සිසුවියකට ලිංගික අතවර කළ පුද්ගලයෙකුට වසර 10ක සිරදඬුවමක්!

වයස අවුරුදු 16 ක සිසුවියකට අතවර කළ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (11දා) බරපතළ වැඩසහිත වසර 10ක සිරදඬුවම් හා රුපියල් 30,000ක දඩයක් නියම කළේය.

ඒ අනුව එම පුද්ගලයා විසින් මෙම සිසුවියව ඔහුගේ ත්‍රිරෝද රථයෙන් ජනශූන්‍ය ප්‍රදේශයකට රැගෙන ගොස් බරපතළ ලිංගික අතවර කිරීමේ චෝදනාවට මෙම 37 හැවිරිදි දෙදරු පියා වරදකරු බවට පත් විය.

ඒ අනුව වැරදිකරු බවට පත් ඔහුට බරපතළ වැඩසහිත වසර 10ක සිරදඬුවම් හා රුපියල් 30,000 දඩ මුදලක් ද වින්දිත සිසුවියට රුපියල් ලක්‍ෂ තුනක වන්දියක් ගෙවන ලෙසට ද විත්තිකරුට නියම කළ විනිසුරුවරයා දඩ හා වන්දි මුදල් නොගෙවන්නේ නම් අමතර වසර දෙකක ලිහිල් සිරදඬුවම් ලබාදීමට ද නියෝග කර ඇත.

විත්තිකරු එකී චෝදනාවලට වරදකරු කිරීමෙන් අනතුරුව දඬුවම් නියම කිරීමට පෙර අධිකරණයේ අවසරය ඇතිව අධිකරණය ඇමැතූ අගතියට පත් සිසුවිය මෙයට වසර ගණනාවකට පෙර එම අපරාධය සිදුකළ විත්තිකරු මේ වනවිට බාල වයස්කාර දරුවන් දෙදෙනකුගේ පියකු වන බැවින් ලිහිල් සිරදඬුවම් නියම කරන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත.

එහෙත් අගතියට පත් පාර්ශ්වය ඉල්ලා සිටි පමණින් එලෙස ලිහිල් සිරදඬුවම් ලබාදීමේ නීතිමය හැකියාවක් තම අධිකරණයට නොමැති නමුත් විත්තිකරුගේ නීතිඥවරයා කළ කරුණු දැක්වීම අනුව විත්තිකරු පෙර වැරදි හෝ පවත්නා වෙනත් නඩු නොමැත්තකු වන බැවින් නීතිය අනුව වසර 25 ක උපරිම දඬුවමක් නියම කළ හැකි නමුත් තම අධිකරණය එලෙස ලිහිල් දඬුවම් නියම කළ බව විනිසුරුවරයා පෙන්වා දී තිබේ.

අගතියට පත් සිසුවිය මින් පෙර සිය මව සමග විත්තිකරුගේ රථයෙන් කුලී ගමනක් යමින් සිටියදී ඇයට සිය ජංගම දුරකථන අංකය ලබාදී පසුව ඇයව හෝටලයකට කැඳවාගෙන ඇති බවත් ඇය ජාතික හැඳුනුම්පතක් හෝ නොමැති බාල වයස්කාරියක බව වටහාගත් හෝටල් පාලනාධිකාරිය නවාතැන් ලබාදීම ප්‍රතික්ෂේප කර ඇත. ඉන් අනතුරුව පස්වරුවේ ජනශූන්‍ය ස්ථානයකට රැගෙන ගොස් එම අපරාධය සිදුකර ඇති බවත් පැමිණිල්ලෙන් කියැවිණි.

 

Social Sharing

අවකාශය නවතම