රජය වැඩිපුර බදු අය කර ගන්නා නිසා නේද කියලා කෙනෙකුට අහන්න පුළුවන්. ඔව්. නිෂ්පාදන මත රජය විසින් අය කර තිබෙන බදු ප්‍රමාණය වැඩි වූ දළ දේශීය නිෂ්පාදිතයෙන් ප්‍රතිශතාංක 0.53%ක් නිරුපණය කරනවා. ඒ කියන්නේ පෞද්ගලික අංශය විසින් සිදු කර තිබෙන සැබෑ අගය එකතු කිරීම ඔවුන්ගේ ලාබ වලින් නිරූපණය කරන 4.24%ක වර්ධනයට වඩා තවත් 0.53%කින් වැඩියි කියන එක. වර්ධන වේගය 4.77%ක් වෙන්නේ ඒ නිසා.
රජය විසින් මේ කොටස බදු ලෙස එකතු කරගෙන තිබුණත්, එහිදී සිදු වී තිබෙන්නේ අගය එකතු වීම සිදු වෙද්දී හෝ සිදු වීමෙන් පසුව රජය විසින් එයින් කොටසක් එකතු කර ගැනීම. මේ නිසා රජයට වෙළඳපොළෙන් ණය ගන්න අවශ්‍ය වී තිබෙන්නේ අඩුවෙන්. වෙළඳපොළේ ඉතිරි වන ඒ සල්ලි ප්රාග්ධනය විදිහට පෞද්ගලික අංශයට ගලාගෙන යනවා. ඒ මගින් නිෂ්පාදනය ඉහළ යනවා. බදු වෙනුවට ණය ගනිද්දී මේ විදිහට ප්රාග්ධනය ඉතිරි වීමක් සිදු නොවන නිසා අදාළ නිෂ්පාදන කොටස සිදු වෙන්නෙම නැහැ. ඒ නිසා, ඔය දෙකම එක සමාන නැහැ.
රාජ්‍යමූල්‍ය විනය දිගටම පවත්වාගෙන යද්දී රාජ්‍ය අංශයේ හිර වී තිබෙන ප්රාග්ධනය තවතවත් නිදහස් වෙනවා. එය ආර්ථික වර්ධනයට හොඳයි. මහ බැංකුව ඉන්නෙත් ආර්ථිකය ප්‍රසාරණය වෙන්න ඉඩ හරින ප්රතිපත්තියක. ඒ වගේම, පළමු කාර්තුවේදී තරමක් සංකෝචනය වී තිබෙන කෘෂිකාර්මික අංශය නැවතත් යථා තත්වයට පත් වීමට නියමිතයි. මේ සියලු යහපත් ප්රවණතා එක්ක වඩා හොඳ තත්ත්වයක් යටතේ 5% සීමාවට යාම හෝ එම සීමාව ඉක්මවීම වුනත් සිදු විය නොහැකි දෙයක් නෙමෙයි.
සියල්ල සාරාංශගත කළොත් අපට දැනට පෙනෙන විදිහට මේ අවුරුද්දේ ආර්ථික වර්ධන වේගය 4.5%-5.0% සීමාවේ තියෙන්න වැඩි ඉඩක් තිබුණත්, හොඳ තත්වයක් යටතේ 5% සීමාව යාන්තමින් ඉක්මවන්න බැරිකමක් නැහැ. ඒ වගේම නරක තත්ත්වයක් යටතේ වුනත් 4.0% සීමාවෙන් පහළට වැටීමේ ඉඩක් පෙනෙන්න නැහැ. 4.0% මට්ටම වුනත්, ජාත්‍යන්තර ආයතන වල පුරෝකථන වලට සාපේක්ෂව ඉහළ මට්ටමක්.
#ඉකොනොමැට්ටා #economatta