අයින් වෙන්න ඕනේ නම් ඉඩම් දෙන්න – මරගල දෙමළ ප්‍රජාව

               මරගල වතු ජනයා ජීවත්වන නිවාස

පුංචි නුවරඑළිය ලෙසින් හඳුන්වන මොනරාගල ජීලෝන් කඳුවැටිය ආශ්‍රිත මරගල කුමාරවත්ත ප්‍රදේශය ඉතාමත් මනරම් වූ සුන්දර ප්‍රදේශයකි. කඳු පද්ධතියේ සුන්දරත්වය තිබුණද, මරගලවත්ත, කුමාරවත්ත ප්‍රදේශවල ජීවත්වන වතුකර දමිළ ජනතාවගේ ජීවිත එතරම් සුන්දර නොවේ. වසර 200කට අධික ඉතිහාසයක් ඇති ශ්‍රී ලාංකික දමිළ වතු ප්‍රජාවගේ තවත් සුවිශේෂී කණ්ඩායමක් මෙහි ජීවත් වෙති. මොවුන් පිළිබඳව සමාජයේ හෝ තීන්දු තීරණ ගන්නන්ගේ පමණක් නොව, වතු වෘත්තීය සමිති නායකයින්ගේ ද වැඩි අවධානයක් යොමු වී නැත.

වර්තමානයේ රබර් වතු ආශ්‍රිතව තම ජීවනෝපාය සලස්වා ගන්නා මොවුන්ගේ පදිංචිය අවුරුදු 150කට වඩා ඈතකට දිව යයි. විදේශ වතු පාලකයින් විසින් තේ, කුරුඳු, එනසාල් වැනි බෝග වගා කර ඇති අතර වර්තමානයේ ඒවා අවම මට්ටමක පවතී.

මුල් වකවානුවේ සෑම පවුලකම අය රබර් වතුවල සේවය කළද වර්තමානයේ බහුතරයක් වෙනත් කුලී වැඩවලට යොමු වී ඇත්තේ වතුවලින් ලැබෙන දවසේ කුලී ආදායම ප්‍රමාණවත් නොමැති නිසාය. මොනරාගල නගරයට හෝ වෙනත් බාහිර ප්‍රදේශවලට ගොස් වතුවල කම්කරුවන් ලෙස වැඩ කරන අය සිටිති. බොහොමයක් තරුණ තරුණියන් නගරයේ ව්‍යාපාරික ස්ථානවලත් කොළඹ ඇතුළු දුර බැහැර ප්‍රදේශවලත් සේවය කරති. ඒ නිසාවෙන් වත්තේ ජීවත් වන්නේ සුළු පිරිසකි. අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අයත් ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලවල කීපදෙනෙක් ද සිටිති. හතරවන පස්වන පරම්පරාවේ බොහෝ අයට ඉඩමක කිසිදු අයිතියක් නැත. ඔවුහු තවමත් ලයින් කාමරයකට සීමා වූ ජීවිත‍වල සීමා වී සිටිති. එක් ලයින් කාමරයක් තුළ අනු පවුල් ඇතුළු පවුල් තුන හතරක් ජීවත් වෙති. තමන් සිටින ලයින් කාමරයේ හෝ භූමිය අවට පැළයක්වත් සිටුවීමට ඔවුන්ට අවසර නොමැත. ගෙයක් හෝ වැසිකිළියක්වත් ඉදිකිරීමට අවසරයක් නොමැත. එසේ ඉදිකිරීමට නම් වතුපාලකයන්ගේ අවසර ගත යුතු අතර ඔවුන් අවසර ලබා දෙන්නේ ද නොමැත. මේ නිසා වතු ජනතාව විශාල ලෙස පීඩාවට පත් වී සිටිති .

ඔවුන් භාවිතා කරන වැසිකිළි

විදේශ වතු පාලකයන් විසින් ඉදිකරන ලද සංචාරක බංගලාවේ පහස විඳීමට යන ධනවතුන් බොහෝ දුරට උත්සාහ කරන්නේ මෙම වතු ජනතාව මෙම ප්‍රදේශවලින් ඉවත් කිරීමටයි. බොහෝ ප්‍රදේශවලට පානීය ජලය ස්වාභාවිකව ලැබෙන මරගල ඔය ආශ්‍රිත සිදු වන පරිසර විනාශයන්, සෞඛ්‍ය ගැටලු ඔවුහු ඉස්මතු කර දක්වති. එහෙත්, ජනතාව ඉවත් කිරීම සඳහා ක්‍රමවත් නිසි වැඩපිළිවෙළක් ද යෝජනා වී නොමැත. ඉවත් කරන්නේ නම් නිවාස ඉදිකර දීම හා ඉඩම් ලබාදීම පිළිබඳව නිශ්චිත වැඩපිළිවෙලක්ද තවමත් යෝජනා වී නොමැත.

අලුතින් ගොඩනැගෙන පරම්පරාවට ජීවත්වීමට පරිසරයක් ද නොමැත. මෙවන් පසුබිමක් තුළින් ඔවුන් කුමක් කළ යුතු ද යන්න ඉතාමත් අසහනකාරී ලෙස ප්‍රශ්න කරති. එබැවින් මරගල වතු ප්‍රජාව ඉල්ලා සිටින්නේ ඔවුන් මිනිසුන් ලෙස ජීවත් වීමට අවශ්‍ය අවම පහසුකම්වත් ලබා ගැනීමට අවශ්‍ය තත්වයන් උදාකර දෙන ලෙසයි.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මැදිහත්වී ජීලෝන් කන්ද ආශ්‍රිතව වන රක්ෂිත නම්කර ඇත. මෙවැනි අවස්ථාවක ජනතාව තවදුරටත් පීඩාවට ලක් වන අතර නමුත් මෙම රක්ෂිතය සම්බන්ධව ඔවුන්ගේ කිසිදු විරෝධයක් ද නොමැත. ඔවුන් ඉල්ලා සිටින්නේ ඉඩමක්, නිවසක්, බෝග වගාවක් රබර් වගා කටයුතු සඳහා සාධාරණ වැටුපක් ලබා දීමට කටයුතු කරන ලෙසයි. එසේ නොමැති නම් වෙනත් සුදුසු ප්‍රදේශයක ඉඩම් හා නිවාස ලබා දීම රජය විසින් සිදු කළ යුතුය.

Social Sharing

අවකාශය නවතම