ජනපති පොදු සමාව යටතේ විශේෂිත දිනවලදී නිදහස දීමට යෝජිත වූ සිරකරුවන්ගේ ලේඛනයේ නම් සඳහන් නොවන සිරකරුවන් නීතියානුකූල නොවන ලෙස නිදහස් කිරීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයට අදාළව බන්ධනාගාරයේ ඉහළ නිලධාරීන් රැසකගෙන් ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානමින් සිටින බව වාර්තා වේ.
එසේ නීතියානුකූල නොවන අයුරින් නිදහස් කළ සිරකරුවන් හඳුනාගැනීමක් මේ වන විට සිදුකරමින් පවතින බවත්, ඔවුන්ව අත්අඩංගුවට ගෙන නැවත බන්ධනාගාරගත කිරීමට අවශ්‍ය පියවර ගනු ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙක් පවසා තිබේ.
ඒ අනුව කාලයක් තිස්සේම බන්ධනාගාරය තුළ මෙවැනි දේවල් සිදුව ඇති බව විමර්ශනවලින් හෙළි වී ඇත.
“අනුරාධපුර බන්ධනාගාරයේ පමණක් නෙමෙයි මේ දේවල් සිදුව තිබෙන්නේ. තවත් බන්ධනාගාර රැසක සිදුවෙලා තිබෙනවා. ඒ නිසා හැම බන්ධනාගාරයකින්ම නිදහස් කළ සිරකරුවන්ගේ ලේඛන මේ වන විටත් පරීක්ෂාවට ලක්වෙමින් තිබෙනවා. පරීක්ෂණ අවසන් වන විට බන්ධනාගාරයේ තවත් නිලධාරීන් කිහිපදෙනකු අත්අඩංගුවට පත්වීමට ඇති ඉඩකඩ වැඩියි.” යැයි ද එම උසස් පොලිස් නිලධාරියා පැවසීය.