ඉන්දියාවේ කේරළ වෙරළ තීරයට නාවුක සැතපුම් 38 ක් ඔබ්බෙන් ඉකුත් 25 දා අනතුරට පත් ලයිබීරියාවේ ධජය සහිත (MSC ELSA 3) බහාලුම් නෞකාවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය මන්නාරම, කිලිනොච්චි සහ හලාවත වෙරළ තීර වලට සහ ඩෙෆ්ට්, නාගදීප වෙරළට ගොඩ ගසා ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමානාධිකාරී ජගත් ගුණසේකර මහතා පෙන්වා දෙයි.
ඔහු පවසන ආකාරයට ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඉවත් කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවයි. තවද ඔහු පෙන්වා දෙන්නේ පවතින වැසිබර කාලගුණය සමඟ මුහුද රළු වීම මත එම ප්ලාස්ටික් අපද්‍රව්‍ය මෙරට අනෙක් වෙරළ කාලප වලට ගොඩ ගැසීමේ අවදානමක් පවතින බවත් එවැනි තත්ත්වයක් වාර්තා වුවහොත් ඒ පිළිබඳ 1949 හදිසි මෙහෙයුම් මැදිරියට දැනුම් දෙන ලෙස සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේය.
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කරන ආකාරයට අනතුරට පත් නෞකාවේ බහාලුම් 643 තිබී ඇති අතර බහාලුම් 13ක අන්තරායකාරී ද්‍රව්‍ය ඇතුලත් වී තිබෙන බවත් තවද බහාලුම් 12 ක කැල්සියම් කාබයිට් අන්තර්ගතව තිබු බවට වාර්තා වී ඇති බවයි.
මෙම බහාලුම් නෞකා අනතුර හේතුවෙන් ශ්‍රී ලංකාවට සිදු විය හැකි බලපෑම අවම මට්ටමක පවතින බව ද ගුණසේකර සඳහන් කරයි.
මෙම අනතුර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ඇති බලපෑම පිළිබඳව පැහැදිලි කිරීමට පරිසර අමාත්‍යාංශයේ ඊයේ (12) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ජගත් ගුණසේකර මහතා කීවේ නෞකා අනතුර හේතුවෙන් මත්ස්‍ය පරිභෝජනයට හෝ ධීවර කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිදු තහනමක් පනවා නොමැති අතර එවැනි අවශ්‍යතාවයක්ද මතුව නොමැති බවයි.
එහිදී ජගත් ගුණසේකර මහතා කීවේ ඉන්දියාවෙන් සහ ජාත්‍යන්තර ආයතන වලින් ද නාවික හමුදාවෙන් ද අදාල අනතුර සම්බන්ධයෙන් නිරන්තරයෙන් තොරතුරු ලැබෙන අතර ඒ පිලිබදව අවධානයෙන් පසුවන බවයි. නෞකා අනතුර හේතුවෙන් පරිසර පද්ධතියට හෝ වෙරළ කලාප වලට බලපෑමක් සිදුව ඇත්දැයි සොයා බැලීම සදහා නාරා ආයතනය, ධීවර දෙපාර්තමේන්තුව සහ සංචාරක අමාත්‍යංශය දැනුවත් කර ඇතැයිද ගුණසේකර මහතා පවසයි.
මුහුදු ඇතුළු පරිසර කළාප වල වෙසෙන ජීවින්ට බලපෑමක් සිදු විය හැකිදැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධ්‍යනය කරන බවද ඔහු තවදුරටත් සඳහන් කරයි.