යාපනයේ බුද්ධිමය පූජා භූමිය ගිනි තබා විනාශ කර වසර 44යි! අපරාධකරුවන් නිදැල්ලේ? – සම්පත් සමරකෝන්

1981 මැයි 31 ජූනි 01 වන දින යාපනය මහජන පුස්තකාලය, හෙවත් දෙමළ ජනයාගේ ‘බුද්ධිමය පූජා භූමිය’ ආණ්ඩු හිතවාදී, වර්ගවාදී සිංහල මැර කල්ලි විසින් ගිනි තබා විනාශ කර වසර 44ක් ගෙවෙමින් තිබේ. මෙය ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ බුද්ධිමය හා සංස්කෘතික උරුමයට එල්ල කළ බිහිසුණු සංහාරයකි. එවකට පොත් 97,000කට අධික ප්‍රමාණයක්, ඇතුළුව පෙරදිග දුර්ලභ පොත් ඇතුලු බොහෝ පර්යෙෂණ පත්‍රිකා, ලියවිලි, යාපනයේ මෙම පුස්තකාලයේ රැස් කර තිබිණි. මෙම ගිනි තැබීම හුදු ගොඩනැගිල්ලකට ගිනි තැබීමක් පමණක් නොව, දෙමළ ජනතාවගේ බුද්ධිමය හා සංස්කෘතික හදවතට එල්ල කළ ප්‍රභල ප්‍රහාරයකි. එය ලාංකීය සංහිඳියාවට ගිනි තැබූ තවත් එක් සංහාරික අවස්ථාවක් ලෙස ඉතිහාසයේ කළු අකුරින් ලියැවී අවසාන ය. නමුත්, වසර 44 ගත වුව ද, අපරාධකරුවන් තවමත් නිදැල්ලේ සිටිති, යුක්තිය ඉටු නොවීම තුළ එයින් තවත් ගැඹුරු රිදවීමක් දෙමළ ජනතාවගේ හදවත් තුළ ජනනය කරනු ලබයි.

ඓතිහාසික හා සංස්කෘතික වැදගත්කම

යාපනය දොරේ අප්පා ක්‍රීඩාංගනය අසල ගොඩනැගුණු මේ සුවිශාල ගොඩනැගිල්ල 1935 වර්ෂයේ කේ. එම්. වෙල්ලප්පාගේ අදහසකට අනුව පෞද්ගලිකව ආරම්භ වූවකි. මුලින්ම මෙය හැඳින්වූයේ Jaffna Library Movement යන නමිනි. 1949 දී පුස්තකාලය යාපනය නගර සභාවට පවරා ගැණීමෙන් අනතුරුව යාපනය පුස්තකාලය ක්‍රම ක්‍රමයෙන් වැඩි දියුණු කෙරිණි. මේ පිටුපස එවකට යාපනයේ නගරාධිපතිව සිටි සෑම් කනකසාමි මහතා විය. දකුණු ඉන්දීය ගෘහ නිර්මාණ ශිල්පයේ ලක්ෂණ ප්‍රකට කරමින්, පසුව මෙම පුස්තකාලය මහල් තුනකින් යුක්තව, මදුරාසියේ සුප්‍රසිද්ධ ගෘහ නිර්මාණ ශිල්පියෙක් වූ ආචාර්ය එස්.ආර්.රාමනාදන් මහතාගේ අතින් නිර්මාණය විය. 1959 ඔක්තෝම්බර් මස 07 වන දින යාපනයේ පුරපති ඇල්ෆඩ් දොරේ අප්පා මහතා අතින්, යාපනය මහජන පුස්තකාලයේ නව ගොඩනැගිල්ල විවෘත වූ අතර මෙය යාපනයේ ජනතාවගේ භක්තිමත් පූජා භූමියක් විය. පෙරදිග ලියැවුණු අතිශයින්ම දුර්ලභ පොත් පත් රාශියක් මෙම පුස්තකාලය දරා සිටීම එයට හේතුවක් වන්නට ඇත. යාපනයේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ, තරුණ තරුණියන්ගේ බුද්ධිය ප්‍රභාමත් කිරීමට යාපනය පුස්තකාලයෙන් සිදු වූ මෙහෙය අපමණය.

1977 දී යාපනයේ තිබූ American Centre නැමැති පුස්තකාලය වසා දැමීමත් සමග එහි සංරක්ෂණය වූ තවත් පොත් රාශියක් යාපනය මහජන පුස්තකාලය සතු විය. එදා Jaffna Library Movement ලෙස පුස්තකාලය ආරම්භ වෙද්දීම, අනික් පැත්තෙන් වර්ගවාදය ආරම්භ විය. පුස්තකාලය වර්ධනය වූ වේගයටම වර්ගවාදය ද වැඩෙන්නට විය. යාපනය පුස්තකාලය වැඩුනේ, රාජ්‍ය භාෂා පනත, විශ්ව විද්‍යාල ප්‍රමිතිකරණය ආදී ප්‍රතිස්ංසකරණ(?) ඔස්සේ, දෙමළ ජනයාට වෙනස්කොට සැලකීම සහ වර්ගවාදය වර්ධනය වූ දේශපාලන පසුබිමකය. අවසානයේ හරියටම 1981 මැයි 31- ජූන් 01 වෙනිදා වර්ගවාදය පුස්තකාලයට අභිමුඛ වූ අතර, තම ස්වර්ණමය යුගය පසුකරමින් සිටිය දී එක්වරම දැවී අළු වී යාමට යාපනය පුස්තකාලයට සිදු විය. නැත. යාපනය පුස්තකාලය රාජ්‍ය අනුග්‍රහය යටතේ ගිනි තබා විනාශ කළේය.

වර්ගවාදයේ හා රාජ්‍ය ප්‍රතිපත්තිවල බලපෑම

යාපනය පුස්තකාලය විනාශ කිරීම, 1950 දශකයේ සිට ගොඩනැගුණු ‘වර්ගවාදී දේශපාලන’ පසුබිමින් වෙන්කළ නොහැකිය. 1956 සිංහල පමණක් පනත, විශ්ව විද්‍යාල ප්‍රමිතිකරණය ඇතුලු ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ(?) මගින් දෙමළ ජනතාව අධ්‍යාපනික, ආර්ථික හා සංස්කෘතික වශයෙන් ආන්තිකකරණයට ලක් කළහ. මෙම ප්‍රතිපත්ති, දෙමළ තරුණයන් අතර පීඩනය ඇති කළ අතර, සිංහල වර්ගවාදී මැර කල්ලි විසින් රාජ්‍ය අනුග්‍රහය ලබමින්ම යාපනය පුස්තකාලය ගිනි තැබීමෙන් එම පීඩනය තවත් වැඩි වී ගැටුම්වල උච්චස්ථානයක් බවට විය. ගිනි තැබීම පිළිබදව, රාජ්‍ය ආරක්ෂක අංශවල සම්බන්ධතා ගැන චෝදනා තිබුණත්, විමර්ශනයක් හෝ යුක්තියක් ඉටු නොවීම, රාජ්‍යයේ වගකීම බරපතල ලෙස පැහැර හැරීම පිළිබඳ අද ද ගැඹුරු ප්‍රශ්න මතු කරයි.

යාපනය පුස්තකාලයේ ගිනිබත් කිරීම, දෙමළ ජනතාවගේ බුද්ධිමය හා සංස්කෘතික උරුමයට එල්ල කළ ප්‍රභල ප්‍රහාරයක් පමණක් නොව, ‘එක්සත් ලංකාවක’ බලය බෙදා හදා ගැනීමට තිබූ තවත් එක් අවස්ථාවක් ගිනිබත් කිරීමක් යැයි ඇතැම් විචාරකයින් පෙන්වා දෙයි. රාජ්‍ය අනුග්‍රහය යටතේ හිතාමතාම, සිදුකල එය ‘සංහාරික’ ක්‍රියාවක් බව තවත් කෝණයකින් ලෝකයට පෙන්වූ අපරාධමය අවස්ථාවක් ලෙස සටහන් වී තිබේ.

යළි ගොඩනැගීම හා අභියෝග

1998 දී, යාපනය පුස්තකාලය යළි ගොඩනැගීම ආරම්භ වූයේ යුද්ධයේ වේදනාව මධ්‍යයේ වුව ද තදබල බලාපොරොත්තුවකිනි. අද වන විට එය පොත් ලක්ෂයකට වඩා රඳවා ගෙන, පාඨකයන් 30,000+කට අධික පිරිසකට හා නිත්‍ය සාමාජිකයන් 2,200+කට සිය බුද්ධිමය දායකත්වය සපයයි. දේශීය හා විදේශීය පර්යේෂකයන්, ශිෂ්‍යයින්, ලේඛකයන් ඇතුලු බොහෝ දෙනෙක් යළිත් සිය දැනුම් පිපාසාව සංසිඳවා ගනු ලබයි. එහෙත්, එහි යළි නැගිටීම සිදු වූයේ දේශපාලනික අවිනිශ්චිතතාවයන් මධ්‍යයේ ය. දැන් පුස්තකාලය යථා තත්ත්වයට පත්ව ඇති මුත් ගිනි තැබූ බුද්ධිමය සම්පත් යළි කිසිදා සම්පූර්ණයෙන් ගොඩනැගීම කළ නොහැකිය. වසර 44ක් ගෙවෙමින් ඇති මොහොතේ ද කිසි දිනක, යළි සකස් කරගත නොහැකි එම බුද්ධිමය උරුමය පිළිබද මතකයෙන්ගෙන් දෙමළ ජනයා අද ද පීඩා විදිති.

වර්තමානය හා අනාගතය: අවිනිශ්චිතතා හා බලාපොරොත්තු

දැන් යුද්ධය නිළ වශයෙන් අවසන් වී යැයි ප්‍රකාශ කර වසර 16ක් ගත වුව ද, උතුරේ ජනතාව තවමත් සැබෑ නිදහස අත්විඳින්නේ නැත. යුද හමුදාව තවමත් උතුරේ රැඳී සිටින අතර, යුද්ධයෙන් ඉගෙන ගත් පාඩම් දකුණේ ආණ්ඩුවේ හුදු වාර්තාවලට පමණක් සීමා වී ඇත. දකුණේ සමහර පිරිස් යුද්ධයේ “ජයග්‍රහණය” සමරන අතර, දෙමළ ජනතාවගේ දේශපාලන අභිලාෂයන් තවමත් නොසලකා හරිනු ලබමින් තිබේ. මෙම වර්ගවාදී මානසිකත්වය, යාපනය පුස්තකාලයේ අනාගතය ගැන බලාපොරොත්තු තැබීම අභියෝගයක් බවට පත් කරයි. එය එසේ වන්නේ යාපනයේ පුස්තකාලය යනු හුදෙක් ‘ගොඩනැගිල්ලක්’ පමණක් නොවන නිසාය. එය දෙමළ ජනයාගේ බුද්ධිමය උරුමයකි. දෙමළ ජනයාගේ ආත්මීය, දේශපාලන අදහසේ ගැඹුරු සංඛේතයක් වන නිසාය.

යාපනය පුස්තකාලයේ අනාගතය රඳා පවතින්නේ රාජ්‍යය විසින් දෙමළ ජනයාගේ දේශපාලන අභිලාශය පිළිගැනීමට කොතෙක් දුරට කැපවනවාද යන්න මතය. එය දෙමළ ජනයාගේ බුද්ධිමය සංස්කෘතික උරුමයේ ප්‍රභල ලකුණක් නිසාම, එය තනිකරම ගොඩනැගිලි හා පොත් රැස් කිරීමකින් පමණක් ඉටු නොවේ. එයට ‘යුක්තිය’ ලබා දීමත්, දෙමළ ජනතාවගේ දේශපාලන හඬට ඉඩදීමත් අත්‍යවශ්‍යය. 1981 ගිනි තැබීමට වගකිව යුත්තන් නීතිය හමුවට පමුණුවමින් ‘යුක්තිය ඉටු කිරීම’ හා උතුරේ ජනතාවට සිය දේශපාලන අභිලාශය සපුරා ගැනීම සදහා ‘නිදහස් පරිසරයක්’ ඇතුලු මිලිටරීකරණයෙන් තොර, නිදහස් දේශපාලන ජීවිතයක් සකසා ගැනීමට අවශ්‍ය තත්ත්වයන් නිර්මාණය වීමට ඉඩ දීම තුළ පුස්තකාලයේ අනාගතය තවත් ශක්තිමත් වනු ඇත.

එහි යළි ගොඩනැගීම බලාපොරොත්තුවේ ලකුණක් වුවත්, එය තිරසාර වන්නේ රාජ්‍යයේ සැබෑ සංහිඳියා උත්සාහයන් සහ යුක්තිය ඉටු කිරීම මතය. අපරාධකරුවන් නීතිය හමුවට පමුණුවමින් යුක්තිය ඉටු නොවුණහොත්, හා උතුරේ ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු නොවුණහොත්, යාපනය පුස්තකාලයේ අනාගතය අවිනිශ්චිතව පවතිනු ඇත.(ගොඩනැගිලි අර්ථයෙන් නොව බුද්ධිමය උරුමය සහ දේශපාලන අර්ථයෙනි)

යාපනය පුස්තකාලය යනු පොත් එකතුවක් පමණක් නොව, දෙමළ ජනයාගේ බුද්ධිමය උරුමය පිළිබද නිදහසේ සංකේතයකි. බුද්ධිමය උරුමයකි. එය දෙමළ ජනයාගේ දේශපාලන අභිලාෂයන් පිළිගැනීමත්, ඔවුන්ට එරෙහිව සිදුකළ අපරාධවලට යුක්තිය ඉටු කිරීමේ අර්ථයෙනුත් ‘දෙමළ ජනයාගේ බුද්ධිමය උරුමයේ කේන්ද්‍රස්ථානයක්’ බවට පත් කිරීම, ශ්‍රී ලංකාවේ ‘කල්පවත්නා සාමයේ’ හා ‘යුක්තියේ යුගයකට’ පිවිසීමේ එක් ප්‍රභල ‘යතුරක්’ වනු ඇත.

යාපනයේ පුස්තකාලය ගිනි තබා සිදුකරන ලද අපරාධය පිළිබදව, විශිෂ්ට මිනිසෙක් වූ මහාචාර්ය කේ. සිවතම්බි, මෙසේ කීවේය ‛‛තම බුද්ධිමය උරුමය සිය දෙනෙත් ඉදිරියේ දැවී අළු වී ගියා”

Social Sharing

අවකාශය නවතම