සීසන් ළමයින්ට ඇයි මේ වෙනස්කම්?

මෙරට අඩු ආදායම්ලාභී දරු දැරියන්ගේ අධ්‍යාපන කටයතු අඛන්ඩව කරගෙන යෑමට හා ඔවුන්ට ශක්තියක් වීමට පාසල් සිසුන්ට රජය විසින් වසරකට විශාල මුදලක් වෙන්කොට වාර ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමක් සිදුකරයි. එමඟින් ඔවුන්ට රජයට අයත් ලංගම බස්රථ මගින් වාර ප්‍රවේශපත්‍ර උපයෝගීකොටගෙන ප්‍රවහන කටයතු කිරීමේ හැකියාව පවතියි. එහෙත් ලංගම බස් රථ රියදුරු හා කොන්දොස්තරවරු එලෙස ඔවුන්ගේ බස්රථයට පාසල් සිසුන්, විශේෂයෙන් සිසුවියන්, සිය බස්රථයට නංවා නොගන්නා අතර, බසයට ගොඩවන සිසුන්ව අතරමඟ දමා යෑමද සිදුකරති. මේ අයුරින් පාසල් සිසුන් අතරමඟ දමා ගිය සිද්ධීන් කිහිපයක් පසුගියදා මාධ්‍ය ඔස්සේ වාර්තා විය. මෙය දැඩි ඛේදජනක තත්ත්වයකි.

ලංගම බස්රථයකට ගොඩ වූ ළමයෙක් සිය වාර ප්‍රවේශපත්‍රය ඉදිරිපත් කළ විට එහි කොන්දොස්තරවරයා තම බසයට වාර ප්‍රවේශපත්‍ර භාරගන්නේ නැත යයි පවසා එම ළමයාව අතරමග බස්රථයෙන් බැස්සු පුවතක් පසුගිය කාලයේ මාධ්‍ය ඔස්සේ සංසරණය විය. දන්නා හඳුනන කිසිවෙකුත් නොමැති තැනක එම ළමයාව අතරමංව ඇති අතර මේ හේතුවෙන් එම දැරිය මහත් අපහසුතාවකට හා අනාරක්ෂිතබවට පත්ව ඇත.

ගැහැණු ළමයකු වූ ඇයව මේ අයුරින් මහමග අතරමංකොට දමා යාමට එරෙහිව කිසිවෙක් හෝ ඉදිරිපත්  නොවීම කණගාටුදායකය. මෙම සිද්ධිය තුළින් අද වනවිට ලාංකික පුරවැසියන්ගේ සමාජ වගවීම පිළිබඳ වූ  තත්ත්වය පිළිබිඹු  නොවේද ?

බස් කොන්දොස්තරවරුන්ගේ මෙම හැසිරීම ප්‍රශ්න සහගතවූ පළමු අවස්ථාව මෙය නොවන අතර සමස්තයක් ලෙස ගත් කල මෙවැනි සිදුවීම් බොහෝ අවස්ථාවන්වලදී වාර්තා වේ. එහෙත් ගැටලුව වන්නේ මෙම අහිතකර තත්ත්වය වළක්වා ගැනීම සඳහා වූ සමාජ කතිකාවක් මේ වනතුරු ප්‍රබල ලෙස ඉස්මතු නොවීමය.

රජය විසින් වසරකට සිසුන්ගේ ප්‍රවාහන පහසුකම් වෙනුවෙන් විශාල මුදලක් වෙන් කරනු ලබන අතර වාර්තාවන රජය විසින් රුපියල් මිලියන 6000ක් ද ලංගමය රුපියල් මිලියන 12,000ක් ද වැය කරනු ලබයි.

රජයක් වාරප්‍රවේශපත්‍රයක් නිකුත් කරන්නේ ජාතියේ ජීවනාලිය වූ සිසුන්ට පහසුවෙන් සිය අධ්‍යාපන කටයුතු පවත්වාගෙන  ගොස් අනතුරුව ඔවුන් ලබන්නාවූ  අධ්‍යාපනයේ ප්‍රතිලාභය  රටේ  අනාගතය උදෙසා යොදවනු ඇතැයි යන පරම විශ්වාසය මතය. එය රටක් අනාගතය සඳහා කරන්නා වූ වටිනා ආයෝජනයකි. මේ සඳහා ජනතා බදු මුදල් විශාල ප්‍රමාණයක් වැය කෙරෙන අතර එයින් ප්‍රතිඵල ලබා ඇති සිසු පරපුර මේ වනවිට සංඛ්‍යාත්මකව ගණනය කළ නොහැක.

කෙසේ වුවද මෙම පහසුකම ලබාගන්නා වූ සිසු දරු දැරියන්ගේ අත්දැකීම් නම් එදා මෙදාතුර යහපත් හෝ සුන්දර ඒවා නොවේ. ආරම්භයේ සඳහන් කර ඇති කොන්දොස්තර භූමිකාව හා බැඳුණු  කතාන්තරය එහි ආසන්නතම සංවේදී සිදුවීම වන අතර ඊට පෙර කාලය ද සිසු වාරප්‍රවේශපත්‍ර ලාභීන්ට සුන්දර නොවුනා මෙන්ම අනාගතය තුළත් සුන්දර එකක් නොවනු ඇත. මෙම තත්ත්වය තවදුරටත් එසේ නොපවතින්නට නම් අද සිට හෝ මේ වෙනුවෙන් අදාල බලධාරීන් ඇස් හැර බැලිය යුතුව ඇත.

මෙම අර්බුදය වළක්වාලීම සඳහාම පාසල් දරුවන් සහ ලංගම වාර ප්‍රවේශපත්‍ර ඇති පුද්ගලයන් මුහුණදෙන අපහසුතාවයන් මඟහැරීම සඳහා ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පසුගියදා කෙටි දුරකථන අංකයක් හඳුන්වා දීය. ඒ අනුව ‘1958’ යන දුරකථන අංකය ඔස්සේ පැමිණිලි කිරීමේ හැකියාව පවති.

මෙම අංකය හඳුන්වාදීම තුළින් පමණක් මෙම ගැටලුව විසඳීමට නොහැක. ඒ සඳහා වඩාත් ඵලදායි විසඳුමක් රජය විසින් ක්‍රියාත්මක කළ යුතුය. එසේ නොමැති වූවහොත් ඔවුන් වසරකට පාසල් ප්‍රවේශපත්‍ර වෙනුවෙන් වැයකරන මුදල් අපතේ යනවා පමණක් නොව පාසල් සිසුන්ට ද විශාල ගැටලු රැසකට මුහුණ පෑමට සිදු වේ.

Social Sharing

අවකාශය නවතම