ලංකාවේ ඒක පුද්ගල විදුලි පරිභෝජනය ප්‍රමාණවත්ද?

ලෝක බැංකු දත්ත අනුව, තෝරාගත් රටවල් හා රටවල් කාණ්ඩ කිහිපයක 2022 ඒක පුද්ගල විදුලි පරිභෝජනය පහත තිබෙනවා. වරහන් තුළ තිබෙන්නේ එම රටවල හා රටවල් කාණ්ඩ වල 2023 ඒක පුද්ගල ආදායම.

බංග්ලා දේශය – කිලෝවොට් පැය 603 (ඩොලර් 2,551)

ඉන්දියාව – කිලෝවොට් පැය 1,075 (ඩොලර් 2,481)

නේපාලය – කිලෝවොට් පැය 321 (ඩොලර් 1,378)

පකිස්ථානය – කිලෝවොට් පැය 606 (ඩොලර් 1,365)

ශ්‍රී ලංකාව – කිලෝවොට් පැය 684 (ඩොලර් 3,828)

දකුණු ආසියාව – කිලෝවොට් පැය 956 (ඩොලර් 2,303)

සිංගප්පූරුව – කිලෝවොට් පැය 10,143 (ඩොලර් 84,734)

තායිලන්තය – කිලෝවොට් පැය 2,867 (ඩොලර් 7,182)

මැලේසියාව – කිලෝවොට් පැය 4,986 (ඩොලර් 11,379)

ඉන්දුනීසියාව – කිලෝවොට් පැය 1,257 (ඩොලර් 4,876)

මියන්මාරය – කිලෝවොට් පැය 354 (ඩොලර් 1,233)

වියට්නාමය – කිලෝවොට් පැය 2,624 (ඩොලර් 4,282)

චීනය – කිලෝවොට් පැය 6,112 (ඩොලර් 12,614)

පහළ මැදි ආදායම් රටවල් – කිලෝවොට් පැය 905 (ඩොලර් 2,416)

ඉහළ මැදි ආදායම් රටවල් – කිලෝවොට් පැය 4,286 (ඩොලර් 10,451)

ලෝකය – කිලෝවොට් පැය 3,486 (ඩොලර් 13,170)

කවුරු කැමති වුනත්, අකැමති වුනත්, ඒක පුද්ගල විදුලි පරිභෝජනය සහ ඒක පුද්ගල ආදායම අතර සෘජු සම්බන්ධයක් තියෙනවා. එය කරුණුමය සත්‍යයක්. රටක් සංවර්ධනය වෙද්දී ඒක පුද්ගල විදුලි පරිභෝජනය අනිවාර්යයෙන්ම ඉහළ යා යුතුයි.

ඉහත දත්ත දෙස බලා පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි පරිදි, තෝරාගත් රටවල් අතර, ලංකාවට වැඩි ඒක පුද්ගල ආදායමක් තිබෙන හැම රටකම ඒක පුද්ගල විදුලි පරිභෝජනය ලංකාවට වඩා වැඩියි. ලංකාවට වඩා අඩු ඒක පුද්ගල විදුලි පරිභෝජනයක් කරන හැම රටකම ඒක පුද්ගල ආදායම ලංකාවට වඩා අඩුයි.

පෞද්ගලික හෝ ජාතික ඉලක්කයක් විදිහට අඩුවෙන් විදුලිය පරිභෝජනය කිරීම පිළිබඳව කාටවත් විරුද්ධ වෙන්න බැහැ. නමුත් ඒ ඉලක්කය සහ රටේ ඒක පුද්ගල ආදායම වැඩි ගැනීම කියන ඉලක්ක දෙක කිසිසේත්ම එකට යන්නේ නැහැ. රටක් සංවර්ධනය වෙද්දී විදුලි පරිභෝජනය අනිවාර්යයෙන්ම ඉහළ යා යුතුයි.

මෙහිදී මම කතා කරන්නේ නාස්තිය අඩු කිරීම මගින් කළ හැකි සංරක්ෂණය ගැන නෙමෙයි. පරිභෝජනය හා නාස්තිය කියන්නේ කරුණු දෙකක්. නාස්තිය අඩු කිරීම පරිභෝජනය අඩු කිරීමක් විය යුතු නැහැ.

ඒක පුද්ගල ආදායම් මට්ටම දෙස බලද්දී ලංකාවේ අඩු ඒක පුද්ගල විදුලි පරිභෝජනය කැපී පෙනෙනවා. ඒක පුද්ගල විදුලි පරිභෝජනය අතින් ලංකාව ඉන්නේ පකිස්ථානය සහ බංග්ලා දේශය ඉන්න තැනට කිට්ටුව. ඒ දෙරටම ලංකාවට වඩා අඩු ඒක පුද්ගල ආදායම් මට්ටමක ඉන්න රටවල්. විශේෂයෙන්ම පකිස්ථානය. ලංකාවට ආසන්න ඒක පුද්ගල ආදායම් මට්ටමක ඉන්න වියට්නාමයේ ඒක පුද්ගල විදුලි පරිභෝජනය ලංකාවේ මෙන් හතර ගුණයක්.

විශේෂයෙන්ම කැපී පෙනෙන්නේ ලංකාවට වඩා අඩු ඒක පුද්ගල ආදායම් මට්ටමක ඉන්න ඉන්දියාවේ ඒක පුද්ගල විදුලි පරිභෝජනය. මේ ගණන් සංසන්දනය කළ විට පැහැදිලි විකෘතියක් පේනවා. ලංකාවේ ජීවන තත්ත්වය ඇත්තටම ඉන්දියාවේ ජීවන තත්ත්වයට වඩා වැඩිද? ඒක පුද්ගල ආදායම් වෙනස එවැන්නක් පෙන්නුවත් ඒක පුද්ගල විදුලි පරිභෝජනය දෙස බලද්දී එවැනි තත්ත්වයක් පේන්නේ නැහැ.

ඉන්දියාවේ ඒක පුද්ගල විදුලි පරිභෝජනය ඉහළ මට්ටමක තිබෙන නිසා සාපේක්ෂව ඉහළ මට්ටමක තිබෙන දකුණු ආසියාවේ සාමාන්‍ය ඒක පුද්ගල විදුලි පරිභෝජන අගය සැලකුවත් ලංකාව ඉන්නේ ඊට වඩා පහළින්. ඒ වගේම, ලංකාව දැන් ඉන්න පහළ මැදි ආදායම් කාණ්ඩයේ රටවල සාමාන්‍ය අගය සැලකුවත් ලංකාවේ අගයට වඩා වැඩියි.

දැන් පහළ මැදි ආදායම් කාණ්ඩයට වැටී සිටියත්, ලංකාව කියන්නේ ඉහළ මැදි ආදායම් කාණ්ඩයේ හිටපු රටක්. ඉහළ මැදි ආදායම් රටවල සාමාන්‍ය ඒක පුද්ගල විදුලි පරිභෝජනය කිලෝවොට් පැය 4,286ක්. ලංකාවේ ඒක පුද්ගල විදුලි පරිභෝජනය වන කිලෝවොට් පැය 684 ඉහළ මැදි ආදායම් කාණ්ඩයට කිසිසේත්ම නොගැලපෙන අගයක්. ලංකාවට කවදා හෝ සංවර්ධිත රටක් වීම පිළිබඳ බලාපොරොත්තුවක් තිබේනම් මේ කරුණ ගැන දැන් සිටම බරපතල ලෙස හිතන්න වෙනවා.

මෙහෙම වෙලා තියෙන්නේ ඇයි?

පළමුව ලංකාවේ විදුලි බලය උත්පාදනය කිරීම හා බෙදා හැරීම කළේ සහ කරන්නේ රාජ්‍ය ඒකාධිකාරයක් හරහා. හැබැයි එපමණකින්ම මේ වගේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. අනෙක් රටවලත් විදුලි බල කර්මාන්තය තුළ රාජ්‍ය බලපෑම දකින්න පුළුවන්.

මේ ප්‍රශ්නයට හේතු වී තිබෙන්නේ ලංකාවේ විදුලි ගාස්තු සුබසාධනය කළ ආකෘතිය. දිගින් දිගටම සිදු වුනේ සුබසාධනයේ බර රාජ්‍ය අයවැයෙන් ඉවත් කරලා ලංවිම ගිණුම් ඇතුළේ සඟවපු එක. ඒ නිසා ලංකාවේ විදුලි බල කර්මාන්තයට ආර්ථිකයත් එක්ක ප්‍රසාරණය වීම සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය එකතු කරගන්න ලැබුණේ නැහැ. මේ හේතුව නිසා ගොඩක් වෙලාවට ඉල්ලුමට සරිලන සැපයුමක් දීමේ හැකියාවක් කර්මාන්තයට තිබුණේ නැහැ.

සාමාන්‍යයෙන් ඕනෑම නිෂ්පාදකයෙක් උත්සාහ කරන්නේ තමන්ගේ නිෂ්පාදනය පුළුවන් තරම් විකුණාගන්න. ඒ කියන්නේ පරිභෝජනය වැඩි කරවාගන්න. නමුත් විදුලිබල මණ්ඩලය තමන්ගේ පාරිභෝගිකයින්ට කියන්නේ පුළුවන් තරම් අඩුවෙන් පරිභෝජනය කරන්න කියලයි. ඇත්තටම මේ කර්මාන්තය ඇතුළේ ක්‍රියාත්මක වෙන්නේ සලාක ක්‍රමයකට ආසන්න ක්‍රමයක්.

ඉන්දියාවේ ඒක පුද්ගල විදුලි පරිභෝජනය මේ තරමටම ඉහළ ගොස් තිබීමට එරට විදුලි බල කර්මාන්තයට පෞද්ගලික අංශය සම්බන්ධ වීම විසින් සෑහෙන දායකත්වයක් ලබා දී තිබෙනවා. විශේෂයෙන්ම පසුගිය වසර පහළොවක පමණ කාලය ඇතුළත. පසුගිය කාලය තුළ ඉන්දියාවේ විදුලි බල කර්මාන්තය තුළ පෞද්ගලික අංශයේ දායකත්වය ඉහළ ගොස් ඇති ආකාරය මේ සමඟ පළ කරන ප්‍රස්ථාරය දෙස බැලූ විට පැහැදිලිව දැක ගත හැකියි.

මෙයට විසඳුම විදුලි ගාස්තු සුබසාධනය කිරීම මගින් පරිභෝජනය දිරිමත් කිරීම නෙමෙයි. ඒ ක්‍රමය හරි ගියානම්, ලංකාවේ ඒක පුද්ගල විදුලි පරිභෝජනය ඔය තරම් පහළ මට්ටමක තියෙන්න හේතුවක් නැහැ.

විදුලිබල කර්මාන්තයේ ආයෝජන ඉහළ යන තරමට ඒකක පිරිවැය අඩු කළ හැකි ආයෝජන එකතු වී ඒකක පිරිවැය අඩු වෙනවා. ආයෝජන සිදු වෙන්නේ නැත්නම් විදුලිය නිපදවන්න වෙන්නේ ඒකක පිරිවැය වැඩි අකාර්යක්ෂම ක්‍රමවේද අනුව. යම් කාලයකදී කාර්යක්ෂම ක්‍රමයක් කාලයක් යද්දී අකාර්යක්ෂම ක්‍රමයක් වෙනවා. දිගටම ආයෝජන අවශ්‍ය වෙන්නේ ඒ නිසා. නමුත් අවශ්‍ය ආයෝජන කිරීම සඳහා ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් එක්රැස් කරගන්න බැරි ආයතනයකට මේ සෙල්ලම කරන්න බැහැ. තියෙන්නේ එකම ආයතනයක් පමණක්නම් එය රටේ ප්‍රශ්නයක් බවට පත් වෙනවා.

මම හිතන්නේ ඔය හිරවීම ඉන්දියාවේ රාජ්‍ය අංශයේත් වෙන්න ඇති. නමුත් පෞද්ගලික ආයෝජන නිසා කර්මාන්තය ප්‍රසාරණය වෙනවා. අලුත් ආයෝජන වැඩි වැඩියෙන් එද්දී ඒකක පිරිවැය වැඩි පැරණි ආයෝජන වලින් විදුලිය හදලා ලාබයක් ගන්න බැරි වෙනවා. අලුත් ආයෝජන වලින් පරණ ආයෝජන විස්ථාපනය වෙනවා. එහෙම වෙද්දී විදුලි ගාස්තුත් අඩු වෙනවා.

#ඉකොනොමැට්ටා #economatta

Social Sharing
අවකාශය නවතම