කොටවිල අධිකරණ සංකීර්ණය අසලම ගොඩගැසෙන මාතර කසල කන්ද

 

මාතර දිස්ත්‍රික්කයේ වැලිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කොටවිල ප්‍රදේශයේ ඉදිකරන ලද අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්ථානය 2014 වර්ෂයේ ‘නිල්ල පිරුණු රටක් කසලින් තොර ශ්‍රී ලංකාවක්’ යන තේමාව යටතේ ක්‍රියාත්මක වූ ව්‍යාපෘතියකට අනුව පිහිටුවනු ලැබුවකි. මාතර දිස්ත්‍රික්කයේ නව රෝහල, නව අධිකරණ සංකීර්ණය, කොටවිල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය, කොටවිල පොලීසිය යන රාජ්‍ය ආයතන පිහිටා ඇත්තේ මෙම අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්ථානය ආසන්නයේය.

මෙම කසල කළමනාකරණ ව්‍යාපෘතිය සැලසුමට අනුව ක්‍රියාත්මක නොවු අතර විවිධ පරිපාලනමය, ප්‍රතිපත්තිමය, කළමනාකරණ, සහ මුල්‍ය අර්බුද හමුවේ අතරමඟ නතර විය. මෙම ස්ථානය දැනට මාතර නගරය ආශ්‍රිත සියලු අපද්‍රව්‍ය අපරීක්ෂාකාරීව සහ අවිධිමත්ව බැහැර කරන කසල කන්දක් බවට පත් වී ඇත. අවට ප්‍රදේශවලින් එකතුවන රෝහල් අපද්‍රව්‍ය ආදී සියලු ආකාරයේ ටොන් 30 කට අධික කුණු ප්‍රමාණයක කසල නිසි කළමණාකරණයකින් තොරව ට්‍රක් රථ හා ට්‍රැක්ටර් මාර්ගයෙන් දිනපතා වසර ගණනාවක් තිස්සේ මෙම ස්ථානයට බැහැර කිරීම නිසා ඇති වී තිබෙන අහිතකර බලපෑම අති විශාලය.

සුන්දර පරිසරයකට උරුමකම් කී කොටවිල, ලැබීම, කලටියාවල, කුරුදුවත්ත, වැලිගොඩැල්ල, ගැඩිමඩුව, රහිදුගොඩ, සුල්තානාගොඩ, මිහලුගොඩ ආදී ගම්වාසීහු මෙම උවදුරින් දැඩි සේ පීඩා විඳිමින් සිටිති. විශේෂයෙන් මේ ආසන්නයේ ඇති මාතර නව රෝහල, නව අධිකරණ සංකීර්ණය, කොටවිල ක්‍රීඩාංගනය, කොටවිල පොලීසිය ආදී ආයතනවල සේවකයින් සහ එම ආයතනවලට පැමිණෙන ජනතාව ද මෙම ගැටලුවට මුහුණ දෙමින් සිටිති.

කසල කන්ද ආශ්‍රිතව දැඩි දුර්ගන්ධයක් පවතින අතර, වැසි කාලවලදී මෙම තත්වය දෙගුණ තෙගුණ වී මුළු ප්‍රදේශයම ගඳගසයි. මෙම ප්‍රදේශය නිරන්තරයෙන්ම මැස්සන්ගෙන් පිරී ඇත. ළිං, ඇළ දොළ අපවිත්‍ර වී ඌරන්, සුනඛයන්, කපුටන් වැනි සතුන් ගහණය වැඩි වී ජනතාවගේ දෛනික කටයුතු සඳහා බාධා පැමිණ ඇත. විශාල සුනඛයින් ප්‍රමාණයක් සැරිසරන අතර ජලභීතිකාව වැනි අවදානම් අධිකය. මෙම ප්‍රදේශයේ අපවිත්‍ර ජලය ගලා එම නිසා කුඹුරු සහ කොරටු ගොවිතැන් ද විනාශ වී ඇත. කසල කන්ද ආසන්නයේ ජනතාව ශ්වසන අබාධ සහ සමේ රෝගවලට ගොදුරු වෙති. ආහාර සැකසීමට සහ එය පරිභෝජනය කිරීමට අපහසු තරම් මැසි වසංගතය දරුණු වී ඇත. කුණු කන්දෙන් නිකුත් වන අහිතකර රසායනික ද්‍රව්‍ය පසට කාන්දු වීම තුළින් භූගත ජලය ද දුෂණය වී ඇත.

මෙම කසල කන්ද තුළ ඉලෙක්ට්‍රොනික කසල ද නොඅඩුව දක්නට ඇති අතර, ඒ තුළින් විශාල පරිසර හානියක් ද සිදු වී ඇත. ප්‍රදේශවාසීන් එකතු වී මේ කසල කන්ද පිළිබඳව නඩුවක් ද මාතර උසාවියේ ගොනුකර ඇති අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් මෙම කසල කන්ද ඉවත් කිරීමට තීන්දුවක් ද දී ඇත. එහෙත්, එයද තවමත් ඉටු වී නැත.
ප්‍රදේශ වාසීන්ගේ ජීවිත ක්‍රම ක්‍රමයෙන් අපාදුකට වැටී ඇත. නිදහසේ හුස්ම ගන්නටවත් නොහැකිව තමන් නොකළ වරදකට මේ අහිංසක ජනතාව දඩුවම් ලබමින් සිටී. මාතර මහ නගර සභාවට මේ වන විට මෙම ගැටලුව වෙනුවෙන් සාර්ථක විසදුමක් ලබාදීමට නොහැකි වී ඇත. මාතර නගරයේ පවිත්‍රතාවය ආරක්ෂා කරන ලෙස ද, කොටවිල ජනතාව තවදුරටත් පීඩාවට පත් නොකරන ලෙස ද ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිති.

නිසි ක්‍රමවේද ක්‍රියාත්මක කරමින් කසල වර්ගීකරණය කිරීම, දිරා යන කුණු භාවිතා කර කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සහ සුදුසු ජනශුන්‍ය ප්‍රදේශයකදී නොදිරන කුණු කසල නිසි ලෙස ප්‍රතිචක්‍රීකරණය කිරීම, මේ මහා ව්‍යසනයෙන් ජනතාව මුදවා ගැනීම සඳහා කඩිනමින් කළ යුතුව තිබේ.
පීඩාවට පත් කොටවිල ප්‍රදේශයේ ජනතාවට සහනයක් ලබාදීම සියලු දේශපාලන අධිකාරියේ සහ සියලු වගකිය යුත්තන්ගේ වගකීම වන්නේය.

 

Social Sharing
අවකාශය නවතම