මෙම වසරේ නිදහස් දින, වෙසක් පොහෝ දින, සහ නත්තල දිනයන් වෙනුවෙන් ජනපති පොදු සමාව යටතේ අනිතීකව නිදහස් කර ඇති සිරකරුවන් ප්‍රමාණය 212 දෙනෙක් බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් සිදුකරන ලද විමර්ශනවලින් හෙළි වී තිබේ.
ඒ අනුව නිදහස් දින ජනපති සමාවෙන් නිදහස් කිරීමට අනුමැතිය ලැබී ඇත්තේ 274 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් වන අතර වෙසක් දින නිදහස් කිරීමට අනුමැතිය ලැබී ඇත්තේ සිරකරුවන් 388කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වේ. තවද නත්තල් දින නිදහස් කිරීමට අනුමැතිය ලැබී ඇත්තේ සිරකරුවන් 322කට ආසන්න පිරිසකට පමණි. මෙම පිරිසට අමතරව අනුමැතිය නොලද සිරකරුවන් මේ සෑම විශේෂිත දිනයකදීම නිදහස්කර ඇති බව විමර්ශනයේ දී අනාවරණය වී ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
මෙසේ නිදහස් කළ සිරකරුවන් සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග ගැන අධිකරණ අමාත්‍යාංශය විසින් යම් පියවරක් ගනු ඇති බව ද එම නිලධාරියා පවසයි. දැනට හෙළිවෙමින් ඇති කරුණුවලට අනුව බන්ධනාගාර පද්ධතිය තුළ සිදුව ඇති මෙම අනීතික ක්‍රියාව සම්බන්ධයෙන් කරුණු අධ්‍යනය කිරීමට ජනපති කොමිසමක් හෝ ඒ හා සමාන බලතල ඇති කමිටුවක් පත්කිරීමට පවා සිදුවනු ඇති බව එම නිලධාරියා සඳහන් කළේය.
මෙම අනීතික ක්‍රියාවට සම්බන්ධ වූ බන්ධනාගාරයේ නිලධාරීන් කිහිප දෙනකුම හඳුනාගෙන ඇති බවත් ඒ අය සම්බන්ධයෙන්ද කඩිනමින් ඉදිරි පියවර ගනු ඇති බවත් එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පවසයි.